රට හරි අතට ගැනීම

‘ශ්‍රී ලනිපය හරි අතට’ යනුවෙන් එහි 68 වන සංවත්සරය පැවැත්වූයේ පසුගිය සැප්තැම්බර් 03 වන දාය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. මේ සමුළුවේ දී ඔහු ප්‍රකාශ කළේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කර නව දේශපාලන බලවේගයක් ගොඩනැඟිය යුතු බව ය. ඔහුගේ කතාවේ කොටසක මෙසේ සඳහන් විය:

“බණ්ඩාරනායක මහතාගේ චින්තනය නිසා පුංචි මිනිස්සු ඔළුව ඉස්සුවා. මේ රටේ අද තියෙන ප්‍රශ්නය කුමක් ද? දේශපාලන ආයතනවලට සම්බන්ධ වී කටයුතු කරන අය අතර රට වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් කී දෙනෙක් දේශපාලනය කරනවා ද? එය ඉතා සුළු පිරිසක්.

“අපේ රට දූෂණයෙන් වංචාවෙන් තොරව හදන චින්තනයකට මේ රටේ දේශපාලකයන් කී දෙනෙක් සම්බන්ධ වෙයි ද?

“ගෙම්බන් වගේ එහෙට මෙහෙට පනින්නේ රට වෙනුවෙන් හිතන අය නොවේ. තමන් ගැන හිතන අයයි. අද දේශපාලනය තිබෙන්නේ එතැනයි. මේ රටේ ජනතාව මේ ප්‍රශ්නය විසඳාගත යුතුයි. හොඳ දේශපාලන සංවිධානයක්, හොඳ පුද්ගලයන් පිළිබඳ ජනතාව සිතිය යුතුයි. ඉතිහාසයක් නැතිව සාක්ෂියක් නැහැ.

“ශ්‍රීලනිපය කියන්නේ දූෂණයෙන් තොර දේශපාලනයක සැබෑ හිමිකරුවායි. එය දර්ශනයක්, චින්තනයක්, විකල්ප සංවර්ධන මාවතක් හඳුනාගෙන ගමන් කරනවා ද? කියන ප්‍රශ්නය අපට තිබෙනවා. නිවැරදි දේශපාලන දෘෂ්ටිය අප හඳුනා ගත යුතුයි.”

මෙසේ කියා පැවැත් වූ ශ්‍රීලනිප සමුළුවෙන් පසු ජනාධිපතිවරණයේ දී කරන්නේ කුමක් ද යන්න පිළිබඳව ශ්‍රීලනිපය තුළ විශාල වාද විවාද ඇති විය. බොහෝ දෙනාගේ මතය වූයේ පවුල්වාදය රජ කරන, දූෂිතයන් හා අපරාධකරුවන්ගෙන් පිරි, ජාතිවාදය කරපින්නා ගත්, එසේම රාජපක්ෂලාගේ අණසක පමණක් ක්‍රියාත්මක වන පොහොට්ටුවට සම්බන්ධ වීම ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට කිසිසේත් නොගැළපෙන බවයි. ඒ විතරක් නොව ශ්‍රීලනිපයේ වැඩි දෙනකු රාජපක්ෂලාගේ විවිධ පළිගැනීම්වලට, කෙනෙහිලිකම්වලට ලක් වූ අයයි.

අනෙක් පැත්තට සියල්ල විකිණීම ප්‍රතිපත්තිය කර ගත්, නව ලිබරල්වාදයේ කෙළපැමිණි, අධිරාජ්‍යවාදයේ ඕනෑම පදයකට නටන එජාපය සමඟ එකතු වීම ද ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට කොහෙත්ම ගැළපෙන්නේ නැත. එය ද වැඩි දෙනෙක් ඉදිරිපත් කළ කතාවකි. එසේ නම් කළ යුතු වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමයි. ජනාධිපතිවරණයට තමන් ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ශ්‍රීලනිප නායකයෝ වේදිකාවල ප්‍රකාශ කළහ. එසේ ඉදිරිපත් වන්නේ නම්, ඒ මෛත්‍රීපාල සිරිසේනම මිස අන් කවරකුවත් නොවේ. ශ්‍රීලනිප පාක්ෂිකයාගේ ද කැමැත්ත පක්ෂයේ අනන්‍යතාව රැකගෙන ගෞරවනීය ලෙස පෙනී සිටීමය. එහෙත්, ප්‍රශ්නය මත ුවූයේ ශ්‍රීලනිප නායකයන්ටය. ඒ මී ළඟ මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එන්නේ කොහොම ද කියන එකය. ඒකට කළ යුත්තේ පොහොට්ටුවේ හෝ එජාපයේ එල්ලීමය. 

