නීතිපති තීන්දුවට එරෙහිව අතුරුදන් කළ දරුවන්ගේ මව්පියන් අධිකරණයට !

නාවික හමුදාවේ කප්පම් කල්ලියකට චෝදනා එල්ල වී ඇති, තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම පිළිබඳ නඩුවේ විත්තිකරුවකු වන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන නොයෑමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින්, අතුරුදන් කළ තරුණයන්ගේ මව්පියන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

විත්තිකරුට එරෙහි චෝදනා ඉවත් කරගන්නා බව ඊයේ (13 දා) නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දෙන ලදි. මීට‌ පෙර පසුගිය අගෝස්තු 04දා මේ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණයට ද නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් මේ බව දැනුම් දී තිබිණි. 2008 අගෝස්තු 08 සහ 2009 සැප්තැම්බර් 21 අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී කස්තුරි ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජේ. ඩිලාන්, අමනන් ලියෝන්, ඇන්තනී කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන්, මොහොමඩ් අලි අන්වර් යන පිරිස ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපොළ බලහත්කාරයෙන් ලබාගැනීම, තරුණයන් අතුරුදන් කිරීමට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා 667කට අදාළව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණි.

නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම් කර ඇත්තේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී.දසනායක, සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, දිලංක සේනාරත්න, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඇන්ටන් ප්‍රනාන්දු, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත්‍රිආරච්චිගේ ගාමිණී, උපුල් චමින්ද, චන්දන ප්‍රසාද් හෙට්‌ටිආරච්චි, නන්දප්‍රිය හෙට්ටිහැන්නදි, සම්පත් ජනක පෙරේරා හා වසන්ත කරන්නාගොඩ ය.

නීතිපතිවරයා විසින් මෙසේ වසන්ත කරන්නාගොඩට අදාළ චෝදනා ඉවත් කරගැනීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම 15දා සලකා බැලීමට නියමිතව තිබිණි. සරෝජා ගෝවින්දසාමි නාගනාදන්, ජෙනිෆර් වීරසිංහ, මර්වින් ප්‍රේමලාල් වීරසිංහ, ජිෆ්රියා සබ්රීන් යන මව්පියන් නීතිපතිවරයා සහ වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ වගඋත්තරකරුවන් කරමින් මේ පෙත්සම ගොනුකර තිබේ.

මේ නඩුවට අදාළව චෝදනා පත්‍ර ලබා දී ඇති හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හදිසියේ නිදහස් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මෙසේ මැදිහත් වීම බරපතළ ගැටළුවක් බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති. මේ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර පසුගිය 04දා මුලින්ම මේ බව පවසා තිබිණි. මේ නඩුවේ 14 වැනි විත්තිකරු ලෙස කරන්නාගොඩ නම් කර ඇත. මීට අදාළව කරන්නාගොඩ විසින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසු, පෙත්සම් විභාගය අවසන් වන තෙක් නඩුව විභාග කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබිණි. එම පෙත්සම කැඳවීමෙන් පසුව ය, ඊයේ 13 දා නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට අදාළ දැනුම් දීම කර තිබුණේ.

කෙසේ වෙතත් මීට පෙර මහාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දී තිබුණේ ඉහළ අධිකරණයක මීට අදාළ පෙත්සමක් විභාග වන තත්ත්වයක් තුළ, කරන්නාගොඩට එරෙහි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට කලබලයක් ඇති වීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි. මෙවැනි අවස්ථාවකදී නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ මේ ආකාරය නිවැරදි ද යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු පැවසුවේ එහි වරදක් නැති බවයි. නඩුව විභාග කරනු ලබන්නේ අදාළ මහාධිකරණයේ වන නිසා, නීතිපතිවරයාගේ ස්ථාවරය එම අධිකරණයට දැනුම් දීමේ ගැටළුවක් නැති බව ද හිටපු නීතිපතිවරයා සඳහන් කළේය. එහෙත් අදාළ ස්ථාවරයට අනුව හදිසියේ චෝදනා ඉවත් කර ගැනීමේ තීරණය ගැනීම සම්බන්ධයෙන් වෙනම අවධානය යොමු කළ යුතු බව ද ඔහු මීට පෙර පෙන්වා දුන්නේය.

මේ නඩුවට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායකට එරෙහිව පවරා ඇති නඩු විභාගය ඉදිරියට ගෙන යෑම වළක්වාලමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අවසන් වාර්තාවෙන් නීතිපතිවරයාට නිර්දේශයක් ද නිකුත් කර තිබිණි.

මේ අතර තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉවත් කිරීමේ ස්ථාවරයට විරෝධය පළකරමින් අතුරුදන් කරන ලද තරුණයන්ගේ මව්වරුන් විසින් නීතිපති සංජය රාජරත්නම් වෙත මීට පෙර ලිපියක් ද යවා තිබිණි.

මේ නඩුවට අදාළ ව හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබියදී, එමගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ඉහළ අධිකරණයට ගිය බවත්, ප්‍රමාණවත් තරම් සාක්ෂි තිබියදී වුවද ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවත් අදාළ මව්වරුන් විසින් එම ලිපිය මගින් නීතිපතිවරයාට පෙන්වා දී තිබිණි.

අතුරුදන් කිරීම නිසා තම දරුවන්ගේ සහ තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම නොසලකා හැරුණු බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබිණි. එසේම මේ නඩුවට අදාළ චෝදනා පත්‍රය හිටපු නාවික හමුදාපතිවරයාට බාරදීම ප්‍රමාද වූයේ ද ඔහු මගහැරීම නිසා බව පෙන්වා දෙන එම මව්වරු, දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශන කළ ජනාධිපති කොමිසම මගින් නිදහස් වීමට ද ඔහු උත්සාහ කළ බව පෙන්වා දුන්හ. එහෙත් එවකට නීතිපති ධුරයේ කටයුතු කළ දප්පුල ද ලිවේරා විසින් අදාළ කොමිසමට මහාධිකරණයේ කටයුතුවලට සම්බන්ධ වීමට බලයක් නැති බව සඳහන් කිරීම නිසා එය වැළකුණු බව ද එම මව්වරුන් අදාළ ලිපිය මගින් නීතිපතිවරයාට මීට පෙර අවධාරණය කර තිබිණි.

මේ නිසා වසර 13ක විමර්ශනවලින් තහවුරු වූ සාක්ෂි මත ලබාදුන් චෝදනා පත්‍රය මෙසේ හදිසියේ ඉවත් කර ගැනීමට ගෙන ඇති ස්ථාවරය බරපතළ ලෙස තමන් වේදනාවට පත්කරන බව ද අතුරුදන් තරුණයන්ගේ මව්වරුන් අදාළ ලිපිය මගින් නීතිපතිවරයාට අවධාරණය කර තිබිණි. කෙසේ වෙතත් ඒ සියල්ල නොසලකා නීතිපතිවරයා තම ස්ථාවරය පවත්වාගෙන යෑමට එරෙහිව අදාළ රිට් පෙත්සම ගොනු කර තිබේ.

මීට අමතරව වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු එම කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර ඇති මේ පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ නඩු විභාගයක් අවසන්වීමට පෙර හදිසියේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ අධි චෝදනා ඉවත් කිරීමට නීතිපති කටයුතු කිරීම කිසියම් වරප්‍රසාදයක් හෝ ලාභයක් අපේක්ෂාවෙන් කරන ලද්දක් බවට සැක මතුවන බවයි.

– ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

13 + six =