ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ ප්‍රාග්ධන අස්වැන්න

වඩා දරුණු වන්නේ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයයි. ඒවා බොහෝ විට කළු සල්ලි සුදු කරන දේශපාලන ව්‍යපෘති ය. මේවා පාලනය කරන බව ස්වාධීන මැතිවරණ කොමිසම ඡන්දය ගැන කියන මුල් අවස්ථාවේ දී කීවත්, පසුව එය අතහැර දමන ලදී. එනිසාම මේ මාධ්‍ය අයිතිකාර පවුල් තුන කුලියට ගත් මහජන දේපළ මුළු සංඛ්‍යාතම සිය හිතුමතේ අවභාවිතයේ යොදවයි. එය කිසිසේත්ම මහජන මතය නිදහසේ ප්‍රකාශ කිරීමේ අයිතියට සුවදායක නොවේ. මේ පිළිබඳව අවශ්‍යතාව තිබිණි නම්, මැතිවරණ කොමිසමට සාධාරණ මැදිහත් වීමක් කළ හැකිව තිබිණි. මේ මැදිහත් වීම සඳහා අවශ්‍ය වූයේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පවා හැකියාව තිබිණි. එහෙත් ඒ වෙනුවට සිදුවුයේ පවුල් තුනකට ‘බලාගන්නට දුන්’ මහජන දේපළ හිතුමතේ භාවිතයට ඉඩ දී අවසන් ඡන්ද ප්‍රතිඵලය නිදහස් හා සාධාරණ නොවන සේ නිකුත් කිරීමට වේදිකාව සැකසීමයි.

මෙවර ජනාධිපතිවරණය අන් කවරදාකටවත් වඩා වැඩි අවධානයක් දිනා ගත්, සියල්ලන්ම තමන් සහයෝගය දක්වන අපේක්ෂකයා වෙනුවෙන් එළිපිටම පෙනී සිටි මැතිවරණයක් විය. එහි දී වැඩි වශයෙන්ම කැපී පෙනුණේ පෞද්ගලික මාධ්‍ය ඒ වෙනුවෙන් කළ මැදිහත්වීමයි. විශේෂයෙන්ම ප‍්‍රවෘත්ති විකාශයන් තුළ දී ඒ ඒ මාධ්‍ය විසින් තමන්ගේ පක්ෂග‍්‍රාහීත්වය සෘජුවම පෙන්වා සිටි අතර, අනෙකුත් අපේක්ෂකයන්ට ලබා දෙන ඉඩකඩ බොහෝ සෙයින් අවම කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබී ය. ඒ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය නාළිකා වෙත ප‍්‍රසිද්ධියේම ජනතා විරෝධය එල්ල විය. එහෙත්, සාතිශය බහුතරයක් ජනතාව තමන්ගේ මතය සකස් කර ගනු ලබන්නේ මාධ්‍ය විසින් කරන වාර්තාකරණයන් අනුවය. එවැනි තත්ත්වයක් තුළ පොදු දේපොළ යටතට ගැනෙන විද්‍යුත් සංඛ්‍යාත උපයෝගී කර ගනිමින් මහජන මතය වෙනස් කිරීමට උත්සාහ කිරීම කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නොවේ.

අපේක්ෂකයන්ගේ ප‍්‍රචාරක වියදම්

මැතිවරණ ප‍්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන පරිදි ඔන්තෝබර් 14 වන දින සිට නොවැම්බර් 10 දක්වා කාලය තුළ අවම වශයෙන් රුපියල් මිලියන 3108කට වැඩි මුදලක් ජනාධිපතිවරණ අපේක්ෂකයන් විසින් සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැය කර තිබේ.

මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනකු වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් පේ‍්‍රමදාස විසින් මිලියන 2940කට වඩා වියදම් කර ඇත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය විසින් රුපියල් මිලියන 82ක් මුද්‍රිත මාධ්‍ය දැන්වීම් සඳහා ද, රුපියල් මිලියන 853ක් රූපවාහිනී දැන්වීම් සඳහා ද, රුපියල් මිලියන 503ක් ප‍්‍රචාරක රැලි සඳහා ද වශයෙන් රුපියල් මිලියන 1518ක් එම කාලය තුළ වැය කර තිබේ.

