නිහතමානීකම, තක්කඩිකම සහ ජනාධිපතිකම

පසුගිය කැබිනට් හමුවක දී ජනාධිපතිවරයා තමන්ට අත්දැකීම් අඩු යැයි පිළිගත් බව ප්‍රකාශ විණි. එබැවින් අත්දැකීම් බහුල අගමැති සහෝදරයා තමනට උපකාර කළ යුතු යැයි පැවසූ බවද කියැවිණි. ජනාධිපතිවරයා තම අඩුපාඩුකම් ස්වයංවිවේචනාත්මකව දැකීම සුභ නිමිත්තක් සේ සමාජ මාධ්‍ය තුළ ලියැවෙන්නට විය. දැන් ඉතින් ඉදිරි වසර කිහිපය අත්දැකීම් අඩු නිහතමානී ජනාධිපතිවරයා අත්දැකීම් වැඩි අගමැති අයියා සමඟ රට පිම්මේ ගොඩනංවනු ඇතැයි පැවසිණි.

වැදගත්ම කරුණ වන්නේ පසුගිය කාලයේ සාක්ෂි සහිතව අධිකරණවල පවරා විභාගයට ගනිමින් සිටි නඩු අතරමඟ නවතා නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් කරවමින් එම නඩු ඉල්ලා අස් කොටගෙන අදාළ චූදිතයන් නිදොස් කොට නිදහස් යැයි ආණ්ඩුවේ සහ පාක්ෂික මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමේ වංචාව සම්බන්ධව ස්වයං විවේචන නැත්තේ මන්ද? යන්න ය.

එහි අනියමින් කියැවුණේ ජනාධිපතිවරයාට තව අවස්ථාවක් දිය යුතු බව ය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන කතා කරමින් සිටි ආණ්ඩුව හිටිඅඩියේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. එනිසා ජනාධිපතිවරයාගේ මේ ස්වයං විවේචනය ඒ වෙනුවෙන් පියවරක් පසුපසට තැබීමක් දැයි යන මත පළවීම් ද විය. වයස අවුරුදු දෙකකට අඩු මෙම කෙටිකාලීන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් තම ජනප්‍රියභාවය පහත දමාගෙන තිබීම මෙම සාකච්ඡාව මෙතරම් පළල් වන්නට හේතුවක් විය. මේ සියල්ල සිදු වන්නේ භාණ්ඩ හිඟවීම්, පාරිභෝගික පෝලිම් සහ මිල ඉහළයෑම් මධ්‍යයේ ය.

රටක ජනාධිපතිවරයකු තමන්ගේ ධුර කාලය පිළිබඳව ආපසු හැරීබැලීමක් කිරීම වරදක් නොවේ. එය ප්‍රසංශනීය කාරණයකි. එහෙත් එය ප්‍රසංශනීය කරුණක් වන්නේ එම කාර්යය අවංක චේතනාවෙන් කරන්නේ ද යන්න මත ය. එහි අවංක බව මැනිය හැක්කේ ස්වයං චිවේචනයෙන් තමන් දුටුවා යැයි සිතන අඩුපාඩු නිවැරැදි කර ගන්න තරමට ය. එපමණක් නොව ඔහු විසින් කර ගන්නා ස්වයං විවේචනයේ පරිපූර්ණත්වයේ තරමට ය.

තමන්ට රට පාලනය සම්බන්ධව අත්දැකීම්  අඩු යැයි කල්පනා කළ ජනාධිපතිම කාබනික වගාව කාලානුරූපව තහවුරු කිරීම වෙනුවට හිතුවක්කාරී ලෙස බලහත්කාරය යොදවා කටයුතු කරයි. කාබනික පොහොර යැයි රටට අහිතකර පොහොර ගෙන්වන්නට උත්සාහ කළ ඇමැති මගඩියට ද ගොවීහු විරෝධතා දක්වති. දැන් පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර යනුවෙන් අකාබනික පොහොරක් ගෙන්වන්නට හදයි. නමුත් විශ්විද්‍යාලවල පවා පොටෑසියම් ක්ලෝරයිඩ් පිළිබඳව පාඩමේ තිබෙන්නේ අකාබනික රසායනය යටතේ ය.

මේ ගොවීන්ට අමුඅමුවේ වංචා කිරීමකි. එහි දී ඒ පිළිබඳව ස්වයංවිවේචන නැත. ආපසු හැරීබැලීම් නැත. තම මතයේම එල්බගෙන සිටී. රටේ බරපතළ ප්‍රශ්නයක්ව පවතින ගුරු – විදුහල්පති සටන නිම කිරීම සඳහා සංගම්වලට පිළිගත හැකි විසඳුමක් ලැබී නැත. භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම පිළිබඳව ස්වයංවිවේචන හෝ සමාලෝචන නැත. රටේ සම්පත් ඇමෙරිකාවට, ඉන්දියාවට සහ චීනයට විකිණීම පිළිබඳව ආපසු හැරීබැලීම් නැත. තව මෙවන් කරුණු, සිදුවීම්, ක්‍රියාමාර්ග බොහෝ පවතී. වැදගත්ම කරුණ වන්නේ පසුගිය කාලයේ සාක්ෂි සහිතව අධිකරණවල පවරා විභාගයට ගනිමින් සිටි නඩු අතරමඟ නවතා නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් කරවමින් එම නඩු ඉල්ලා අස් කොටගෙන අදාළ චූදිතයන් නිදොස් කොට නිදහස් යැයි ආණ්ඩුවේ සහ පාක්ෂික මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමේ වංචාව සම්බන්ධව ස්වයං විවේචන නැත්තේ මන්ද? යන්න ය.

අවංක ලෙසම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ස්වයං විවේචනය කළ යුත්තේ, යහපාලන ආණ්ඩුවේ දුබලකම් එකපහරින් කපා දමන්නෙමුයි පවසමින්, පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් සහ මහ බැංකු බැඳුම්කර වංචාවේ වගකිව යුත්තන් බෙල්ලන් අල්ලා පරසක්වළ ගසන්නෙමුයි පවසමින්, ‘සෞභාග්‍යයේ දැක්ම’ යටතේ රට සුරපුරයක් කරන දියසෙන් කුමරු ලෙස ගෝඨාභය නම් කර ගනිමින් බලයට ඒමට ජනතාවට කළ මහා මුළාව පිළිබඳව ය. නමුත්, සිදු වන්නේ එය නොවේ. ජනතා විරෝධය බාල කිරීම සඳහා අනුකම්පාව ලබා ගනුවස් බොරු කන්කෙඳිරි ගෑම් ය. මේ වෙන කිසිවක් නොව මට වැරැදුණා යැයි පවසමින් එදා බලයට ඒමට කළා මෙන් ම අද බලය පවත්වා ගැනීමට කරන තක්කඩිකමකි. එබැවින්, ජනතාව ඇස්, කන් හයා බලා සිටිය යුත්තේ මොවුන්ගේ අවංක ලෙස පෙන්වන වංචනික හැසිරිම් දෙස ය. ජනතාව තමන්තේ ආරක්ෂකයා ද, රටේ සුපරීක්ෂකයා ද තමන් විය යුතු ය. ●

 

 

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

twelve − three =