“දුෂ්ටයෙකුගේ ආදර කතාවක්” වෘත්තීය ගෝලයන් හි යථා ව හෙළිදරව් කිරීමකි

සාහිත්‍ය පිළිබඳ ප්‍රාමාණිකයෙක් මෙන්ම ඇමෙරිකානු අභීක්ෂක (Detective) නවකතාකරුවෙකු වන සී. හියූ හෝල්මන් (C. Hugh Holman) සිය “A Handbook to Literature” කෘතියේ අභීක්ෂක නවකතා ගැන පවසන්නේ, “අපරාධයක්, සාමාන්‍යයෙන් මිනීමැරුමක් – අපරාධකරුගේ අනන්‍යතාවය නොදන්නා නවකතාවක් හෝ කෙටිකතාවක් ලෙස ය. ඒ තුල හෝඩුවාවන් තිබිය හැකි බවයි”. බොහෝ රහස් පරීක්ෂක කථා කේන්ද්‍රීය අපරාධයක් හෝ ඒ ආශ්‍රිත අපරාධ මාලාවක් වටා දිව යයි. ඔබේ කෙටිකතාවට හෝ නවකතාවට අපරාධය උත්ප්‍රේරකයක් වන හෙයින්, එය සිත්ගන්නාසුළු, අමතක නොවන හා විසඳිය නොහැකි බවක් පෙනෙන්නට තිබිය යුතු ය. ඒ තුලින් එහි ගොනුවී ඇති අභිරහස නිසා පාඨකයින් ආතතිමය තත්වයට පත් වනු ඇති අතර නවකතාව නොනවත්වා කියවීම සඳහා ඔවුන් පොළොඹවන්නේ ඒ මනෝභාවයයි. හෝල්මන්, එවැනි නවකතාවක් රචනා කිරීමේ දී “නොලියූ නීති” (unwritten rules) හයක් යෝජනා කරයි.

පළමුව, එහි අඩංගු අපරාධය සැලකිය යුතු පන්නයේ එකක් විය යුතු අතර පාඨක අවධානයට ලක් විය යුතුය. දෙවනුව, රහස් පරීක්ෂකවරයා යම් ආකාරයකින් අමතක නොවන චරිතයක් විය යුතුය. තෙවනුව, සුවිශේෂී රහස් පරීක්ෂකයෙකු ඒ තුල සිටිය යුතුය. හතරවනුව, රහස් පරීක්ෂක කතාවක ආකර්ෂණයෙන් විශාල කොටසක් ඇති බැවින් කතාවේ විසඳුම සෙවීමට පාඨකයාට ද උත්සාහ කිරීමට පෙළඹිය යුතුය. පස්වනුව, රහස් පරීක්ෂාව සඳහා සොයාගැනීම් සඳහා ඇති සියලු හෝඩුවාවන් පාඨකයාට ද ලබා ගත යුතුය. එවිට පාඨකයා කතාවේ අවසානය පිළිබඳ පූර්ව නිගමනයන්ට පිවිසේ. අවසාන වශයෙන් කතාව තාර්කික අවසානයක් කරා ගෙන ආ යුතුය. කතාව සෑම අංගයක්ම අවසානයේ ඒකමිතියකට ගෙන ආ යුතුය. එය ඇතැම් විට පාඨක අනුමානයක් වියහැකිය. නැත්නම් එසේ නොවිය හැකිය.