සජිත් පේ‍්‍රමදාසගේ වියදම් ද ඊට දෙවැනි නොවේ. ඉහත කී අනාවරණයටම අනුව සජිත් පේ‍්‍රමදාස විසින් රුපියල් මිලියන 175ක් මුද්‍රිත මාධ්‍ය දැන්වීම් සඳහා ද, රුපියල් මිලියන 544ක් රූපවාහිනී දැන්වීම් සඳහාද රුපියල් මිලියන 703ක් ප‍්‍රචාරක රැලි සඳහා ද වශයෙන් රුපියල් මිලියන 1422ක් වියදම් කර ඇත.

මේ අපේක්ෂකයන් දෙදෙනාටම වෙන වෙනම නොනිල අනුග‍්‍රහය දක්වන විද්‍යුත් නාළිකා මෙන්ම මුද්‍රිත මාධ්‍යයන් ද තිබුණු අතර, ඒවා මඟින් කළ ප‍්‍රචාරක කටයුතු වෙනම ම ගණනය කළ යුතු ය. උදාහරණයක් ලෙස ඇතැම් රූපවාහිනී නාළිකා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සිය ප‍්‍රවෘත්ති විකාශයේ විනාඩි විස්සක පමණ කාලයක් දිනපතාම වෙන් කරනු ලැබූ අතර, සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් ද එවැනි කාලයක් වෙන් කිරීමට ඔහුට හිතවාදී නාළිකා කටයුතු කරනු ලැබී ය. රාජ්‍ය නාළිකා දෙක මඟින් ද සජිත් පේ‍්‍රමදාසට විශේෂ කොට සැලැකීමක් තිබුණු බව කාටත් පැහැදිලිව දකින්නට ලැබිණි. ඉහත කී ප‍්‍රචාරක වියදම්වලට එම මාධ්‍ය ප‍්‍රදානයන් ඇතුළත් කර නොමැත.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් කර ඇති වියදම ඉහත වියදම්වලට සාපේක්ෂව ඉතාමත් අවම අගයකි. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන පරිදි අනුර කුමාර දිසානායක වෙනුවෙන් සති දෙකක් සඳහා මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් රුපියල් මිලියන 12ක් ද, රූපවාහිනී දැන්වීම් සඳහා රුපියල් මිලියන 32ක් ද, ප‍්‍රචාරක රැලි සඳහා රුපියල් මිලියන 116ක් ද වශයෙන් වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 0කට ආසන්න මුදලකි. කිසිදු රූපවාහිනී නාළිකාවක් ඔහු වෙත නොනිල අනුග‍්‍රහයක් දැක්වූයේ ද නැත.

ඒ ඒ මාධ්‍ය ආයතන දැන්වීම් සඳහා අය කරන මිල ගණන් අනුව අදාළ අපේක්ෂකයන් පළ කර ඇති දැන්වීම් ප‍්‍රමාණය අනුව මෙම මුදල ඇස්තමේන්තුගත කළ බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එය ප‍්‍රතිශතයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ 60%ක්, සජිත් පේ‍්‍රමදාස 39%ක් හා අනුර කුමාර දිසානායක 1%ක් ලෙස සටහන් වී තිබේ.

කෙසේ වෙතත්, මෙම වියදම් සඳහා ගුවන්විදුලි දැන්වීම් සහ සමාජ මාධ්‍ය සඳහා වියදම් කර ඇති මුදල් ද ඇස්තමේන්තුගත කර නැත. අනෙක් අතට සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා කෙරෙන ප‍්‍රචාරණයන්ගේ වියදම් ඇස්තමේන්තු කිරීම ඉතා අභියෝගාත්මක වන අතර, දැනට ශ‍්‍රී ලංකාව වෙත ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාව විසින් .්ෘ ඛසඉර්රහ.  පහසුකම හරහා  ඇතැම් උපාංග හා  දත්ත ලබා දුන්න ද ඒවා නිවැරැදි ගණනය කිරීමක් සඳහා ප‍්‍රමාණවත් නැත.

එසේම ෆේස්බුක් ආයතනය විසින් ශ‍්‍රී ලංකාවට ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ලබා දීමට පොරොන්දු වූ සමාජ මාධ්‍ය දැන්වීම් ප‍්‍රචාරණයේ විනිවිදභාවය සම්බන්ධ ඇතැම් පොරොන්දු  තවමත් ඉටු වී නොමැති මොහොතක අපේක්ෂකයන්ගේ හා පක්ෂවල සෘජු පිටුවලට වඩා ඒවායින් වියුක්තව හා සෘජු සබැඳි නොපෙන්වා වක්‍ර පිටු හා ප්‍රොෆයිල් ඔස්සේ කරන දැන්වීම් ප‍්‍රචාරණය  සහ අන්තර්ගතයන් විශාල වශයෙන් සංසරණය වන වටාපිටාවක හා ඒවා වර්ගීකරණය කෙරෙන ක්‍රමවේදය අනුවත්, අනෙක් සමාජ මාධ්‍ය වේදිකාවන් සම්බන්ධ තත්ත්වය එසේවත් විවෘතව නොවතින තත්ත්වයක මෙම කාර්යය තවත් දුෂ්කර වී තිබේ.