අවසානයේ සිදු වූයේ කලින් සඳහන් කළ ප්‍රතිපත්තිමය දේශපාලනය පැත්තකට දමා තම තමන්ගේ තනතුරු බේරා ගැනීම වෙනුවෙන් පොහොට්ටුවේ වලිගයේ එල්ලීමය. මේ තීරණයට බොහෝ දෙනා විරුද්ධ වුවත් එළිපිට කියන්නට බයය. ඒ තීරණය වැරදි බව ප්‍රසිද්ධියේම බය නැතුව කිව්වේ කුමාර වෙල්ගමය. ඔහු කීවේ ශ්‍රීලනිපය බේරා ගැනීමට තමා ඉදිරිපත් වන බවය. ඉන් පසුව කරළියට ආවේ චන්ද්‍රිකාය. ඇය කළේ පොහොට්ටුවට එක් නොවූ ශ්‍රීලනිපයේ ප්‍රාදේශීය මට්ටමේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන ගිවිසුමක් අත්සන් කිරීමය. එය ද 68වන සංවත්සර සමුළුවේ දී මෛත්‍රී කීවාක් මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට ගැළපෙන්නේ නැත.

මේ ක්‍රියාමාර්ග දෙකෙන්ම සිදු වී ඇත්තේ සැබෑ ශ්‍රී ලංකා පාක්ෂිකයා අතරමං කිරීමය. නායකයන් වැරැදි පාරවල්වල යාමට කතා කළ ද සෑම ශ්‍රී ලංකා පාක්ෂිකයෙක්ම එසේ යන්නේ නැත. 2015දී රාජපක්ෂලා ශ්‍රීලනිපය වැරදි පාරේ ගෙන යාම කෙළවර වූයේ රාජපක්ෂලාට පරාජය අත් කර දී මෛත්‍රීපාල ඇතුළු ශ්‍රීලනිපය රැකගැනීමට කටයුතු කළ බලවේගය ඉදිරියට පැමිණීමෙනි. ඇල්පිටියේ පැවැති පුංචි මැතිවරණය පවා මෙයට කදිම සාක්ෂියකි. දයාසිරිලා ඇතුළු කණ්ඩායම පොහොට්ටුවේ එල්ලීමට තීරණය ප්‍රකාශයට පත් කොට තිබිය දීත්, ඇල්පිටියේ ශ්‍රීලනිප පාක්ෂිකයෝ ඡන්දය දුන්නේ ශ්‍රීලනිපයටමය. එය ප්‍රතිශතයක් ලෙස 12%කි.

 ඒ නිසා දැන් හරි අත සොයා ගැනීම සැබෑ ශ්‍රී ලංකා පාක්ෂිකයාගේ කාර්යයයි. 68වන සමුළුවේ දී මෛත්‍රී කියු පරිදිම ශ්‍රීලනිපයට ගැළපෙන්නේ දූෂණයට, වංචාවට එරෙහි මාවතකි. තමන් ගැන නොව රට ගැන හිතන චින්තනයක් සහිත විකල්ප සංවර්ධන මාවතකි. ජාතිවාදයට, පවුල්වාදයට එරෙහි රට උකස් කිරීමට, බිලි දීමට එරෙහි මාවතකි.

පොහොට්ටුවෙත්, එජාපයේත් ජාති ලක්ෂණ වන මේ ප්‍රතිපත්තිවලට එරෙහිව වමේ පක්ෂත්, සිවිල් සංවිධානත්, කලාකරුවන් සරසවි ඇදුරන් ඇතුළු විවිධ වෘත්තිකයන් එක්ව පුළුල්තම මධ්‍යස්ථානයක් ගොඩනඟා තිබේ. ඒ ජාතික ජන බලවේගයයි. විවිධ වෙනස් මත කොතෙක් පැවැතිය ද රට ගොඩනැඟීමේ විකල්ප මාවතක් පිළිබඳව පුළුල් වැඩපිළිවෙළක් සහිතව කටයුතු කරන්නේ ඔවුන් පමණි. ඒ නිසා සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ බලාපොරොත්තුව ඉටු කළ හැකි බලවේග එකතු වී සිටින්නේ එතැනය.