මේ පූර්ව සටහන තැබුණේ ඩිල්ෂාන් පතිරත්න නම් වූ සන්නිවේදකයාගේ දෙවන නවකතාව වන “දුෂ්ටයෙකුගේ ආදර කතාවක්” කිසියම් සටහනක් තැබීමේ පාදම ලෙසිනි. ඩිල්ෂාන් ගේ කෘතිය එක හැල්මේ කියවා නිමකළ හැකි දීර්ඝ නොවූ නවකතාවකි. කතාවේ තේමාත්මක හරය ගත්විට එය වඩාත් නෑකම් කියන්නේ අභීක්ෂක (Detective) නවකතා ප්‍රවර්ගයට ය. සමස්ථ කතාවම ඔහු ගොතන්නේ නීතීඥ වෘත්තියට අදාල ඒ වෘත්තීයමය ගෝලය (Professional Sphere) තුලය. ඔහු එහිදි කතාව කොටස් හතරකට කඩා ඉදිරිපත් කරයි. 01. පරවේශනීය සාක්ෂිය 02. හා 03. වෙන් කිරීම සඳහා වර්ණ හිස් පිටු දෙකක් (Color Separates) එකතු කරයි. 04. හෘද සාක්ෂිය ලෙසින් නම් කරයි. ඒවා නවකතාවේ පරිච්ඡේද ලෙස ද අවශ්‍ය නම් සැලකිය හැකිය. නමුත් නවකතාව කොටස් හතරකට බෙදා වෙන්කර ඇති බව බැලූ බැල්මට පෙනේ.

තරුණ නීතිඥයෙකු වන සුභාශ් රත්නායක නවකතාවේ කථකයා බවට පත් වේ. ඔහු නවීන් පින්නපොල නම් වූ ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකු යටතේ කණිෂ්ඨ නීතිඥයෙකු ලෙස කටයුතු කරන්නෙකි. කථාව ගෙතෙන්නේ මේ නීතිඥයන් දෙදෙනා කේන්ද්‍රීයව වුවද අනුශාංගිකව තවත් නීතිඥයෝ කිහිප දෙනෙක් කතාවට එකතු වේ. කථාව ඇරඹෙන්නේ කිසියම් සිදුවීමක් නිසා අවුල් සහගතභාවයට පත් සුභාශ් රත්නායකගේ ආත්ම කථනයකිනි. ඒ අවුල්වීමේ නොසන්සුන් හා වේගවත් බව පෙන්වීමට ඔහු උපක්‍රමිකව රාත්‍රී කාලයේ බීමත්ව සිය වාහනය වේගයෙන් පදවන සුභාශ් ගේ චරිතයට අදාල සිදුවීම් පෙලක් නිර්මාණය කරයි. ඒ ඔස්සේ අතීතාවලෝකනයකට සුභාශ්ව රැගෙන යන කතුවරයා කතාවේ මුල් කොටසින් ඒ ඒ චරිතවල ස්වරූපය හා හැසිරීම් රටාවන් හඳුනාගැනිම සඳහා අවශ්‍ය සාධක ව්‍යංගයෙන් අපට ඉදිරිපත් කරයි. පාඨකයා ට සිදුවන්නේ ඒ ඒ චරිතයේ ගති ස්වභාවයන් තනිව සකසා අංග සම්පූර්ණ චරිත බවට පත්කරගැනීමටයි. මුල් අධියර අවසන් වන්නේ සිය ජ්‍යේෂ්ඨ නීතිඥයා විසින් සිය මිතුරියකගේ දික්කසාද නඩුවක් කතාකිරිමට සුභාශ් රත්නායකට භාරදීමෙන් හා ඔහු එය පියවරෙන් පියවර ඉටු කිරීම ඇරඹීමෙනි. මෙහිදී පැන නගින කුතුහලය වන්නේ ඉතාමත් කිට්ටුවන්ත තම මිතුරියගේ නඩුවට නවීන් පින්නපොල පෙනී නොසිටින්නේ ඇයි යන කාරණයයි. පාඨකයාට සමාන්තරව එය සුභාශ් තුල ඇතිවේ.

