තායිවානය සහ චීනය අතර අර්බුදයේ ඇත්ත මොකක් ද?

චීනය සහ තායිවානය අතර වන අර්බුදකාරී වාතාවරණය ඉතාම උච්ච තැනකට පත්ව තිබේ. නැඟෙනහිර සහ දකුණු චීන මුහුදු තීර මූලික කරගෙන ඇති වී තිබෙන නොසන්සුන් වාතාවරණය මේ වන විට අන්තර්ජාතික අර්බුදයක් බවට පත්ව තිබෙන අතර, එය මේ වන විට භූ දේශපාලනයේ නවතම පොළාපැනීම ලෙස අරුත්ගැන්විය හැකි ය. මීට දින කිහිපයකට පෙර තායිවානය ප්‍රකාශ කළේ වසර 2025 පමණ වන විට චීනය විසින් සිය රට ආක්‍රමණය කිරීමට සූදානම් වන බවයි.

මේ අතර තායිවානය චීනය සමඟ සම්බන්ධ කළ යුතු බවත්, එය සාමකාමී ලෙස සිදු කිරීමට තමන් සූදානම් බවත් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විටත් එළිපිටම තායිවානයට උදවු කරමින් සිටින අතර, රහසිගතව තායිවාන හමුදා පුහුණු කිරීම් සිදු කරන බව ද වාර්තා විය.

ඇමෙරිකාවේ සහ බ්රිතාන්‍යයේ උදවු උපකාර සහිතව අද වන තෙක් ම තායිවානය පැවැත එනු ලැබේ. චීනය පවසන්නේ, මෙම භූමිය සිය රටට අයත් එකක් බවයි. ඒ සඳහා වන සාධාරණ තර්ක ඔවුන් සතු ය. 1949 සිට 1975දී චියැං කායි-ෂෙක් මිය යන තුරුම තායිවානය පාලනය කළේ ය. එය ඒකාධිපති පාලනයක් බවට චෝදනා එල්ල විය.

දකුණු චීන මුහුදු කලාපයේ තායිවාන අර්බුදය මූලික කරගෙන විවෘත ඉන්දු – පැසිපික් කලාපයක් වෙනුවෙන් යැයි පවසමින්, ඇමෙරිකාව සිය බලය ආසියාව වෙත ව්‍යාප්ත කිරීම සඳහා යොදා ගන්නා උපායමාර්ගික උත්සාහයක් බව පැහැදිලිය. ඒ සඳහා ඔවුන් මේ වන විටත් කොඩ් සංවිධානය සහ අවුකස් (AUKUS) වැනි යුද සංවිධාන හා ගිවිසුම් ද ගොඩනඟා තිබේ. ඒ සමඟ බි්‍රතාන්‍යය, ප්‍රංශය, ඕස්ටේ්‍රලියාව වැනි සිය හිතෛෂීන් භාවිත කරන බව පැහැදිලිය.

මෙහි ඉලක්ක දෙකක් දැකිය හැකි ය. එකක් වන්නේ කලාපය තුළ යුද උණුසුමක් ඇති කොට ඇමෙරිකාව සිය යුද ආර්ථිකය පණගැන්වීමයි. දෙවැන්න වන්නේ තමන්ගේ අනෙකා වන චීනය කෙළින්ම ඉලක්ක කිරීමයි.  මේ කුමක් වුවත්, ලෝක සාමයට බාධාවක් බවට මෙම වර්ධනයන් පත් වෙමින් තිබේ. එමෙන්ම චීනය ප්‍රකෝප කර යුද්ධයක් වෙත තල්ලු කර ගැනීමේ නොතිත් ආශාවකින් ඇමෙරිකාව පෙළෙන බව ද මේ වන විට ඉතාම පැහැදිලි වී ඇත. මේ සියලු බල දේශපාලන අරමුණු වෙනුවෙන් ඔවුන් භාවිත කරන්නේ තායිවානයයි.

අර්බුදයේ මූලය කුමක් ද?

මධ්‍ය චීනයට (Mainland China) නැඟෙනහිරට වන්නට පිහිටි දූපතක් වන දැනට තායිවානය ලෙස හඳුන්වන මෙම ප්‍රදේශය ආසන්න වශයෙන් වර්ග සැතපුම් 14,000කි. ජනගහනය දළ වශයෙන් මිලියන 23කි. මෙම දූපත ඈත අතීතයේ සිටම චීනයට අයත්ව තිබූ දූපතකි. ඒ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි ක්‍රිස්තු වර්ෂ 239 සිට දක්නට ලැබේ. මූලික වශයෙන් චීනයෙන් සංක්‍රමණය වූ හන් ජාතිකයෝ මෙහි වාසය කරති. ඔවුන් චීන සම්භවයක් ඇති අයයි.

