පේරාදෙණියෙන් ආ රෙජිස්ටර් ලියුම!!

සාමාන්‍යයෙන් ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලයට වෙනත් විශ්වවිද්‍යාලවල උගත් අය බඳවාගන්නෙ කලාතුරකින්. උදාහරණෙකට පේරාදෙණියෙ විශ්වවිද්‍යාලෙ ආචාර්ය මණ්ඩලයෙ පේරාදෙණියෙ ප්‍රථම උපාධිය නොකරපු අය ඉන්නෙ ඉතා ටික දෙනයි. ශාස්ත්‍ර පීඨයෙ එහෙම අය ඉතා අඩුයි.
මම පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබූ ඇමරිකාවෙ මේකෙ අනික් පැත්ත. උදාහරණෙකට චිකාගෝ විශ්වවිද්‍යාලෙ තමන්ගෙ ආචාර්ය මණ්ඩලයට බඳවාගන්නෙ වෙනත් විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධි කරපු අය. ඒ විතරක් නෙමේ යම් විෂයක එක් පරම්පරාවක “චිකාගෝ සම්ප්‍රදාය” විචාරයට ලක් කරන අය. උදාහරණෙකට රෙඩ්ෆීල්ඩ්ගේ මානවවිද්‍යාව විචාරය කරපු ගියර්ට්ස් වගේ අය තමයි ඊ ළඟ පරම්පරාවෙන් ආචාර්ය මණ්ඩලේට බැඳෙන්නෙ. රෙඩ්ෆීල්ඩ් කියපු දේවල් ආපහු කියපු අය නෙමේ. ලංකාවෙ බොහෝ දුරට ඒකෙ අනික් පැත්ත.

මට පහත තියෙන ඡායාරූපය දැක්කම දෙයක් මතක් වුණා. 2006දී මම හිටියෙ ඇමරිකාවෙ. මම ලංකාවෙ විශ්වවිද්‍යාල ඇබෑර්තු ඇති වෙන දිහා බල බල උන්නෙ එහෙ මට සාපේක්ෂ වශයෙන් ස්ථිර රස්සාවක් තියෙද්දිත්. ඔහොම ඉන්නකොට දැක්කා පේරාදෙණියෙ විශ්වවිද්‍යාලෙ ඇබෑර්තුවක් තියෙනවා. මං අයදුම් කරන්න ඕනෙ කියල හිත හිත ඉද්දි අයදුම් කරන්න අවශ්‍ය විස්තර, චක්‍රලේඛ, අයදුම් පත්‍ර ආදිය සහිත රෙජිස්ටර් ලියුමක් මට ලැබුණා. ඒක එවල තිබුණෙ ඒ වන විට මා දැකලාවත් නොතිබුණු, කීර්තිනාමයෙන් පමණක් දැන සිටි, මහාචාර්යවරියක්.

මම පේරාදෙණියෙ ඉගෙන ගත්ත කෙනෙක් නොවන නිසා ඇගේ ශිෂ්‍යයෙකුත් නෙමෙයි. සම්පූර්ණ පිටස්තරයෙක්. හැබැයි මම පේරාදෙණියට ආවොත් හොඳයි කියලා ඇය හිතල තියෙනවා.
ඇය තමයි මේ ඡයාරූපයේ ඉන්න ඉතා කුඩා සිරුරක් ඇති මහාචාර්ය රත්නා හන්දුරුකන්ද.
ඒ කාලෙ මේ තරම් සක්‍රීය වෙබ් අඩවි ආදිය අපේ කැම්පස්වලට තිබුණෙත් නෑ. ඒත් ඒ වන විට මම වෙන විදියකින් සොයාගත් අයදුම් පත්‍රයක් මගින් අයදුම් කරලයි තිබුණෙ. නමුත් ඇය එවා තිබූ අමතර විස්තර හරිම ප්‍රයෝජනවත් වුණා.

ඒ නිසා ඇයගෙ එම කරුණාවන්ත ක්‍රියාව අදත් මතකයි.
ඇයම ගොස් අදාළ කාර්යාලයෙන් ඒ ලිපිලේඛන ගෙන ඇයම තැපැල් කන්තෝරුවට ගොස් ඒවා තැපැල් කළ බව එතුමිය මට පසු කලෙක කිව්වා.
කතාවේ ඉතිරි කොටස අනාගත මතක පොතක අනිවාර්යෙන්ම තියෙනවා.
අද පේරාදෙණියෙ ඉඳගෙන මං මොනව හරි හොඳ දෙයක් කරනවා කියා හිතන අය ඇයටත් ස්තුති කරන්න.
එහෙම නොහිතන අය ඇයට වෛර කරන්න එපා. ඇය අපේ ශාස්ත්‍රාලීය ලෝකයේ අහිංසකම කාන්තාව. අහිංසකත්වය නම් අධිරාජ්‍යයේ අගරැජිණ.
ඒක ව්‍යාජ අහිංසකකමක් හෝ ශාස්ත්‍රීය පදනමක් නැති අහිංසකකමක් හෝ නොවෙයි. ඇය ඇගේ විෂයෙහි ඇය තෝරාගත් කොටස මත මේ කුඩා සිරුරින් ඇඟෙනවාට වඩා ස්වාමිත්වයක් පෑ කෙනෙක්. ඒ අඩවිය හරියටම දැන සිටි කෙනෙක්.
වයස අවුරුදු 39 දී මට ලංකාවේ විශ්වවිද්‍යාලයක ස්ථිර තනතුරකට බැඳෙන්න උපකාර කළ තවත් අය ගැන මම වෙනත් තැන්වල ලියා තිබෙනවා.
මට මේ සටහන ලියන්න හිතුණෙ මේ ඡායාරූපය අද අහම්බෙන් ඇස ගැසුණ නිසා.
මැඩම්! ඔබට යහපතම වේවා !!

(ඡායාරූපයෙහි සිටින අනෙක් මහාචාර්යවරිය පියසීලී විජේමාන්න මැතිණියයි. ඇය නූතන සිංහල කෙටිකතා ක්ෂේත්‍රයේ ප්‍රධානතම ලේඛිකාවයි. අන් කිසිම ලේඛිකාවක් කෙටිකතාව සමග මෙතරම් දීර්ඝ කාලයක් පොරබදමින් නිර්මාණකරණයෙහි යෙදී නෑ.)

-ලියනගේ අමරකීර්ති (fb)

Leave A Reply

Your email address will not be published.

3 × two =