මැතිවරණ මූල්‍යකරණය

නියාමනය නොකළ සහ අසීමිත මුදල් භාවිතය හරහා සමහර අපේක්ෂකයන්ට ස්වකීය මුදල් සහ බලය භාවිත කර අනෙකුත් අපේක්ෂකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැර කෙරෙන අන්දමට ක්‍රියා කළ හැකි වීමත්, නියාමනය නොකළ සහ අසීමිත මුදල් භාවිතය හරහා මැතිවරණ ක්‍රියාවලිය තුළ අසමාන තරග බිමක් ඇති වීම සාධාරණ මැතිවරණයකට දැවැන්ත අභියෝගයකි.

මෙම අසීමිත මුදල් භාවිතය සඳහා නීතියෙන් කිසිදු බාධාවක් නොමැති වීම ඊට ප‍්‍රධාන හේතුවක් වී තිබේ. අපේක්ෂකයන්ට ලැබෙන අරමුදල් කාගේ ද? මුදල් ලබාදෙන්නා නියෝජනය කරන කුලකය මත්ද්‍රව්‍ය ද පාතාලය ද යන්න දන්නේ ඒවා ලබා ගන්නා අපේක්ෂකයන් ය. එහෙත් වර්තමානයේ පවතින මැතිවරණ නීති අනුව කළ හැක්කේ මැතිවරණ අපේක්ෂකයන් රාජ්‍ය දේපළ අවභාවිත කරන්නේ දැයි නිරීක්ෂණය කිරීම සහ එසේ කරන්නේ නම්, එම කටයුතු පාලනය කිරීම පමණි. එමඟින් පෞද්ගලික පාර්ශ්ව ඔස්සේ ලබා දෙනු ලබන මුදල් හෝ වෙනත් සම්පත් පාලනය කළ නොහැකිය.

මෙලෙස මැතිවරණ මූල්‍යකරණය වීම නතර කිරීමට මැතිවරණ වියදම් පිළිබඳව නීති ඇතුළත් පනතක් සම්මත කිරීම සඳහා 2017 වසරේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත වූ අතර, කෙසේ නමුත් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් සිදුවුයේ නැත.

සමාජ මාධ්‍ය සහ ව්‍යාජ පුවත්

සමාජ මාධ්‍ය යනු මේ වන විට ජනමතයට සෘජුවම බලපෑම් කරන මාධ්‍යයක් බවට පත් වී තිබේ. එය පසුගිය ජනාධිපතිවරණයේ දී පැහැදිලිවම දැක ගත හැකි විය. 2015 වසර වන විට ශ‍්‍රී ලංකාව තුළ අන්තර්ජාලය භාවිත කළ පිරිස මුළු ජනගහනයෙන් 25%කි. එසේම 2019 වන විට එම ප‍්‍රතිශතය 35ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ප‍්‍රචාරණ මෙහෙයුම් කණ්ඩායම් ද වටහාගෙන ඇත.

කෙසේ වෙතත්, මෙවර ජනාධිපතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරය තුළ සමාජ ජාල ගිණුම් සහ පිටු කොටස් හතරක් යටතේ ක්‍රියාත්මක වනු හඳුනා ගත හැකි විය. ඒ ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ නිල පිටු, ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් සහ ඔවුන් වෙනුවෙන් ප‍්‍රචාරණයේ යෙදෙන පිටු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජීය අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින අපක්ෂපාතී පිටු සහ කරුණු විකෘති කර සිය ප‍්‍රතිවාදීන්ට අවාසිසහගත කරුණු සහ වෛරී ප‍්‍රකාශ පළ කරන සමාජ ජාල පිටු වශයෙනි.

