නොණැවතුනු රතු හදවතට…

නොණැවතුනු රතු හදවතට…

රස්නය යන්න කලින් දුමාරයට මුසු වී
අදුරු පැහැ බදුලු පුර අහසේ
එක් වරක් හඬගානු බැරිවේද
“නිර්ධන පංතියට ජය වේවා” කියා
ආදරණීය කලු අයියේ

යටිපතුල් ලේ ගැලූ
මර්ධනය දියත් වූ කාලවල
තැනින් තැන නඟර ගම් දනව් වල
පංතියේ උන් සොයා ඇවිද ගිය
අසීමිත ප්‍රේමයේ ගිනිසිළුව

උනු කැඳ වීදුරුවක්
රස්නේ රහ වඩයක්
නියමුවා පත්තරයක්
ජීවිතේ පරම සතුටක්
ජීවිතය පක්ෂය කරගත්

මා බටහිර අහස ලඟ
නුඹ බදුලු අහස අග
එක අරමුණක වග
නුඹ හොඳින් දන්නෙහි ය
සහෝදර පියාපත

” මල්ලී

මුං ඔක්කොම අපේ පංතියේ මිනිස්සු
ඒක තේරුම් ගත්ත දවසට
අපිත් පහුකරගෙන යයි
එතකල් මේක අල්ලගෙන ඉන්න එක තමයි
අපේ වැඩේ …”

” ඔව් කලු අයියේ
උඹ අල්ලගෙන හිටියා
මැරෙන කල්ම
ජීවිතය පුරාවටම.
පංතිය තේරුම් ගනිමින් ඉන්නවා “

ශීත දුම්බර කදු බහිනකොට
නඟරය හොදට පේනවා
ඒ හැම දවසකම උඹ මතකයට එනවා
රතු උත්තමාචාර
නුඹ නමට හැමදාම තියෙනවා

ඉතින්
උඹ අද ඉඳලා නෑ
මගේ අකුරු බොඳ වෙනවා
බොඳවෙන ඇස් ඉස්සරහ
රතුපාට හදවතක් මැවෙනවා

උඹ ශ්‍රේෂ්ටයෙක්. !
හැමදාම කියනවා වගේ
ජයවේවා ආදරණීය සහෝදරයා
උඹේ ආදර්ශයත් අරගන
අපි ඉදිරියට යන්නම්.

– ප්‍රේමරත්න තෙන්නකෝන්

Leave A Reply

Your email address will not be published.

four − two =