විශ්ව කෙටිකතාවේ රුසියානු රන් මුද්‍රාව ..”අන්තොන් චෙකෝෆ්”

අන්තොන් පාව්ලොවිච් චෙකෝෆ් ( Anton Parlovich Chekhov 1860 – 1904 ) සුළු වෙළෙන්දෙකුගේ පුතෙකු ලෙස 1860 ජනවාරි මස 17 වැනි දින රුසියාවේ බටහිර දිශාවේ සිහිටි ටැගන්රොග් ( Tagenrog ) නැමති නගරයේ දී මෙලොව එළිය දුටුවේය. ඔහුගේ ළමාවිය එතරම්ම සුන්දර වූවක් නොවීය.” මට ළමාවිය කියා දෙයක් නොවීය” යයි වරක් හෙතෙම පුවත්පතකටපවසා තිබුණි. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් ඔහු ගතකළ කටුක දිවිපවතේ ස්භාවය මැනවින් වචිත්‍රණය වන්නේ ය. ඔහු තම මූලික අධ්‍යාපනය තම ගමේ පාසැලෙන්ද ඉක්බිතිව තම උසස් අධ්‍යාපන මොස්කව් නගරයේ පිහිටි වෛද්‍ය විශ්ව විද්‍යාලයෙන්ද ලැබ 1884 දී වෘත්තීය වෛද්‍යවරයකු වශයෙන් සමාජයට පිවිසියේ ය. ඉක්බිතිව වෛද්‍ය වෘත්තියේ නියැලෙන අතරතුර අර්ධ කාලීනව සාහිත්‍යකරණයේ නිරත වූ හෙතෙම විවිධ කෙටිකතා හා නාට්‍ය රචනා කරමින් පුවත්පත් හා වාර සගරාවලට යැවීය. කාලය විසින් මිනිසාගේ ජීවිතය වෙනස් කරයි යන කියමන සනාත කරමින් තම වෛද්‍ය වෘත්තියට සමුදුන් හෙතෙම පූර්ණ කාලීනව ලේඛන කලාවට අවතීර්ණ වූවේය.

චෙකොෆ්ගේ නිර්මාණ ප්‍රවිශය හා භාවිතය —-

“චෙකොෆ් සැබවින් විශ්ව කෙටිකතාවේ න්‍යායාචාර්යවරයකු” යයි යමෙකු කිවහොත් එය ඉතා නිවැරදි වන්නේ ය. ඔහු විශ්ව කෙටිකතාව සුවිශේෂී අනන්‍යතාවයක් සහිත සාහිත්‍යාංගයක් කරනු පිණිස වෙහෙස මහන්සි වූ ලොව ශ්‍රේෂ්ඨතම මුල්කාලීන කෙටිකතාකරුවන් ( එනම් ඇමෙරිකානු ජාතික එඩ්ගා ඇලන් පෝ – Edgar Allen Po 1809 – 1849 / ප්‍රංශ ජාතික ගීද මෝපසාන් – Gay de Murpassant 1850 – 1893 / ඇමෙරිකානු ජාතික ඕ .හෙන්රි – O. Henry 1862 – 1910 / නවසීලන්න ජාතික කැතරීන් මෑන්ස්ෆීල්ඩ් – Katherine Mansfield 1888 – 1923 ) අතර ඉතා සුවිශේෂී කෙටිකතාකරුවකු ද විය .
චෙකොෆ් අතිදක්ෂ නාට්‍ය රචකයකු ද වූයේය. ඔහුගේ නාට්‍ය රචනා අතර The Sea-gull — 1895 , Uncle Vanya — 1897, The Three Sisters – 1901 , The Cherry Orchard — 1903 යනාදී පූර්ණ නාට්‍යය ද On the High Road , Swan’ s Songs, The Bear, The Marriage Proposal, The Waddling, The Anniversary යනාදී කෙටි නාට්‍යය ද ප්‍රකට තැනක් ගනී. එපමණක්ද නොව මෙම නාට්‍ය සියල්ලම Moscow Popular Art Theatre හි මුලින්ම ප්‍රදර්ශනය කරන ලද අතර ඉක්බිතිව මෙම නාට්‍ය ලොව විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඒ ඒ භාෂාවලින් ලොව පුරා වේදිකගත කරන ලදි.