පසුගිය ආසන්න කාලය පුරාම මේ අතුරින් ව්‍යාජ පුවත් නිර්මාණය කරන සහ ඒවා පතුරුවා හරින පිටු දිගින් දිගටම අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරමින් ජනමතය විකෘති කිරීමට සහ විකෘතිසහගත අදහස් ජනතාව තුළ රෝපණය කිරීමට කටයුතු කළ බව නොරහසකි. විශේෂයෙන්ම ජාතිවාදය පදනම් කරගත් වෛරී ප‍්‍රකාශ පැතිරවීම මේ මඟින් සිදු වූ අතර, ඒවා විශ්වාස කළ පිරිස් තව දුරටත් ඒවා පතුරුවා හැරීම සිදු කරනු ලැබී ය. මේ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මෙන් ම සජිත් පේ‍්‍රමදාස යන අපේක්ෂකයන් දෙදෙනාට ම වෙන ම සමාජ මාධ්‍ය කණ්ඩායම් ස්ථාපිත කර තිබිණි. ඒ සඳහා යෙදැ වූ මුදල් ප‍්‍රමාණයන් කොපමණ ද යන්න අනාවරණය වී නොමැත. එහෙත්, ඔවුන් නිර්මාණය කළ ව්‍යාජ පුවත් සමාජයට අති මහත් බලපෑමක් කළ බව නම් පැහැදිලි ය. එය ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයට ද සෘජුවම බලපාන කරුණකි.

මානව හිමිකම් කොමිෂන් සභාව, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදුලි සන්දේශ කොමිෂන් සභාව සමඟ එක්ව සකස් කළ උපමාන ගණනාවක් ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීමත් සමඟම ප‍්‍රකාශයට පත් කරනු ලැබූ අතර, සමාජ ජාල ඔස්සේ ඉහත කී උපමාන කඩ කරන පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවට ෆේස්බුක්, යූටියුබ් සහ ගූගල් යන ආයතන එකඟ වූ බව ද වාර්තා විය. එහෙත්, ඒවා කොපමණ දුරකට ක්‍රියාත්මක වූයේ ද යන්න ගැටලුවකි.

බොරු පොරොන්දු

ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල වැසියන්ගෙන් වැඩි පිරිසක් සහනාධාර ලබා ගැනීමට සහ රජයේ රැකියා ලබා ගැනීමට අතිශය කැමැත්තක් දක්වති. එහෙත්, සහනාධාර, නොමිලේ ලබා දීම් ආදී සුන්දර වචනවලින් ඔබ්බට ගිය යථාර්ථයක් ද යන්න ගැන ඔවුන්ට වැටහීමක් නැත.

මේ වන විට ශ‍්‍රී ලංකාවේ දළ දේශීය ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 90කි. එහෙත්, සුපුරුදු පරිදි පොරොන්දු දේශපාලනයේම යෙදුණු අපේක්ෂකයන් වූ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් පේ‍්‍රමදාස විසින් දෙනු ලැබූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 90ක් තියෙන රටකට ඉටු කළ හැකි පොරොන්දු නොවේ. රටේ දළ දේශීය ආදායම ගැන හෝ අයවැය පරතරය ගැන හෝ කිසිදු දැනුමක් නොමැතිව ඔවුන් මෙවැනි ව්‍යාජයන් වෙනුවෙන් පෙනී සිටිනවා විය නොහැකි ය. තමන්ගේ ප‍්‍රාග්ධනය යොදවා ව්‍යාජයන් තුළ ජනතාව මුළා කිරීම ඔවුන්ගේ පෙර සිටම න්‍යාය පත‍්‍රය වී තිබෙන නිසා ය. ඒ නිසා තවමත් ජනතාවගෙන් වැඩි කොටසක් බලාපොරොත්තු වන්නේ ද එවැනි පොරොන්දු දෙන දේශපාලකයන්ය.

නොමිලේ පොහොර ලබා දීම, නොමිලේ ගෙවල් හදා දීම වැනි පොරොන්දු ඉටු කිරීමට ශ‍්‍රී ලංකාවේ අයවැයෙන් හැකියාවක් නැති බව ජනතාව දන්නේ නැත. එසේම එවැනි සහනාධාර ලබා දීම දරා ගත නොහැකි ආර්ථිකයක් තුළ තව දුරටත් බලය වෙනුවෙන් ඒවා ක්‍රියාත්මක කළහොත් සිදු වන්නේ රට තව තවත් ණය උගුලේ සිර වී, ජනතාව තවත් පීඩාවට පත් වීම ය.

