රිවස්…

ගෙදර ඇතුළට ම වෙලා ඉඳලා ඇති වුණු ආතතිය සමහන් කර ගන්න කියලා හිතපු නන්දයි, කල්‍යාණියි ඇතුළු හිතමිත්‍රාදීන් එකතු වුණේ රාමගෙ ගෙදරට. ඒ අතරෙ රාමා කොම්පියුටරේට වැදිලා හිටියෙ හදිසියෙ යැවිය යුතුම මේල් එකක් දා ගන්න තරමටවත් නෙට් එක වැඩ කරන්නෙ නෑ කියලයි.

“ස්පීඩ් වැඩි රටේ ම එක කියල ඇඩ් දැම්මත් බලන කිසි වෙලාවක නෙට් එක වැඩ නෑ” කියලයි රාමා කියන්නෙ මොක වුණත් විකුණන උන්දලගෙ ‘වචනවලට අහුවෙලා හයි කරගත්තු රවුටරේ නං බලු වටින්නෙ නෑ’ කියලා සීතත් තනියම නො හිතනවා නෙවේ.

කොහොම වුණත් බල්ලයි, මස්කට්ටයි දැකල ඇති වෙලා කියලයි කෙල්ලො දෙන්නා හිනාවෙන්නෙ. මිනිත්තු පහෙන් පහට එන කෝල් එකත් එක්ක රාමත් ස්ට්‍රෙස් වෙලයි හිටියෙ.

“මගෙ ලැප් එක ගේන්නං. ඒකෙන් යවමු.” එහෙම කිව්වෙ, ටික දවසක් සීතගෙ ගෙදර නවතින්න ආව සීතගෙ ඥාති දුවක්.

ලැප් එක ගෙනාව දෝණියන්දෑ කිව්වෙ,

“හැබැයි මේකට බාහිර ඩිවයිසස් ගහන්න බැරුව ඇති.” කියලයි.

“මොකක්…? එහෙම ගහන්න බැරි නං ඔය ලැප් එකෙන් යවන්න හදන එක ම වැඩක් නෑනෙ.” ඒ මේධා.

“මගෙ පෙන් එක අලුත් එකක්.” රාමා කියද්දී, කල්‍යාණි කිව්වෙ, “එහෙම නං ලැප් එකට වයිරස් යන්නෙ නෑ” කියලයි.

“හරි ඉතින්, ගහන්න ඕනෑ නෑ නෙ ඔයා මේකට මේල් එකක් දාන්නකො.” කියලයි සීතා කිව්වෙ.

කතන්දර ටික අහගෙන හිටි නන්දගෙ කට තිබුණෙ කනේ. “ලැප් එකට මොකට කොපි කරනව ද? අනේ හැබෑට මෙච්චර වෙලා කට්ටිය කිව්වෙ මොනව ද කියලවත් දන්නවා ද?”

කියැවිච්ච එක එක වාක්‍ය කෑල්ල මතක් කරපු සෙට් එක හිනා වුණේ කොන්ෆියුස් වුණා ම වෙන අවුල් කියලයි.

“රට කරවන සෙට් එකටත් වෙලා ඇත්තෙ මේකමයි. ජෝක් කරනවා නරකයි අරව මෙව්වා කිය කියා. කොච්චරක් නම් ප්‍රශ්න ඇති ද? පාලන මිල දැම්මා, අහෝසි කළා. ආනයන සීමා දැම්මා, ඒක අහෝසි කළා. රිවස් ගියර් දාපු කොච්චර දේවල් තියේ ද? පස්සට යාම මනුස්ස ගතියක් හිනා වීම අමනුස්ස ගතියක්…” නන්ද හිනාවෙන්නෙ කට වහගෙන.

“මිනිස්සුන්ට තේරෙන්නෑ. කොහෙ හෑරුවත් මේකෙ මැටි වළක් ෂුවර්. ගෙවල් මැටියෙන් හදලා කිරි වෙනුවට කුරක්කන් කැඳක් ගහලා ගෑස් වෙනුවට කුඩු… න්… නෑ දර ළිපක බතක්, මාළුවක් හදාගෙන රෙදි වෙනුවට කොළ අතු ටිකක් ඇඳගෙන, මොන තරං සරල, සුඛෝපභෝගී, සෞභාග්‍යවත්ව ජීවත් වෙන්න පුළුවන් ද?” කියලයි නන්ද කිව්වෙ.

“ඒක හරි ‘සෞභාග්‍යයේ දැක්ම’. පැරැණි රජ කාලෙ නෙ පට්ට ශ්‍රී විභූතියක් නේ තිබිල තියෙන්නෙ. මොක ද? ලෝවාමහාපාය, නිස්සංක ලතා මණ්ඩපය, සත්මහල්ප්‍රාසාදය කළෙත් සිමෙන්තියෙන් යැ. පුරවස්සො මීට වඩා ගැඹුරින්  ‘සෞභාග්‍යයේ දැක්ම’ ස්ටඩි කරන්න ඕනෑ. නිකං සකාගෙ පොත පිරෙන්න ජෝක් කොටන්නැතුව.” රාමා කිව්වෙ සීරියස් ටෝන් එකකින්.

“මතක නෙ අපි පොඩි කාලේ සෙට් වෙලා රබර් වතු ගාණේ දර හොයන්න ගියා. අන්නාසි ගෙඩියක්, දෙකකුත් හොරෙන් කඩාගෙන, පොල් ගෙඩියක් දෙකකුත් අහුලාගෙන ළපටි සෙට් බවලතියො මොන තරං එන්ජෝයි කළා ද? අවුරුදු එකහමාරක් ගෙදරට වෙලා ඉස්කෝලෙ නැතුව පොල් ගගා උන්නු ළමයි ටිකවත් ඉස්සර කරගෙන මේ සීන් එකට සෙට් වෙන්න කවුරුත් උනන්දු වුණේ නෑ නෙ” කියලයි සීතා කිව්වෙ.

“එතැන පොඩි අවුලක් තියෙනවා. ඒ කාලේ දර හොයපු රබර් වතු නානාප්‍රකාර සිටීස් වෙලා පර්චස් හයට හතට වෙන්දේසි වෙලා. ඉස්සර වෙලා රබර් සිටුවීමේ ප්‍රොජෙක්ට් එකක් හදන්නයි තියෙන්නෙ.” නන්ද කිව්වෙ, ඈතින් මතුවෙන ක්‍රිෂ්ණ දිහා බලාගෙන.

■ හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ
Leave A Reply

Your email address will not be published.

1 × five =