“දුෂ්ටයෙකුගේ ආදර කතාවක්” ප්‍රබන්ධයේ දෙවන කොටස ඇරඹෙන්නේ විශ්‍රාමික මේජර්වරයෙකු වූ රෙජී ෆර්ඩිනැන්ඩස් පිහියකින් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියෙනි. ඔහු සුභාශ් රත්නායක නම් නීතිඥයා දික්කසාද නඩුවට පෙනී සිටින ජානකී ෆර්ඩිනැන්ඩස් ගේ ස්වාමි පුරුෂයායි. මේ කොටස සම්පූර්ණයෙන්ම ආතතියෙන් යුතු කුතුහලයෙන් පිරුණු කොටසක් ලෙස ඩිල්ෂාන් විසින් රචනා කරයි. ඒ රෙජී ෆර්ඩිනැන්ඩස් ගේ ඝාතකයා ලෙස සැකපිට අත්අඩංගුවට පත් වෙන ඔහුගේ පුත්‍රයා, ඇන්ජලෝ බේරා ගැනීමේ ක්‍රියාදාමය සිදුවන්නේ මෙහි දීය. එය නවකතාවේ එක් කූටප්‍රාප්ති (Climax) මොහොතකි. ඇත්තටම ඇන්ජලෝ සිය පියා ඝාතනය කලාද? නැද්ද? යන උභතෝකෝටිකයක පාඨකයා දෙපැත්තට දෝලනය කිරීමේ උපක්‍රමික බව මෙහිදී ඩිල්ෂාන් උපයෝගී කරගනී. විටෙක මේ ඝාතනය ජානකී විසින් කලාද? නැත්නම් ඇන්ජලෝ විසින් කලාද ? යන්න නීතිඥ සුභාශ් රත්නායකට පවා ඇතිවේ. ඔහු ඔහුගේ ජ්‍යේෂ්ඨ නීතිඥ නවීන් පින්නපොල ගෙන් විමසන අවස්ථාවේ ඔහු දෙන පිලිතුර අපූරු එකකි.

“ජෙන්ට්ලිමන්ට, මද්දට අහුවුණ දිවියා කරන්නේ බෙල්ල හිරවෙලා තියෙන් තොණ්ඩුව අස්සෙන් ඇඟම රිංගවලා එතනින් කලබලේට පැනලා යන්න හදන එක. කලබලේට අදින්න අදින්න මද්ද තව හිරවෙනවා. අන්තිමට බඩමැදින්ම හිරවෙලා ඌ මැරෙනවා. අපි හැමෝම දැනුවත්ව හෝ නොදැන්වත්වම එක එක මදුවලට අහුවෙනවා එක එක වෙලාවට. ඇන්ජලෝටත් වෙලා තියෙන්නේ එහෙම එකක් නම් ඇන්ජලෝ දැන ගන්න ඕනේ ඒකේ හිර නොවී ඔළුව ආපස්සට ඇදලා ගැටෙන් ගැලවෙන්න. ඒක ඇතුලට රිංගුවොත් ඒක එයාගේ වැරැද්ද. එයාට විතරක් නෙමේ තමුන්ටත් ඒක ඒ විදියටම අදාලයි.”

නිතිඥයෙකු තර්ක ගොඩ නගන ආකාරයත් ඒ තර්ක හැම විටම සත්‍ය නොවෙන ආකාරයත් ඩිල්ශාන් මේ කෘතිය පුරා අපට කියා දෙයි. එසේම නීතිඥ වෘත්තිය වැනි ප්‍රමාණාත්මක සිවිල් බලයක් හා ආධිපත්‍යයක් හිමිවන වෘත්තියක ඇතුලත යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය කෘතිය පුරා අපට හමුවේ. එය බැලූ බැල්මට පොදු සමාජයට නොපෙනෙන, නොදකින හා නොවැටහෙන කාරණයකි. පියල් කාරියවසම් ගේ “වීදුරු කුඩු කැවුණු කලෙක” නවකතාවෙන් ද ඔහු නිරාවරණය කරන්නට උත්සාහ ගත්තේ මේ වෘත්තීය වපසරිය තුල ඇතැම් චරිත ක්‍රියාත්මක වන විෂම ස්වරූපයයි. ඩිල්ශාන් ද නවකතාව තුල ඒ නිරාවරණය යම් ආකාරයකට කරන්නට උත්සාහ ගනී.