2015 දී පරාජය කළ රාජපක්ෂලා යළි බලයට ඒමට උත්සාහ කිරීම බොහෝ දෙනා තුළ බිය උපදවා තිබේ. ඒ රාජපක්ෂ යුගයේ පැවැති සුදු වෑන් ඇතුළු භීෂණයන් සිහිපත් වීමෙනි. සැබෑ ය. පහර දීම්, පැහැර ගැනීම්, ගිනි තැබීම්, ඝාතන හා අතුරුදන් කිරීම් එමට සිදු විය. ඒවා මතකයට නැඟීම අරුමයක් නොවේ. එහෙත්, ඒ එදා ය. දැන් අප සිටින්නේ එදා නෙවේ. මෙදාය. ඒ නිසා එදා සිදු වූ දේවල් යළි එලෙසම සිදු වේ යැයි සිතීම නුවණක්කාර වන්නේ නැත. ගෝඨාභයලාට එවැනි දේ කිරීමට කෙතරම් වුවමනාවක් තිබුණත්, දැන් පවතින වටාපිටාව ඒ සඳහා පහසු නැත.

යුද්ධය අවසන් වූයේ 2009 වසරේය. එතැන් සිට ම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ තම බලය තව තවත් වැඩි කර ගැනීමට මේ යුද ජයග්‍රහණ යොදා ගත්තේය. 2010 ජනාධිපතිවරණය දිනාගැනීමටත්, ඉන් අනතුරුව හිටපු හමුදාපති මෙන්ම ජනාධිපතිවරණයේ මහින්දගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකාට එරෙහිව අනීතිකව බලය යොදා ඔහු සිරගත කළේත් ඒ ආනුභාවයෙනි. ඉන්පසු මහ මැතිවරණය ජයගෙන ආණ්ඩුවක් පිහිටුවීම ද, එය පිහිටුවන විට විපක්ෂයේ පිරිසක් බිලිබාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගොඩනඟා ගැනීම ද සිදු වූයේ මෙම බලයම යොදාගෙනය. පළාත් සභා මැතිවරණ කඩින්කඩ පවත්වා ඒවායේ බලය ද මෙසේ ම තහවුරු කර ගනු ලැබීය.

අධිකරණය තුළ ද මෙම බලය ව්‍යාප්ත කර ගැනීමට රාජපක්ෂවරුන් කටයුතු කළ අතර, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක බලහත්කාරයෙන් තනතුරින් ඉවත් කර රූකඩයක් සේ මහින්ද රාජපක්ෂලාට අවනත මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස පත් කර ගත්තේය.

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් තම විධායක බලය තව තවත් තර කර ගනිමින් දිගටම බලයේ රැඳී සිටීමට මහින්ද රාජපක්ෂ සැලසුම් සකස් කළේය. පාර්ලිමේන්තුවේ කතානායක වූයේ සිය වැඩිමහල් සහෝදරයා වන චමල් ය. තවත් සහෝදරයකු වන බැසිල් කටයුතු කළේ ආණ්ඩුවේ ප්‍රධානියා මෙනි. ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය හමුදාපති, පොලිස්පති ඇතුළු සියලු දෙනාට අණ දෙමින් තමන්ගේම පාලනයක් ගෙන ගියේය. මහින්දගේ පුතා නාමල් රාජපක්ෂ රට පුරා තමන්ට කැමැති කැමැති දේ කරමින් සිටියේය. රාජපක්ෂ ඥාතීහු හා වන්දිභට්ටයෝ රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ සිට පහළටම බහිරවයන් මෙන් අරක් ගෙන සිටියහ. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුලුනු තුන යැයි කියන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ත්‍රිත්වයම රාජපක්ෂලාගේ අල්ලේ නටවන බලයන් බවට පත් වූ පසු කළ නොහැක්කේ කුමක් ද? ගෝඨාභය ද සුදු වෑන් සෙල්ලම් ඇතුළු තමන්ගේ විවිධ ගේම් දියත් කළේ මේ රැකවරණ නිසාවෙනි. ඒ එදා පැවැති තත්ත්වයයි.