ප‍්‍රාග්ධනයෙන් වැසූ ව්‍යාජය

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ මත ප‍්‍රකාශ කළ සහ ප‍්‍රතිවිරුද්ධ ආස්ථානයන්හි සිටියවුන් සජිත් සහ ගෝඨාභය කඳවුරු නියෝජනය කරන්නට පටන් ගත්තේ කිසිදු හිරිකිතයකින් තොරව ය. “හලාල්  ඕනෑ” යැයි කියූ රවුෆ් හකීම් හලාල්වලට විරුද්ධ චම්පික රණවක සමඟ සජිත්ගේ වේදිකාවේ එකට සිටියේ ය. විල්පත්තුව කපනවා යැයි චෝදනා ලැබූ රිෂාඞ් බදියුදීන් සමඟ එම චෝදනාව කළ කරුණාරත්න පරණවිතානත් සිටියේ ය. කොටියෙක් යැයි චෝදනා ලැබූ මනෝ ගනේෂන් සමඟ කොටින්ට ගහපු ෆොන්සේකාට එකම වේදිකාවක සිටිය හැකි විය. තාත්තා කොටින්ට ආයුධ දුන් නිසා පුතා අනතුරුදායක බව පැවසූ ෆොන්සේකාට සජිත් පුතුට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටින්නට හැකි විය. හොරු අල්ලන බව කියන රන්ජන් රාමනායකත්, හොරකම් කළ රවී කරුණානායකත් සජිත් සමඟය.

ගෝඨාගේ කණ්ඩායම ඊට නොදෙවැනිය. කරුණා සහ පිල්ලෙයාන් සමඟ යුද්ධ කළ කමල් ගුණරත්න ගෝඨා සමඟය. සිංහල කාන්තාවන් වඳ කරන්නේ යැයි ගෙන ගිය ව්‍යාපෘතියේ මහා මොළකරු චන්න ජයසුමන සමඟ එය බොරුවක් බව කියූ අලි සබි‍්‍ර ද සිටියි. ෂරියා විශ්වවිද්‍යාලයට එරෙහිව උපවාස කළ අතුරලියේ රතන හිමි, ඒ කියන ෂරියා විශ්වවිද්‍යාලය හැදීමට වගකිව යුතු යැයි රතන හිමියන්ම කියූ හිස්බුල්ලා සමග ගෝඨාභය දිනවීමට එක පෙරමුණේය. “බුදුහාමුදුරුවන් මිනීමස් වැළඳුවා” යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට පසුව සමාව ගත් අබ්දුල් රාසික්ගේ මනාපයත් ගෝඨාභය රාජපක්ෂටය. රාසික්ලා වහාබ්වාදය පතුරුවන්නේ යැයි බෙරිහන් දුන් වීරවංශ සහ ගම්මන්පිලත් රාජපක්ෂ කඳවුරේමය. නාලන්ද එල්ලාවල ඝාතනය කළේ සුසන්ත පුංචිනිලමේ යැයි කියූ නාලන්දගේ හොඳම යාළුවා ඩිලාන් පෙරේරා සමඟ සුසන්ත පුංචිනිලමේ ද ගෝඨා සමඟය. ‘වියත් මඟ’ ඔස්සේ ගමනක් යන බව කියන ගෝඨාභයට ‘ශාන්තිකර්ම’ සංගමයේ සහයෝගය ද ලැබී තිබේ.

ජනතාවට බදු බර පැට වූ රනිල් සහ මංගල ද බදු බර අඩු කරන බව කියන සජිත්ගේ වේදිකාවේය. යහපාලන ආණ්ඩුව රටේ පොදු ප‍්‍රවාහනය, කෘෂිකර්මය, ක්‍රීඩාව ආදී ක්ෂේත‍්‍ර විනාශ කළ බව රාජපක්ෂ කඳවුර චෝදනා කරන විට යහපාලන ආණ්ඩුවේ ප‍්‍රවාහනය, කෘෂිකර්මය, ක්‍රීඩාව භාරව සිටි ඇමතිවරු ද ගෝඨාභයගේ වේදිකාවේ සිට අත්පුඩි ගැසූහ.

විනයගරුක රටක් බිහි කරන බවට තම අපේක්ෂකයා ප‍්‍රතිඥා දෙන විට පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු දිය කළ අය, පිහි හරඹ කළ අය, පොදු දේපළට හානි කළ අය, පුටු කැඩූ අයගෙන් ෆුල් චියර් එකක් ලැබුණේය.

