“උපන්ගෙයි සමාජවාදය” හා “යොහානි ආචරණය“

(අනාගත දේශපාලන දැක්මක් සදහා සටහනක්)
ගුණදාස අමරසේකර කීවේ සිංහලයා “උපන්ගෙයි සමාජවාදී“ බවයි. මෙහි යම් ඇත්තක් තිබේ. 13වන ශතවර්ෂයෙන් පසුව විකාශය වූ “සිංහල“ සමාජය මූළික වශයෙන්ම “ගංගොඩ“ නමින් හැදින්වුනු, ඥාතිත්වය මත පදනම්ව සංවිධානය වූ, භූගෝලීය වශයෙන් හුදෙකලා වූ, කුඩා ගැමිගොවි (Peasant) ඒකක විශාල ප්‍රමාණයකින් සමන්විත වූ සමාජයකි. මේ තත්වය වෙනස් වූයේ 1930 ගණන්වල සිට සිදුවූ අති දැවැන්ත ජනගහන වර්ධනය නිසාය. අමරසේකර “සමාජවාදී“ නමින් හදුන්වන්නේ මේ ගැමිගොවි සමාජවල පැවති ඥාතිත්වය මත පදනම් වූ සාමූහික ජීවිතයයි.

දැන් ධනවාදී බවට පත් කිරීමට උත්සාහ කරන්නේ මේ ගැමිගොවි සමාජයයි.
කලක් අමරසේකරගේ සගයා වූ නලින් ද සිල්වා ද මෙම ධනවාදීකරණය වෙනුවෙන් පෙනී සිටින බව පෙනේ.
දින කීපයකට පෙර අයිලන්ඩ් පුවත් පතේ පළ වූ ලිපියක් මගින් ප්‍රකාශ කෙරුණේ දැන් ලෝක ප්‍රසිද්ධ යොහානි ගේ මැණිකේ මගේ හිතේ“ ගීතයෙන් ඉන්දියාව වාසි ලබන අතර ලංකාව ඉන් වාසි ලැබීමට අසමත් වී ඇති බවයි. මෙය ඇත්තකි. ඉන්දියාව තුළ බ්‍රිතාන්‍ය පාලනය තහවුරු වීමටත් පෙර ශක්තිමත් ප්‍රාථමික ප්‍රාග්ධන සමුච්ඡනයක් හා ධනවාදී ආර්ථික ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයක් වර්ධනය විය. ලංකාව තුළ තත්වය එසේ නොවේ. ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය මුල්කාලයේ පාලනය කලේද ඉන්දියාවෙන් සංක්‍රමණය වූ නාට්ටුකොට්ටු චෙට්ටියාර් වරුය. අනගාරික ධර්මපාලට මේ තත්වය ගැන හොද ඉවක් තිබුණද ඒ පිළිබද වැදගත් යමක් කිරීමට ඔහු සමත් වූයේ නැත.

ලංකාවේ නවීන යැයි කිව හැකි පසුව වාණිජකරණය වූ සෑම දෙයක්ම බිහි වුනේ ඉන්දියාව (සංගීතය, සිනමාව වැනි) හෝ බටහිර (ක්‍රීඩා සහ වෙනත් බොහෝ දේ) සාධක මැදිහත් වීමෙනි.

මේ නිසා “යොහානි“ වැනි සංසිද්ධීන් වලින් ඵල ලැබීමට ලංකාවට නොහැකිය. මෙය ක්‍රිකට් වලටත් අදාළය. 1990ගණන්වල අගභාගයේ ලෝකයේ හොදම සහ වාණිජ වශයෙන් ආකර්ශණීයම ක්‍රිකට් කණ්ඩායම සිටියේ ලංකාවටයි. නමුත් එය සාර්ථක ලෙස වාණිජ කරණය කිරීමට ලංකාව සමත් වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ ක්‍රීඩකයින්, ක්‍රිකට් පරිපාලකයින් හා දේශපාලකයින් තාවකාලිකව සල්ලි ටිකක් හම්බ කරගැනීමයි. ඉන්දියාව සාර්ථක ලෙස ක්‍රිකට් වාණිජකරණය කරමින් අයිපීඑල් නම් දැවැන්ත ධන නිධානය බිහිකළේය.
මේ තත්වය වෙනස් කිරීමට ගෝඨාට හා චම්පිකට පමණක් නොව නාමල් රාජපක්ෂටත් හැකි වේ යැයි නොසිතමි. කළ හැක්කේ බිහිවන ධනවාදී ලෝක පද්ධතියක (එම්මෑනුවෙල් වොලර්ස්ටීන්ගේ අර්ථයෙන්) පරිවාර ප්‍රදේශයක් වීම පමණි.

මෙහි දේශපාලන නිගමනය වන්නේ ලංකාව ධනවාදී කිරීමට උත්සාහ කිරීම කළ නොහැකි බැවින් කිරීමට උත්සාහ නොකළ යුතු දෙයක්ය යන්නයි.

– නිර්මාල් දේවසිරි (fb)

Leave A Reply

Your email address will not be published.

3 × four =