එසේ වුවත් තවදුරටත් බලයේ සිටීම වෙනුවෙන් ම කැඳ වූ 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පරාජය භාර ගැනීමට සිදු වූයේ මෙතරම් බලයක් ආරෝපණය කරගෙන තිබිය දීය. අවසානයේ ඔහු නතර වූයේ මැදමුලනේය.  

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජය ගතහොත්, පවතින වටාපිටාව කවරාකාර දැයි විමසා බලමු.

මහින්දට එදා පෙන්වීමට තිබූ යුද ජයග්‍රහණ කතා දැන් වලංගු වන්නේ නැත. එදා පෙන්වමින් සිටි එල්ටීටීඊ බිල්ලා ද පෙන්වීමට වටාපිටාවක් නැත. ජනතාවගේ සැබෑ ජීවන ගැටලු ඊට වඩා බොහෝ සෙයින් ප්‍රබල ය. ඒවා මඟහැර යාම කිසිවකුටත් පහසු නොවේ. ඒ අතර 19වන සංශෝධනය සම්මත වී ඇති තත්ත්වයක් තුළ මී ළඟ ජනාධිපතිගේ බලතල සැලැකිය යුතු ප්‍රමාණයක් කප්පාදු වී තිබේ. එය එදා මහින්ද රාජපක්ෂට තිබූ බලයට වඩා බොහෝ සෙයින් අඩු ය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හදා ගැනීම පහසු කටයුත්තක් වන්නේ නැත. එසේ ම අධිකරණය රූකඩයක් මට්ටමට පත් කර ගැනීමට පහසු වන්නේ නැත. කොමිෂන් සභා ක්‍රියාත්මක වීම නිසා ද අත්තනෝමතික හැසිරීම් පාලනය වන්නේ ය. වැදගත් ම කරුණ වන්නේ මහින්ද මෙන් නොව ගෝඨාභය යනු අපරාධ, වංචා, දූෂණ නඩු විශාල ප්‍රමාණයක් ඇති චූදිතයෙකි. ඇමෙරිකානු පුරවැසිභාවය හේතුවෙන් අපකීර්තිමත් ඉතිහාසයක් ඇති ඒ නිසාම දැනටත් ජනතාව තුළ අවිශ්වාසයක් ඇති කර තිබෙන අයෙකි. එපමණක් ද දේශපාලන අපරිණතභාවය නිතර ප්‍රදර්ශනය කරන අතිශය දුර්වල අයෙකි. 

ඒ නිසා ගෝඨාභය හමුවේ ඇත්තේ එදා පැවැති පිටිය නොවේ. ඒ නිසා එදා කළ සෙල්ලම් මෙදා කිරීමට නොහැකි ය. තවත් කරුණක් මෙහි දී සිහිපත් කළ යුතු ය. එනම් කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණ ද, ලබන මාර්තුවේ මහ මැතිවරණය ද පැවැත්වීමට සිදුව තිබීමයි. අත්තනෝමතික සෙල්ලම් කිරිමට ගොස් ජනතාවගෙන් ඉගෙන ගත් පාඩම් රාජපක්ෂලාට අමතකව යා නොහැකි ය.

එදා මෙන් ම අදත්, හෙට දවසේත් ගෝඨාභයලාට ජනතාව කෙරෙහි බලය යෙදැවීමට අවශ්‍ය නැතැයි හෝ එවැනි වුවමනාවක් නැතැයි හෝ අප කිසිසේත් කියන්නේ නැත. අදත් ඔවුන් වටා කිසියම් මිලිටරි චින්නයක් ඇති පිරිසක් නැතුවා නොවේ.

ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස දිනැවීමට ගිවිස සිටින ඇතැම් මහත්වරුන් ගෝඨාභය සම්බන්ධයෙන් පතුරුවන භීතිය අතිශයෝක්තියකි. 71වසරක් රට පාලනය කළ තට්ටු මාරු දේශපාලනය දැන් ජනතාවට තිත්ත වෙලාය. ජනතාව දේශපාලනය එපා කියන්නේ එය ඒ තරමටම එය ජරාජීර්ණ වී තිබෙන නිසාය. මේ කලකිරීම කොතරම් දුරදිග ගියේ ද යත්, වමේ පක්ෂ, සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන් එක්වී කලින් සඳහන් කළ ජාතික ජන බලවේගය නිර්මාණය විය. මෙයින් අර්බුදයට ගිය මේ දෙපාර්ශ්වය  ඡන්ද ගරා ගැනීම සඳහා නව රැවටිලි වෙත මාරු වී සිටිති. බිල්ලකු පෙන්වා ඡන්ද ගරන්නට හදන්නේ ඒ නිසාය. ගෝඨා බිල්ලා ද එවැන්නකි.