“දුෂ්ටයෙකුගේ ආදර කතාවක්” ප්‍රබන්ධයේ තුන්වන අදියරයේ දී කතුවරයා නවකතාව ආරම්භ කළ අවස්ථා සිද්ධි දාමයට පාඨකයා කැඳවා ගෙන ගොස් අමුණයි. සුභාශ් රත්නායක ගාලූ පාරේ අධික වේගයෙන් රිය ධාවනය කරන ඵලයට හේතුව සම්මුඛ කරයි. එතැන් සිට සිදුවන්නේ නවකතාවේ ගැටුම කූට ප්‍රාප්තියකට (Climax) රැගෙන එමින් එය තාර්කිකව කෙමෙන් කෙමෙන් පාඨකයා ඉදිරියේ ලිහා දැමීමයි. මෙහිදී ඔහු ප්‍රබන්ධ උපක්‍රමයක් ලෙස නවකතාවේ තැනින් තැන ගොඩනැගූ ගැටුම් (Conflicts) සියල්ල සැකයේ වාසියට ඉඩ සදමින් පිළිවෙලකට තර්කනයක් සහිතව අමුණා දමයි. මේ සියල්ලේ කතානායකයා වන්නේ සුභාශ් රත්නායක නම් වූ තරුණ නීතිඥයා රහස් පරීක්ෂයෙකු ලෙස සැකය ගාමක බලය ලෙස ගෙන ක්‍රියාකරන ආකාරය නවකතාව පුරාම දකින්නට ලැබේ. නවීන් පින්නපොල නම් ජ්‍යේෂඨ නීතිඥයා තමන්ව ඉත්තෙකු ලෙස භාවිතා කළ ආකාරය පවා ඔහු හඳුනාගනී. රෙජී ෆර්ඩිනැන්ඩස් ඝාතනය කළ ඇත්ත මිනීමරුවා කවුරුන්දැයි හෙළිවන අතර ඒ ඝාතන සැලසුමේ “ප්ලෑන් බී” ලෙස සුභාශ් ව භාවිතා කරන්නේ වැරදුනහොත් “මිටි තැනින් වතුර බැස්සවීමේ” න්‍යායට අනුවය. තර්කනය පදනම් කරගත් නීතිඥ වෘත්තිය තුල ඇතැම් විට එළන වටු කුරුළු දැල් ගැන පාඨකයාට නවකතාව තුලින් යම් අවබෝධයක් ලබාගත හැකිය.

නවකතාවේ අවසානයට එළඹෙන කොටස ඩිල්ෂාන් විසින් නම් කරන්නේ “හෘද සාක්ෂිය” නමිනි. සුභාශ් රත්නායක නම් නීතිඥයාගේ දෘෂ්ඨි කොණ්යෙන් මෙතෙක් නවකතාව ලියූ ඩිල්ෂාන් මෙම කොටස සම්පූර්ණයෙන්ම ලියන්නේ නවීන් පින්නපොල නම් වූ ජ්‍යේෂ්ඨ නීතිඥයාගේ දෘෂ්ඨිකෝණයෙනි. එය එසේ විය යුතුය කෙනෙකුගේ හෘද සාක්ෂියක් තවත් කෙනෙකුට ප්‍රකාශ කළ නොහැකිය. එවිට එය හෘද සාක්ෂියක් වන්නේ ද නැත. එවිට එය ප්‍රකාශ කළ හැක්කේ ශ්‍රැතිසූචනාර්ථයෙනි. මෙම කොටසින් ඩිල්ෂාන් කරනු ලබන්නේ ප්‍රබන්ධයේ තිබූ අභීක්ෂක (Detective) මුහුණුවර ගොඩ නැගූ ද්විතීයක චරිතය ප්‍රධාන චරිතය බවට රූපාන්තරණය කරමින් යම් හේතුඵල සම්බන්ධතාවක් සාදා දීමයි. එහිදී ඔහු නවීන් පින්නපොල තනි කළු චරිතයක් හෝ සුදු චරිතයක් බවට පත්නොකිරීමට ප්‍රවේශම් වෙයි. ජානකී ෆර්ඩිනැන්ඩස් චරිතය නවීන් පින්නපොල චරිතයට ඇති ගැඹුරු සම්බන්ධතාව තර්කනයක් ලෙසින් ගෙන සමස්ථ සිදුවීම්වලිය කේන්ද්‍ර අභිසාරීව මෙහෙයවයි. එහිදි කලින් පරිච්ඡේදයේ ලිහා දැමූ ඝාතනයේ සත්‍යය තාර්කිකව අවබෝධ කර ගැනීමට පාඨකයාට හැකි වේ. ආදරය යන මානවීය සම්බන්ධතාව තත්‍ය ලෝකයේ වැඩ කරන ආකාරයත් එය ඇතැම්විට ෆැන්ටසිමය ලෝකයේ වරනැගෙනවාට වඩා ඉඳුරාම වෙනස් බවත්, එහි පරස්පරය බවත් ඩිල්ශාන් මෙහිදී සාමාන්‍යකරණය කරයි. එය හැම විටම යථාර්ථයට වඩාත් ලඟ අර්ථ නිරූපනයකි. නවීන් පින්නපොල ගේ “හෘද සාක්ෂියේ” අවසාන කුඩා ඡේදය එය සනාථ කරයි.