චෙකොෆ්ගේ කෙටිකතාවලින් ජනිතවන සමාජය දෘෂ්ටිය —

චෙකොෆ් තම කෙටිකතා හා නාට්‍ය මගින් සමාජයට හෙළන දෘෂ්ටිය ඉතා ප්‍රබලය. එසේම ඉතා තියුණු ය. සාමාන්‍යයෙන් බැලූ බැල්මට ඔහු විසින් වර්ණනා කරන ලද සෑම දෙයක්ම සුලබ දේවල් වශයෙන් පෙනුණද ඒවායෙහි යටිපෙල අරුත ඉතා ගැඹුරු ය. එසේම ඒ සුලබ දේවල් අනුසාරයෙන් තමාගේ ජීවන අවදියේ යථාර්තය ඔහු ගැඹුරින් ප්‍රතිනිර්මාණය කළේය. ඔහු විසින් රචිත මතුපිටින් සුමුදු බවක් වහනය කරන කරන බොහෝ වැකිවලට යටින් ඇත්තේ අශිෂ්ඨත්වයට හා ම්ලේච්ඡත්වයට විරුද්ධව කරන බලවත් ද්වේශයකි. ඔහු තම සම්පූර්ණ ශක්තිය සාර් පාලනය සුරක්ෂිත කරන නිලධාරී පැලැන්තියට විරුද්ධව කැප කළේය. මිනිසාගේ අඳුරු අහුමුළු ගැඹුරින් නිරීක්ෂණය කිරීමටත් ඒවා ඔස්සේ මානව සම්බන්ධතා නිරූපණය කිරීමටත් ඔහු සතු ශක්තිය ඉතා ඉහළ අගයක් ගත්තේ ය. තමා අවට සමාජය කෙතරම් අදුරු වුවත් සාර් රාජ්‍ය පාලනය කොතරම් අත්තනෝමතික වුවත් තම ජනතාවගේ ශක්තිය , සිතුම් පැතුම් හා සහජ කුසලතාවය පිළිබඳවත් එසේම පැහැබර අනාගතයක් පිළිබඳවත් හෙතෙම තදින්ම විශ්වාස කළේය. මිනිස් ජීවිතය වෙලාගෙන පවතින දුක්ඛ දෝමනස්සයන් ඉතා ප්‍රබලව නිරූපණය කළ චෙකොෆ් නිර්ධන පාන්තික ජනතාවට බෙහෙවින්ම ආදරය කළේය.

එපමණක්ද නොව ඔහු විසින් නිර්මිත විවිධ චරිත රුසියානු ජනතාවට පැහැබර හෙට දිනක් පිළිබඳව අරුණළු උදා කරලීමට සමත් වූවෝ වූහ.

සැබවින්ම චෙකොෆ් සමාජ ශෝධකයෙකු නොවීය. එනමුත් කිනම් හෝ සාහිත්‍යය නිර්මාණයකින් සමාජයේ උස්-පහත්, කළු – සුදු සෑම චරිතයක් නිර්මාණය විය යුතු බව හේ තදින්ම විශ්වාස කළේය. ඔහුගේ කෙටිකතා තුළත් නාට්‍ය තුළත් කැපී පෙනෙන වස්තු නොමැති අතර කිසිදු වස්තුවක් නැතුවාක් සේ පෙනේ. එනමුත් ඔහු සෑම චරිතයක්ම භාවිතා කර ඇත්තේ දැඩි විමර්ශනයකින් හා තාර්කික බුද්ධියකින් යුතුව බව පෙනේ. කිනම් තරාතිරමක හෝ විවේචකයකුට චෙකොෆ්ගේ නිර්මාණයකින් අනවශ්‍ය චරිතයක් හෝ විස්තරයක් සොයා ගැනීමට නොහැකි තරම්ය. එම නිසා ඔහුගේ කෙටිකතාවක් හෝ නාට්‍යක් වුවද ලොව විශිෂ්ට සාහිත්‍යය නිර්මාණයන් ලෙස එදා මෙදාතුර මුළුමහත් ලෝක සාහිත්‍යය ප්‍රජාවම පිළිගනී.

චෙකොෆ් හා ලංකාව —-

චෙකොෆ් 1890 නොවැම්බර් මස 12 වැනි දින ( රුසියානු ඉපැරැණි දින දර්ශනයට අනුව — කර්තෘ. ) ශාන්ත පීටර්ස්බර්ග් නගරයෙන් නැව් නැග දින හයක් පමණ ගත කොට කොළඹ වරායට පැමිණි බව කියැවේ. ඉක්බිතිව ඔහු මෙරට තුළ කරන ලද සංචරය ,එහිලා විශේෂයෙන් දුම්රියෙන් මහනුවරට පැමිණීමත් ඉක්බිතිව පෙරළා කොළඹ පැමිණ දෙහිවල සත්තු උද්‍යානයෙන් මුගටි පැටව් දෙදෙනෙකු මිලදී ගැනීමත් යනාදිය පිළිබඳව තොරතුරු හමුවේ. එසේම ඔහු තම “ගුසෙෆි” ශෝකාන්ත කෙටි -නවකතාව ලියන්නට පටන් ගෙන ඇත්තේද ලංකාවේ දී බව කියැවේ.

මෙරට සාහිත්‍යකරුවන්ට හා පාඨකයන්ට බලපෑම් කරන ලද විදෙස් ලේඛකයන් අතර චෙකොෆ් ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.එහිලා හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා , ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා යනාදීන්
ඇතුළු බොහෝ ලේඛයන් පිරිසකට චෙකොෆ්ගේ නිර්මාණය බෞහෝ බලපෑම් කළේය. මාර්ටින් වික්‍රමසිංහ මහතා චෙකොෆ් පිළිබඳව කොතරම් තම අවධානය යොමු කළාද කිවහොත් ඔහු 1970 දී “චැකොප් හා ලංකාව “යන නමින් ඉතා වටිනා පොතක්ද රචනා කළේය.

