මතක මං දිගේ ඇවිදින්න…

අතීතේ කෙළවරටම ගිහින් ආපහු මෙතැනටම එන්න. හිනාව කොච්චර ලස්සන ද බලන්න. කඳුළ අස්සෙ හැංගිලා තියෙන අත්දැකීම් කොච්චර බර ද කියන්න. අත්හැරීම්, මඟහැරීම් අස්සෙ එක හිමිවීමක්වත් නැද්ද බලන්න. ගනුදෙනුකාරයෝ නික්මිලා ගියත් ඉතුරු කරලා ගිය මතක ශේෂය තාමත් එහෙමම ද බලන්න. අඩියෙන් අඩිය ඉස්සරහට යද්දී බර දාලා කකුලෙන් ඇදපු මිනිස්සු දැන් කොහෙද බලන්න. කාගේ හරි හදවත පිරෙන්න පුංචිම පුංචි වටිනා දෙයක් දීපු දවසක් මතක් කර ගන්න. ඒ සතුටම හිනා වෙන්න කාරණයක් නෙමෙයි ද කියන්න. වෛර කරපු, හිත් බිඳපු මිනිස්සුන්ටත් දවසක ඔයා උදවු කරල නැද්ද බලන්න. ඒ හැමදේම අමතක කරලා වචනවලින් හිත හූරපු මිනිස්සුන්ට ඔයා ආපහු උදවු නොකර ඉඳී ද බලන්න.

කඩාවැටීම් දරාගැනීම් එක්ක හරි හරියට ඉස්සරහට ඇදුණු ජීවිතේ හරි අපූරුයි නේද බලන්න. ඉස්සර නැතුවම බැරි මිනිස්සු අද අහලකවත් නැති හැටි බලන්න. හීනෙකින්වත් නොහිතපු මිනිස්සු පුදුමාකාර විදිහට ජීවිතයට ළං වෙලා නැද්ද කියන්න. මිතුරෝ හතුරෝ වෙලා, ආදරණීයයන් වෛරක්කාරයන් වෙලා, තරහකාරයෝ යාළුවෙලා, යාළුවො නෑදෑයො වෙලා… සම්බන්ධකම් අලුත් වෙලා නැද්ද කියන්න.

මේ හැමදේම අස්සෙත් ඔයා අමාරුවෙන් හරි ජීවත් වුණේ නැද්ද කියන්න. ජීවිතේ තිත්තම වෙච්ච වෙලාවටත් දරාගෙන ඉන්න තරම් ඔයාගේ හිත කොච්චර හයිය ද බලන්න. සමහර වෙලාවට අම්මා, තාත්තටවත් කියන්න බැරි දේවල් සමහර ආදරණීය යාළුවෝ ඉස්සරහ හරි ලේසියෙන් දිය කරලා දැම්මෙ නැද්ද බලන්න. ඒ යාළුවෝ අදටත් ඒ රහස් රකිනව ද බලන්න. පුංචි දේටත් කේන්ති අරගෙන හරි ඉක්මනින් එල්ලි එල්ලී රණ්ඩු වුණ ඔයා අද කොච්චර ඉවසනව ද බලන්න. එකට එක බත්පත බෙදාගෙන කාපු යාළුවෝ අද පාරතොට දී දැක්කත් අහක බලාගෙන යන්නේ නැද්ද කියන්න.

කවදාවත් අමතක කරන්නෙ නෑ කියපු මිනිස්සු අද මුණවත් බලන් නැතුව යන අපූරුව බලන්න. අපි නරකයි කියල හිතපු ගොඩක් මිනිස්සු අපි අසරණ වුණු වෙලාවට උදවු කළේ නැද්ද බලන්න.

ආදරණීය වෙස්මුහුණු පැළඳගෙන ජීවිතයට ආව ගිය අය ගණන් කරන්න. තාමත් ඇති කාටවත්ම නොකී කතා හරි පරිස්සමට හංගං ඉන්න, ඔබ ආදරේ නොකළත් ඔබට ආදරේ කරපු මිනිස්සු මුණගැහිලා නැද්ද බලන්න. ඒත් ඔබට චුට්ටක්වත් ආදරේ නැති හිත් මත්තේ ඔබ කොච්චර නම් නැහුණ ද බලන්න. එහෙම ආදරේ කරපු මිනිස්සු ආත්මයම පුච්චලා නික්මුණු දවස් මතක් කරන්න. හැමෝටම හොරෙන් කොච්චර නම් ඇඬුව ද බලන්න. ඒ දවස් මතක් වෙද්දි දැන් හිනා යන්නේ නැද්ද කියන්න.

මේ ලෝකෙ හොඳ මිනිස්සුත් නැහැ. නරක මිනිස්සුත් නැහැ. ඉන්නේ අවස්ථානුකූලව එක එක චරිත රඟපාන පුද්ගලයෝ විතරයි. අඬන්න කාරණා ඕනෑ තරම් තියෙද්දිත් හිනාවෙන්න පුංචිම පුංචි කාරණයක් හොයපු දවස් මතක් කර ගන්න. දුක හිතෙන වෙලාවට කියන්න කවුරුවත්ම නැතුව අසරණ වුණු දවස් කවදාවත් අමතක වෙයි ද බලන්න. ඒ දැනුණ හැඟීම තව කෙනකුට දැනෙන්නේ නොදී පුළුවන් හැම වෙලාවකම එයාලගේ දුක අහන්න උත්සාහ කරන්න. ජීවිතේ එහෙමයි. හිතන දේවල් සිද්ධ වෙන්නේ නැති, හීනෙකින්වත් නොහිතන දේවල් සිද්ධ වෙන අපූරු ගමනක්. ඒ ගමන අතරතුර හම්බ වෙන හැම පුද්ගලයකුම ඔබේ ජීවිතයට විශේෂ පුද්ගලයෙක්. අඩු-වැඩි වශයෙන් ඒ හැම මනුස්සයෙක්ම අපේ හදවතේ පුංචිම හරි මතකයක් ඉතුරු කරලා යනවා. ඒක හොඳ මතකයක් වුණත්, නරක මතකයක් වුණත් ආපහු හැරිලා බලද්දී, ඒ හැම මතකයක්ම මිහිරි අත්දැකීම්. හැමෝගෙම හදවතේ අමතක නොවන ආදරණීය චරිතයක් වෙන්න හැම වෙලේම උත්සාහ කරන්න. ඔබ කොච්චර ආදරණීයම ගනුදෙනු කළත්, එයාලට ඒක පොඩ්ඩක්වත් දැනෙන්නෙ නැත්නම් තවත් ඒ ජීවිතවල රැඳෙන්නෙ නැතුව එතැනින් ඉක්මනින් අයින් වෙන්න.

අපි ගනුදෙනු කරන්නේ යන්ත්‍රසූත්‍ර එක්ක නෙවෙයි. පණ ගැහෙන හදවත් තියෙන මිනිස්සුත් එක්ක කියන එක හැම වෙලේම මතක තියා ගන්න. එක දවසක් හරි ඔයත් මතක මාවතේ ඇවිදින්න. හැම මතකයක්ම හරි ආදරණීයයි නේද බලන්න. අත්දැකීම් ගොඩ ගහගෙන ජීවිතේට අමුණාපු මිනිස්සු ඇත්තටම පරිණතයි නේ ද කියන්න.

චමෝදි පෙරේරා
Leave A Reply

Your email address will not be published.

14 − nine =