2015දී ජනතාව ජනවරමක් දුන්නේ, ගෝඨාභයලා සිදු කළ වංචා, දූෂණ, අපරාධවලට නීතිමය පියවර ගැනීමටය; යහපාලනය ඇති කිරීමටය. එහෙත්, එජාපය ප්‍රමුඛ ආණ්ඩුව ඒ වෙනුවෙන් කළේ මොනවා ද? අද ජනාධිපති අපේක්ෂක වී සිටින සජිත් ප්‍රේමදාස ඒ වෙනුවෙන් කටක් ඇරියේ ද? කළ කිසිවක් තිබුණේ ද? කිසිවක් නැත. එසේ නම්, ගෝඨාභය පරදවන්නට සජිත් යෝජනා කරන්නට මේ අයට ඇති අයිතිය කුමක් ද?

එහෙත් දැන් ජනතාව මේවාට රැවටේවි යැයි සිතිය හැකි ද? මෙවර ජනාධිපතිවරණය කැඳවීමටත් පෙර මෙරට ආගමික ප්‍රධානීන්ගේ මැදිහත් වීමෙන් ඉතාම වැදගත් නිර්දේශාවලියක් ප්‍රසිද්ධ කරනු ලැබිණි. ‘ශ්‍රී ලංකාවට සුපිළිපන් දේශපාලනයක්’ යනුවෙන් එය නම් කර තිබිණි. එමගින් ඉල්ලා තිබුණේ  අපරාධ වැරදිවලට වැරැදිකරුවන් වූ හෝ ඒ සම්බන්ධව අධිකරණයේ නීති කටයුතු සිදු වෙමින් පවතින පුද්ගලයන් සඳහා අපේක්ෂකත්වය ලබා නොදෙන ලෙසද,   මත්ද්‍රව්‍ය ජාවාරම් කරන හෝ මත්පැන් හල් අයිතිකරුවන් සඳහා අපේක්ෂකත්වය නොදෙන ලෙසය. 

මෙම නිර්දේශාවලිය පිළිගනු ලැබූයේ, පොහොට්ටු පක්ෂයේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක පමණක් බව බෞද්ධ මහා මණ්ඩලයේ හිමිවරු ප්‍රකාශ කළහ. එහෙත් සියලු දෙනාම දන්නා පරිදි ගෝඨාභය රාජපක්ෂ යනු අපරාධ රැසක් සම්බන්ධච චෝදනා ගණනාවක් ඇති, උසාවි කිහිපයකම විභාග වෙමින් තිබෙන නඩු ඔහුට තිබේ. ඒ නිසා ඔහුට එය කෙසේවත් හරි යන්නේ නැත. එම නිර්දේශාවලියේ අඩංගු කරුණු අකුරටම රකින, කිසිදු චෝදනාවක් නොමැති එකම අපේක්ෂකයා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ය.

ඡන්දය දීමට සිටින ඇතැම් අය කල්පනා කරන තවත් කරුණක් නම්, තමන්ගේ අපේක්ෂකයා ජයග්‍රහණය කරන්නේ ද යන්නයි. ඔවුන් ඡන්දය දෙන්නේ ජයග්‍රහණය කරන්නේ නම් පමණි. වසර 71ක් තිස්සේ වැඩි දෙනෙක් කළේ ද මෙය මය. එහෙත්, වැදගත් වන්නේ ජයග්‍රහණය කරවිය යුත්තේ කවුරුන් ද යන්න තෝරා බේරාගෙන ඔහු හෝ ඇයව ජයග්‍රහණය කරවීමට වෙහෙස වීමයි. රටට ජනතාවට අවශ්‍ය කෙනා ජයග්‍රහණය කරන්නේ එසේ කළහොත් පමණි.

ජගදාක්ෂි

Leave A Reply

Your email address will not be published.

1 + 11 =