1624 සිට 1661 දක්වා කෙටි කාලයක් මෙම දූපත ලන්දේසීන් විසින් යටත් කරගෙන සිටියේ ය. කෙසේ වෙතත්, නැවතත් එය චීනයේ කිංග් අධිරාජ්‍යයා විසින් (Qing dynasty) සිය පාලනයට නතු කරගෙන තිබේ. 1895 වසරේ දී චීනය සහ ජපානය අතර පැවැති පළමු යුද්ධයෙන් පසුව මෙම දූපත ජපානය විසින් අත්පත් කර ගන්නා ලදී. මේ අතර 1911 වසරේ දී චීනයේ අවසන් අධිරාජ්‍ය පාලනය වූ කිංග් පාලනය පෙරළා දමා චීන ජනරජය (Republic of China) පිහිටුවන ලදී. 1911 විප්ලවය නැති නම් ‘ෂින්හයි’ (Xinhai) විප්ලවය ලෙස මෙය හඳුන්වනු ලැබේ.

1912 සිට 1915 දක්වා යුආන් ෂිකායි (Yuan Shikai) නමැති හමුදා පාලකයා තමන් චීනයේ නව අධිරාජයා ලෙස ප්‍රකාශ කළ අතර, ඔහු පෙර පැවැති පාලනය බිඳදැමීමට මූලික වී කටයුතු කළ අයෙකි. ඉන් පසුව ගෙවුණ කාලය යනු දිගින්දිගටම චීනයේ විවිධ පළාත් අතර විවිධ ගැටුම් ඇති වූ අස්ථාවර කාල වකවානුවකි. 1912න් පසු කාලයේ දී චීනයේ විවිධ ප්‍රදේශවල හමුදා බලය සහිත විවිධ කණ්ඩායම් පාලන බලය හෙබැවීය.

 

 

1925දී සුන් යැට්-සෙන් (Sun Yat-sen) ගේ මරණින් පසුව කුඕමින්තාන් (Kuomintang-KMT) පක්ෂයේ නායකත්වයට පත් වූයේ චියැං කායි-ෂෙක් (Chiang Kai-shek) ය. 1928දී  චියැං කායි-ෂෙක් මූලික වී නැවතත් ජාතිකවාදී ආණ්ඩුවක් නිර්මාණය කළේ ය. එසේ සිදු කරමින් චීන කොමියුනිස්ට්වරුන් තව තවත් මර්දනයට පියවර ගත්තේ ය. දෙපාර්ශ්වය අතර යුද්ධයක් ඇවිළිණි. චියැං කායි-ෂෙක්ට මුළුමනින්ම චීනය පාලනය කිරීමට නොහැකි වූ අතර, චීන කොමියුනිස්ට් පක්ෂය සහ එහි විමුක්ති රතු හමුදාව  විසින් ද සැලැකිය යුතු ප්‍රදේශ ප්‍රමාණයක් සිය පාලනය යටතට ගත්තේ ය. මෙම කාල වකවානුවේදී කායිෂෙක් නායකත්වය ලබා දුන් හමුදා විසින් කොමියුනිස්ට්වරුන්ට එරෙහිව දැවැන්ත මර්දනයක් දියත් කළේ ය. අවසානයේ දී එය සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය විය.

ඒ වන විට තවත් පැත්තකින් ජපානය සමඟ ද චීනය යුද්ධයක පැටළී සිටියේය. කෙසේ වෙතත්, 1936 පමණ වන විට චියැං කායි-ෂෙක් ගේ පාලනයට ඔහුගේම හමුදාවලින් විරෝධය එල්ල වූ අතර, කොමියුනිස්ට්වරුන්ට එරෙහි යුද්ධය වෙනුවට ජපානයට එරෙහිව යුද්ධ කරන ලෙස ඔහුට බල කෙරිණ. එක් අවස්ථාවක දී ඔහු හමුදා අත්අඩංගුවට ද පත් විය. 1937 සිට ජපානය සහ චීනය අතර යුද්ධය දරුණු ලෙස ඇරඹිණ. කොමියුනිස්ට් පක්ෂය සහ ජාතිකවාදීන් අතර තාවකාලිකව සටන් නැවැතිණි.

