කාන්තාව ලිප්ගල් තුනට කොටු කරන පාලනයට එරෙහිව නැගී සිටින්න

- අයිතීන් උදෙසා කාන්තාවෝ

වර්තමාන ආණ්ඩුව යටතේ අනුගමනය කරමින් තිබෙන ක්‍රියාමාර්ග නිසා කාන්තාව යළිත් වරක් ලිප්ගල් තුනට කොටු කිරීමේ උත්සාහයක් තිබෙන බැවින් ඊට එරෙහිව නැගී සිටින ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.

එම සංවිධානය අද (14)දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම කළේය.
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ, සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් සහ විධායක සභික ප්‍රභාශිනී වික්‍රමසිංහ මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
මෙහිදී අදහස් දක්වමින් එම සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මෙසේ පැවසීය.

‘මේ වනවිට බඩු මිල වැඩිවීමෙන් අපේ රටේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මේ රටේ පාලකයන්ට පෙන්වා දෙන්න සිදු වී තිබෙනවා. වර්තමාන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙකක්වත් ගතවෙන්න පෙර මැතිවරණවලදී විශේෂයෙන්ම කාන්තාවන්ට දුන් පොරොන්දු සියල්ල කඩකර තිබෙනවා. නමුත් අගමැතිකම, ජනාධිපතිකම, 2/3 බලය සහ 20 වෙනි සංශෝධනය යටතේ ජනතාධිපතිතුමාට වැඩි බලතල ලබාදීම සහ හදිසි නීතිය යටතේ තවත් බලතල රාශියක් ලබාගත්තා. කාන්තාවන් මුහුණ දෙන ආර්ථික සමාජීය ප්‍රශ්න විසඳන්න ඔවුන් බලය ඉල්ලුවා. කාන්තාවන් ප්‍රමුඛව ජනතාව බලය දීලා කෙටි කාලයකදීම මේ කණ්ඩායමට රටක් හදනවා තියා ගමේ පුංචි ප්‍රශ්නයක්වත් විසඳන්න බැහැ කියලා දැන් පැහැදිලි වෙනවා. අපේ රටේ ජනාධිපති, අගමැතිට වඩා හාල් මුදලාලිලාගේ නම් දන්නවා. සීනි මුදලාලිලාගේ නම් දන්නවා. පීඩාවට පත්වී උහුලගන්න බැරිව ඉන්න ජනතාවට දැන් විඳවන්න සිදුවී තිබෙනවා.

පහුගිය කාලයේ එන්නත් පෝලිම් තිබුණා. ඒ වගේම සමෘද්ධිය වගේ සහනාධාර ගන්නත් පෝලිම්වල හිටියා. මේ පෝලිම් සියල්ලටම වැඩිය අලුත් පෝලිම් ගමක් ගාණෙ ඇති වුණා. රොකට් වේගයෙන් රට සංවර්ධනය කරන බව කීවාට නැවතත් පෝලිම් යුගයට ගෙන ගියා. සීනි කිලෝ දෙකක් ගන්න, කිරිපිටි පැකට් එකක් ගන්න, අඩු මිලට හාල් ගන්න, ගෑස් ගන්න, මහපාරේ පොලිම්වල ඉන්න කාන්තාවන්ට සිදුවුණා. නමුත් අපේ රටේ නායකයෝ ගුවන්ගත වුණා. බහුතර කාන්තාවෝ පෝලිම්ගත වුණා. මේක තමයි ඇති කළ ආර්ථික සෞභාග්‍යය.’

Leave A Reply

Your email address will not be published.

15 − 2 =