ආයුබොවන්ඩ ලොහාන්..,

මේ දවස්වල පෙරහැරේ එනව වගේ දවස ගානෙ මතුවෙන අලුත් පුරස්න හින්දා තමුන්නැහැට ලියුං කඩදාසියක් ලියාගන්ඩවත් අහවරක් නැතිවුනා නොවැ. ඊයේ පෙරේදා අපේ ලොහාන් සෑර්ට සිද්දවෙච්ච අලකලංචි ගැනම කල්පනා කොරන එකම තමා අපෙත් රාජකාරිය. ඒ මඳිවට ඒවා අවුස්ස අවුස්සා විරුද්ද පක්සයි මාස් මීඩියයි- සෝසල් මීඩියයි රට ගිනි තියන්ඩ හදනවනෙ. උන්දැලාගේ හැසිරීම කොච්චර නරක ද නේද ආයිබොවන්ඩ. කොරෝනාවෙනුයි, ඩොලර් අර්බුදෙනුයි රට ගොඩ දාගන්න ලොකු සෑරුයි, පොඩි සෑර්ලයි මේතරං දතකද්දි අධිරාජ්‍යවාදින්ට බැලමෙහෙවර කරන උනුයි ඩයස්පෝරාකාරයොයි එකතු වෙලා මේ වගේ බාල්දි පෙරළන එකනං අහස පොළව නුහුලන අපරාධයක් තමා.

ඒ අතින් බලන කොට පහුගිය දවසක අපේ ලොහාන් සෑර් හෙලිකොට්ටරෙන් ගෙහුන් කොරපු හපංකොම ගැන නං අපේ පපුකූඩුවල තියෙන්නෙ වචනෙන් කියන්ඩ බැරි තරමේ දේසාබිමානයක්. පුරාණ කාලෙ රාජ කුමාරවරුත් අබිසරුලියන් එක්ක වනදුර්ගවල, ජලදුර්ගවල, ගිරිදුර්ගවල ප්‍රේම චාරිකා ගියා කියනව නෙ. එහෙම බලනකොට රාජ පරම්පරාවලට නෑකං කියන කන්ද උඩරට රාජ්ජේ බොහොම බලගතු ප්‍රොබූ පැළැන්තියේ පොරක් වෙන තමුන්නැහැ රූපරාජිනියක් එක්ක හෙලිකොට්ටරෙන් සවාරියක් ගිය එක මහා අපරාදයක් හැටියට උලුප්පා දක්කන්ඩ තරං මේ රටේ මාද්දියකාරයො නරුමයන් වුණ එක ගැන මේ හිංගල රටේ හැබෑ උරුමක්කාරයො හැටියට අපේ බලවත් විරෝදය කියාපාන්නත් මේක අවස්තාවක් කොර ගන්නවා.

දිවා-රෑ නොබලා රටේ ආරස්සාව ගැනයි, සංවර්දනේ ගැනයි හිතන නාමල් බේබිලාගෙ පරපුරේ නැඟී එන සුපර් ස්ටාර් එකක් වෙන අපේ ලොහාන් අප්පොගෙ ශ්‍රී නාමෙට මඩ ගහලා විනාස කොරන්ඩ කොරපු කුමන්තරණයක් හැටියට අපි මේ හැම මුසාවක්ම ප්‍රතික්සේප කොරන බවත් විසේසෙන්ම කියන්ඩ ඕනා. හෙලිකොට්ටරේ කාගෙ ද..? ඒකෙ ගිය අනිත් කට්ටිය කව්ද..? පිස්තෝලෙ කොහෙන්ද..? වගේ පුරස්න අහන අසමජ්ජාති මාද්දියකාරයන් අල්ලලා දඬුකඳේ ගහලා අපේ හෙළ සිරිතටයි, සඟිස්කුරුතියටයි  අනුව දස වද පමුණුවන්න ඕනෑ ය කියලත් හුදී ජනයාගේ පාන් සංවේගය පිණිස මේ ලියුං කඩදාසියෙන්ම ලියා දන්නන්ඩ කැමතියි ආයිබොවන්ඩ.

හරිහමන් විදියට කෑමක්, බීමක්වත් නැතුව, මහ රෑ ජාමේ පවා නිඳිමරාගෙන හිරගෙවල්, පොලීසි, ඉස්පිරිතාල, නයිට් කලබ් වැනි මරුවා සැඟ වී සිටින ස්තානවල ජිවිතේ පරදුවට තබා තමුන්නැහැ කොරන මෙහෙවර එක දසමෙකින්වත් ආපස්සට ගන්ඩ එපා සෑර් ඔය මඩ ප්‍රොචාරවලට බයවෙලා. විසය බාර ඇමතියා හැටියට අපේ අතිගරු ලොකු සෑර්තුමා මුන්නැහැට පවරල තියෙන රාජකාරි අකුරටම ඉස්ට කොරන එක ලොකු වගකීමක්. මොකද? ඔහේගෙ අප්පච්චි රටේ ආරක්සාව බාරව හිටපු කාලෙ මලයණ්ඩිත් එක්ක ලොහාන් කුමරු උඩතලවින්නෙදි කොරපු සන්නද්ද අරගලය නීති පොත්වල පවා ලියවිල තියෙනව නෙ. අනුරාජපුරේ සිරිමහා බෝදිය වන්දනා කොරන්ඩ ගිහින් දක්කපු නලාගිරි හරඹෙත් එක්ක රත්වත්තෙලාගේ සටන්කාමී ඉතිහාසෙ රං අකුරෙන්ම ලියවෙන තැනට වැඩ සිද්ද කොරපු එකනං මාරම මාරයි මයෙ අප්පෝ.

හෙලිකොට්ටර ක්‍රියාන්විතෙන් පස්සෙ  තමුන්නැහැ පදවියෙන් ඉල්ලා අසුවුණ එක ගැන නං අපේ කිසිම මනාපයක් නැහැ බුදු සෑර්. ලොකු සෑර් උදා කොරල දීපු සවුබාග්ගියට පින්සිද්ද වෙන්ඩ ඉස්මුරුත්තාවටම කාලා, බීලා ටැලිවිසොංවලින් ලොහාන්, නාමල්, චිචී, දිලුම්  බේබිලගෙ දඟකාරකම් බල බලා අපි ගත්තු පුල් ආතල් එක අබිලික් නොකර ඇල්ටීටීකාරයන්ට පිස්තෝල එල්ල කොරපු පුංචි සෙල්ලක්කාර වැඩෙනුත් අපෙ රත්තරං අප්පෝ නිදොස් කොට නිදහස් කෙරේවා කියා බොක්කෙන්ම ප්‍රාර්ථනා කොරනවා●

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

sixteen − fifteen =