මේ හිරිකිත රංගනයන් සියල්ල ජනතාවගෙන් වසන් කළේ වෙනත් ප‍්‍රබන්ධයන් සහ බලාපොරොත්තුවලින් ජනතාවගේ දෑස් නිලංකාර කරමිනි. අසීමිතව මුදල් වියදම් කළේ ඒ වෙනුවෙනි.

මෙසේ වියදම් සියල්ල අතරතුර ඉතාමත් නරක ආකාරයට අවභාවිතයට ලක් වන්නේ ලංකාවේ විද්‍යුත් සංඛ්‍යාතයන්ය. එය සපුරා මහජනයාට අයත් දේපළකි. එහෙත්, ඒවායේ හිමිකාරිත්වය දරන පවුල් කිහිපය සිතන්නේ එය සිය පෞද්ගලික බූදලයක් ලෙසිනි. රූපවාහිනී හා රේඩියෝ විකාශ සඳහා සංඛ්‍යාත වෙන් කිරීමේ බලය තිබෙන්නේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවටය. මේ බලපත්‍ර යටතේ දැනට භූමිගත (ඹ්‍යත්‍ල ඪ්‍යත්‍) නාළිකා 32ක්, ජංගම දුරකථන නාළිකා 1ක්, කේබල් විකාශන 10ක්, චන්ද්‍රිකා විකාශන 8ක් ස්ථාපිතව තිබේ.

ඔවුන් ත්‍ඵ රේඩියෝ නාළිකා 20ක්, කෙටි හා මධ්‍යම තරංග විකාශ එක බැගින් (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට), භූමිගත නාළිකා 17ක්, චන්ද්‍රිකා විකාශන පහක් සහ කේබල් රූපවාහිනී සේවා තුනක් සඳහා සංඛ්‍යාත වෙන් කර දී තිබෙන බව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත.

මේවායේ හිමිකරුවන් අධ්‍යයනය කරන ඵැාස් ධඅබැරියසච ඵදබසඑදර ීරස ඛ්බන් ‍වෙබ් අඩවිය අනුව, ප්‍රේක්ෂක පදනමින් 77%ක පංගුවක් හිමි රූපවාහිනී නාළිකාවල අයිතිකරුවන් වන්නේ, කැපිටල් මහරාජා (සිරස), පවර් හවුස් (දෙරණ), ඒබීසී (හිරු) සහ රජය (රූපවාහිනී / අයිටීඑන්) යන ආයතනවලටයි. රජයේ රූපවාහිනී සහ අයිටීඑන්  හැර අනෙක් සමාගම් තුනම අයත් වන්නේ පවුල් තුනකටයි. රේඩියෝ ශ්‍රාවකයන්ගෙන් 74%ක් අයත් වන්නේ පෞද්ගලික සමාගම් හතරකටය. ඒවා නම්, ඒබීසී (හිරු), කැපිටල් මහරාජා (සිරස), පවර් හවුස් (දෙරණ) සහ ඇසෙට් රේඩියෝ බ්‍රෝඞ්කාස්ටිං (නෙත් එෆ්එම්)ය.

තත්ත්වය මීටත් වඩා දරුණු වන්නේ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය තුළය. ඒවා බොහෝ විට කළු සල්ලි සුදු කරන දේශපාලන ව්‍යපෘතිය.

මේවා පාලනය කරන බව ස්වාධීන මැතිවරණ කොමිසම ඡන්දය ගැන කියන මුල් අවස්ථාවේ දී කීවත්, පසුව එය අතහැර දමන ලදී. එනිසාම මේ මාධ්‍ය අයිතිකාර පවුල් තුන කුලියට ගත් මහජන දේපළ මුළු සංඛ්‍යාතම සිය හිතුමතේ අවභාවිතයේ යොදවයි. එය කිසිසේත්ම මහජන මතය නිදහසේ ප්‍රකාශ කිරීමේ අයිතියට සුවදායක නොවේ. මේ පිළිබඳව අවශ්‍යතාව තිබිණි නම්, මැතිවරණ කොමිසමට සාධාරණ මැදිහත් වීමක් කළ හැකිව තිබිණි. මේ මැදිහත් වීම සඳහා අවශ්‍ය වූයේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පවා හැකියාව තිබිණි. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ පවුල් තුනකට ‘බලා ගන්නට දුන්’ මහජන දේපළ හිතුමතේ භාවිතයට ඉඩ දී අවසන් ඡන්ද ප්‍රතිඵලය නිදහස් හා සාධාරණ නොවන සේ නිකුත් කිරීමට වේදිකාව සැකසීමයි.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

15 − ten =