1945 දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟම නැවතත් කොමියුනිස්ට්වරුන්ට එරෙහිව චියැං කායි-ෂෙක් (Chiang Kai-shek)  පාලනය යුද ප්‍රකාශ කළේය. චීන කොමියුනිස්ට් පක්ෂය සමාජවාදී රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා කායිෂෙක්ගේ  පාලනයට එරෙහිව සාර්ථකව අරගලයක් දියත් කළේ ය. ඊට නායකත්වය ලබා දුන්නේ මාඕ සේතුං ය. 1946 වසරේ සිට 1949 දක්වා මෙම සිවිල් යුද්ධය පැවැතිණ. එයින් දරුණු ලෙස පරාජයට පත් වූ කායිෂෙක් සහ ඔහුගේ අන්තේවාසිකයෝ පිරිසක් දැන් තායිවානය ලෙස හඳුන්වන එවකට චීනය විසින් පාලනය කළ දූපතට පලා ගොස් වෙනම පාලනයක් ඇති කර ගත්හ.

1949 වසරේ දී එතෙක් පැවැති චීන ජනරජය වෙනුවට මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවී ය. ඒ නිසා පලා ගිය කායිෂෙක්ට චීන සමූහාණ්ඩුවට එරෙහි ධනේශ්වර රටවල සියලු පාර්ශ්වයෝ උදවු කළහ. එසේ කොට අදාළ දූපත තුළ වෙනම රාජ්‍යයක් නිර්මාණය කර එය ප්‍රකාශයට පත් කළේ ය. එපමණක් නොව තායිවානය චීන ජනරජය ලෙස ඇමෙරිකාව ඇතුළු බලවතුන් විසින් පිළිගනු ලැබී ය. කායිෂෙක් ප්‍රකාශ කළේ මධ්‍යම චීනය තමන්ට අයිති බවත්, එය ඉදිරියේ දී යළි අත්පත් කර ගන්නා බවත් ය. ඒ සඳහා ඇමෙරිකාව සහ බ්රිතාන්‍යය සහාය ලබා දෙන බව ද ප්‍රකාශ විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අසුනක් පවා ඊට ලබා දීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවත්හු කටයුතු කළහ. නමුත්, 1971දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වත්මන් චීනය මහජන චීන සමූහාණ්ඩුව ලෙස පිළිගැනීමත් සමඟ තත්ත්වය මුළුමනින්ම වෙනස් විය. අද ද එක්සත් ජාතීන්ගේ සංවිධානය තායිවානය වෙනම රටක් ලෙස පිළිගන්නේ නැත.

ඇමෙරිකාවේ සහ බ්රිතාන්‍යයේ උදවු උපකාර සහිතව අද වන තෙක් ම තායිවානය පැවැත එනු ලැබේ. චීනය පවසන්නේ, මෙම භූමිය සිය රටට අයත් එකක් බවයි. ඒ සඳහා වන සාධාරණ තර්ක ඔවුන් සතු ය. 1949 සිට 1975දී චියැං කායි-ෂෙක් මිය යන තුරුම තායිවානය පාලනය කළේ ය. එය ඒකාධිපති පාලනයක් බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, පසුව ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සැලැකිය යුතු ප්‍රමාණයක් එහි සිදුව තිබේ. බොහෝ අවස්ථාවල බලයට පත් වූ නායකයන් චීනය සමඟ කටයුතු කිරීමට එකඟ වුවත්, එය ප්‍රායෝගික වුණේ නැත.

2016 වසරේ දී බලයට පත් වූ සායි ඉන්ග්-වෙන් (Tsai Ing-wen) මුළුමනින්ම ඇමෙරිකානු හිතවාදී වන අතර ඇය තායිවානය චීනයෙන් වෙන් කර ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන නායිකාවකි. තත්ත්වය උත්සන්න වී ඇත්තේ, ඇයගේ පාලන කාලය තුළ ය. ඇමෙරිකාව උපායමාර්ගික ලෙස තායිවානය චීනයට එරෙහිව භාවිත කරමින් සිටී. කොටින්ම මැදපෙරදිගට ඊශ්‍රායලය මෙන් ඉන්දු-පැසිපික් කලාපය තුළ තායිවානය නවීකරණය වූ යුද රාජ්‍යයක් බවට පත් කරමින් තිබේ. බටහිර මාධ්‍ය සහ රටවල් විසින් සඟවා ඇති චීන – තායිවාන අර්බුදයේ ඇත්ත කථාව වන්නේ එයයි●

අනුහස් බණ්ඩාර
Leave A Reply

Your email address will not be published.

seven + eight =