නාමල්ගේ ක්‍රිප්ටො කරන්සි යෝජනාවට මහ බැංකු අනුමැතිය නැහැ

ක්‍රිප්ටො කරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබූ බව පසුගිය දා ප්‍රකාශ විය. සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවකට මෙ‍ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි පැවසුණේ.

ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම සඳහා ඩිජිටල් බැංකුකරණය, ‘බ්ලොක්චේන්’ තාක්ෂණය සහ ‘ක්‍රිප්ටො කරන්සි මයිනින්’ ‍ඇතුළු අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්‍ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් විය.

දකුණු ආසියාවේ බොහෝ රටවල් එම ක්‍ෂේත්‍රයන් අගැයීම හා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර, එම රටවල් සමඟ තරගකාරී පදනමින් කටයුතු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි කඩිනමින් අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍ය නාමල්ගේ යෝජනාවේ සඳහන් වූයේ.

1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව, ක්‍රිප්ටො කරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබූ බවයි වාර්තා වූයේ.
එහෙත්, ක්‍රිප්ටො කරන්සි පිළිබඳව මහ බැංකුව දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත්, ශ්‍රී ලංකාව තුළ යම් පුද්ගලයකු ක්‍රිප්ටො කරන්සි භාවිතයෙන් ගනුදෙනු කරන්නේ නම්, එහි අවදානම දැරීමේ වගකීම ද ඔවුන් සතු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දා පැවසුවේ ය.
මේ වන විට ඇතැම් සමාගම්, විශේෂයෙන්ම සුඛෝපභෝගී මහල් නිවාස (Apartments) වෙළෙඳාමේ නිරත සමාගම් ඒවා අලෙවියේ දී සහ බදු දීමේ දී ක්‍රිප්ටො කරන්සි ගෙවීම් භාර ගන්නා බවට ප්‍රසිද්ධ දැන්වීම් පළ කර ඇති බැවින්, එවැනි ගනුදෙනු ශ්‍රී ලංකාව තුළ අනුමත ද යන කරුණ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

“ක්‍රිප්ටො කරන්සි සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැහැ. අපි ඒ ප්‍රතිපත්තියේම තමයි ඉන්නේ. යම් යම් අය වෙන වෙන මුදල් භාවිත කරනවා නම්, ඒ අවදානම ඒ අය ගන්න ඕනේ. භාණ්ඩ හුවමාරු කරද්දීත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ මුදල් ඒකකය රුපියල. එතැනින් එහාට වෙන කිසිම දෙයක් අපි අනුමත කරලා නැහැ” යනුවෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසී ය.
මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු පැවසුවේ, මේ සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් පවතින බවයි.

Leave A Reply

Your email address will not be published.

5 × two =