“හැම ආදර කතාවකම අවසානය සුඛාන්තයක්ම වියයුතුයි කියලා රීතියකුත් නෑ. ආදර කතාවකට ඕනේ ආදරයක් විතරයි. ඒ ආදරේ ඇතුළේ ආදරවන්තයා වීරයෙක් වෙන්නත් පුළුවන්. දුෂ්ටයෙක් වෙන්නත් පුළුවන්. මම මාව ඒ විදියට සාධාරණීකරනය කරගත්තා.”

“දුෂ්ටයෙකුගේ ආදර කතාවක්” නවකතාව පරිපූර්ණ නවකතාවක් යැයි කියන්නට හදිසි නොවෙමි. එයට හේතුව වන්නේ නවකතාවේ රහස්‍යබවත්, චරිත නිරූපණයත්, අවස්ථා සිද්ධි නිර්මාණයත් තව දුරටත් ගැඹුරින් ගොඩනගා ගතහැකිව තිබුණා යැයි හැඟීයන බැවිනි. නමුත් මෙය අභීක්ෂක (Detective) නවකතාවක යම් ලක්ෂණයන් අපූරුවට උපයෝගී කරගෙන කළ ප්‍රබන්ධයකි. සැකය, කුතුහලය, ගැටුම, වේගය ආදිය ඩිල්ශාන් මෙහිදී අපූරුවට උපයෝගි කරගනී. වෘත්තීය රහස් පරීක්ෂකවරයෙකු ගේ භූමිකාවක් මෙහි බැලූ බැල්මට නැතත් සිදුවීමේ ම වින්දිතයෙකු බවට පත්වන්නට යන සුභාශ් රත්නායක ගේ චරිතය වරින් වර ඩිල්ශාන් විසින් රහස් පරීක්ෂකවරයෙකු ගේ හැඩයට ගෙන එමින් හසුරුවයි.

විශේෂයෙන්ම නීතිඥ වෘත්තිය ගෝලයට අදාල බස භාවිතා කරමින් එය ස්වාභාවික, බැවහර භාෂාමය ලෝකයක තබා හැසිරවීමට ඩිල්ෂාන් පතිරත්න නම් තරුණයා දක්වන සමත්කම අගය කළයුතු වේ. එසේම සුභාෂ් රත්නායක වැනි තරුණයෙකු මුවට නගන බස නූතනම තාරුණ්‍ය ලෝකයේ බස යි. ඔහු එය අසීමාන්තික නිදහසකින් හසුරුවයි. එය කතාවට එක් කරන්නේ අපූර්වත්වයක් මෙන්ම කියවීමේ රුචියකි. කෙසේ වෙතත් ඩිල්ෂාන් පතිරත්න යනු චතුර භාෂා රචකයෙක් මෙන්ම උත්ප්‍රාසාත්මක කතා කියන්නෙකු බව ඔහුගේ දෙවැනි දිගු ප්‍රබන්ධයෙන් ද සනාථ කරමින් සිටී.

– කපිල එම්. ගමගේ

Leave A Reply

Your email address will not be published.

5 + four =