නීතිපතිට සහ කරන්නාගොඩට අභියාචනාධිකරණයෙන් නොතීසි !

නීතිපති සංජය රාජරත්නම්ට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කළේය.

ඒ, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනු කර තිබු අධිචෝදනා ඉවත් කරගැනීමට නීතිපතිවරයා පියවර ගැනීම අභියෝගයට ලක්කරමින් අතුරුදන්වුවන්ගේ මව්පියන් 4 දෙනෙකු ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

නාවික හමුදාවේ පිරිසක් ඇතුළත් වූ කප්පම් කල්ලියක් 2008 / 2009 වසරවලදී කොළඹ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබු නඩුවේ 14 වන විත්තිකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනු කර තිබූ අධිචෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපතිවරයා පසුගිය 13 දා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. ඒ, මේ සම්බන්ධයෙන් කරන්නාගොඩ විසින් යොමුකරන ලද පෙත්සමක් සලකා බැලීමේදී ය. මීට පෙර මේ නඩුව විභාග කෙරෙන ත්‍රිපුද්ගල මහාධිකරණයට ද නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මේ දැනුම්දීම කෙරිණි.

නීතිපතිවරයාගේ එම තීරණය බල ශූන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මේ මව්පියන්ගේ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 29 වැනිදා යළි කැඳවීමට සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කරන ලදි.

ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ නීතිපතිවරයාට සහ වසන්ත කරන්නාගොඩට ඔක්තෝබර් මස 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට නියෝග කෙරිණි.

Leave A Reply

Your email address will not be published.

7 − 1 =