චෙකොෆ්ගේ ජීවිතයේ අවසාන කාලපරිච්ඡේදයේ —–
චෙකොෆ් තම ජීවිතයේ අවසාන කාලපරිච්ඡේදය තුළ ක්ෂය රෝගයෙන් පීඩාවිඳි බව කියැවේ. එනමුත් ඔහු තම සුපුරුදු ලේඛන කාර්යයේ අත් නොකළේ ය. 1904 ජූලි මස මෙම අසහාය ලේඛකයා තම අවසන් වා-පොද වාතලයට මුසු කළේය.

ඔහුගේ බිරිඳ වූ ඔල්ගා නිපර් මෙසේ කියයි.

“ඔහුගේ මරණයට පැය කීපයකට පමණ පෙරාතුව ඔහු ලියන්නට බලාපොරොත්තුවෙන් සිටි කතාවක් කියා ඔහු මාව හිනැස්සුවා. ඔහු තමාගේ මරණය මොහොත දක්වාම හොද සිහියෙන් හිටියා. එසේම නිතරම රසැති ආහාර ගත් අතර තමාගේ මිතුරු බැංකු අධිපතියන් කීප දෙනෙකු සමගින් දින කීපයකට පෙර විනෝද ගමනක්ද ගියා. එසේම හැමදාම විඩාවට පත්වන තුරුම හොදට ඇවිදිමින් ව්‍යායාම කළා.”

චෙකොෆ්ගේ සමකාලීනයකුගේ අදහස් වලට අනුව මුළු රුසියාවම සම්පූරණයෙන්ම වින්ශ වී ගියත් ඔහුගේ කෙටිකතාවල උපකාරයෙන් එය නැවත ගොඩ නැගීමට හැකි විය.

වැඩිදුරටත් තම අදහස් දැක්වූ ඔහු ….

“චෙකොෆ්ගේ කෙටි කතාවලින් කියැවෙන ජීවත හා චරිත හා කාලයන් නැවත නොඑන සේ බොහෝ ඈතට ඇදී
ගොස් ය. පුරාණ රුසියාව ගැන දෑන් කාටවත් සිහිපත් නොවන තරම් ය. වර්තමාන රුසියාවේත් ලෝකයේත් චෙකොෆ්ට මෙතරම් ආදරයෙන් සලකන්නේ, ගෞරව කරන්නේ ඈයි ? එයට ප්‍රධාන හේතුව තමයි චෙකොෆ්ගේ
ප්‍රධාන පරමාර්ථය වූ සත්‍යය කිසිදින විශ්වාසයෙන් බැහැර නොවන සත්‍යය කීම සමහරවිට එහි හේතුව විය හැකියි. චෙකොෆ්ගේ ජීවිතය, ඔහු විසින් නිර්මිත චරිතවල ජීවිතය කෙතරම් කරදර සහිත වුවද ,තමා වටකර තිබුණ
එම සත්‍යයෙන් ඔබ්බට ගිය ඔහුට අනාගතයේ නිහඬ පියවර දෑණුණේ ය . එසේම ඇසුණේ ය.”
චෙකොෆ් තම ජීවිතයේ අවසාන කාලපරිච්ඡේදයේ දී පළමු රුසියානු නොබෙල් ත්‍යාගලාභී ඉවාන් බූනින් ට ( Ivan Bunin ) මෙසේ ලියා යැවීය.

“දැන් ඉතින් කෙටිකතා ලියන්න කාටත් පුළුවන්. හැමෝම ඒ ගෛලයට දැන් පුරුදු පුහුණු වෙලා . මම තමයි කෙටිකතා ගෛලය බිහි කලේ. මට ඒ කාලේ බොහෝ දෙනෙකු දොස් කීවා. මට ඔවුන් කීවා නවකතා ලියන්න කියලා .එහෙම නැතිව ගත්කතුවරයකු හැටියට මාව කිසිවිටෙකත් හදුන්වන්න බැහැ කීවා.”

ඔවුහු මෙසේ කියති

“ගද්‍ය සාහිත්‍යයේ පූෂ්කීන් චෙකොෆ් ය”
– ලියෙෆ් තෝල්ස්තෝයි

“චෙකොෆ් අනවශ්‍ය කිසිදු වචනයක් තම නිර්මාණයන්ට ඇතුලත් නොකළේය”.
– මක්සිම් ගෝර්කි

ආශ්‍රිත පොතපත —-
1. Anton Pavlovich Chekhov by Vladimir Yermilov — 1956.

– පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

“අන්තොන් චෙකෝෆ් අවසන් කටයුතු සිදුවන ඡායාරුපයක්

Leave A Reply

Your email address will not be published.

19 − three =