සුරස කවි ගෙත්තම “ගෙත්තම් පාණ”

“හිනාවකි කට කොනක හෙට පිපෙන මල් දෙකක
අමාරු ම මතු දවස විඳ දරාගනු පිණිස”
(පිටුව 94)

රත්න ශ්‍රී විජේසිංහ කවියා නැවත අප අමතන්නේ එහෙමය.. ඔහු අපට ආයෙම ජීවන ලාලසාව දල්වයි. අතහැර යන්නට බොහෝ හේතු තිබියදී පවා ඔහු ජීවිතය වෙත අත්පසුරු නගා පෙන්වයි.සිය කවි මග පුරා රත්න ශ්‍රී අප පුරුදු කළ ජීවන මාර්ගය එයමැ නොවේ දැයි මට සිතේ. ගෙත්තම් පාණට එන කවියා යළි අපට මෙහෙම යෝජනා කරයි.

“සන්ධි පාදක සතුන් සේරම
එකට එක් වී යා යුතුයි
රොද බැඳන් සිරිපා වදින්නට
පෙළට ඉගිලෙන සමනලුන් හට
එකතු වන්නට
කැරපොත්තන් ද ලෑස්තියි
එහෙම දවසක් එයි”

(පිටුව 98)

රත්න ශ්‍රී ගේ අභිනව කාව්‍ය සංග්‍රහය වන “ගෙත්තම් පාණ” ඔහු අවසන් කරන පූර්වෝක්ත කවි කොටස නැවත නැවත ද බලාපොරොත්තු අත් නොහළ කවියෙකුගේ ප්‍රගතිකාරක අධ්‍යාත්මය විශද කරයි.කවි 57ක සමාප්තිය එහෙමය.
රත්න ශ්‍රීගේ කවිය මානව ජීවිතයේ අහිමි වීම් සහ නව අපේක්ෂාවන් සමග දිගු කලක් සද්ධිවිහාරිකව කළ අභ්‍යාසයකි. එය ඉදිරිගාමී ජීවන දර්ශනයකින් අවලෝකණය කිරීම ගෙත්තම් පානේ ද සිත්ගත් කාව්‍ය විලාසය බව මගේ හැඟීමයි.

ජංගම දුරකථනය තාක්ෂණිකව අප සමීප කොට ඇති බව ඇත්තකි. එහෙත් ඒවා භාවිතයට ගැනෙන මානව ජීවිත ඒසේ සමීප වී ඇද්ද ? “කතා නැති දුරකථන”නමැති කවියේ දී රත්න ශ්‍රී අපට මුණ ගස්වන්නේ බහු බාණ්ඩික ජීවිතය අපට සමීප වන තරමට මානව සබඳතා සමීප නොවන වත්මන් ඛේදයේ හරස් කඩකි.

“කතා කරන්නෙ ම නෑ කැඩිලද මේක
පුතා මට දීල ගියෙ පසුගිය දාක
හිතේ තනිකමට ගල්ගැහිල ද ඒක
පුතේ මම ඉන්නෙ තනියම ලොකු ගේක”
(පිටුව 16)

අපි පැය දෙකකට වරක් ළමා අපචාරයක් සිදුවන රටක පුරවැසියෝ වෙමු. පිස්තෝල තිබෙන්නේ ම මල් වට්ටි යටය. “සෙල්ලම් වලසා” නමින් රත්න ශ්‍රී අපවෙත ඉදිරිපත් කරන නිර්මාණය අපචාරයට ලක්වන දරුවෙකුගේ නිහඬ ඛේදය සියුම්ව ප්‍රතිනිර්මාණය කළ අවස්ථාවකි. කවියා ගොඩ නගන සංකල්පරූපී බස ප්‍රබලය.

“සෙල්ලම් වලසා තමයි
මා සපා කෑවේ
ඇඟිලිවලටත් දැනෙනවා
දත් පාරවල් පපුවේ
රිදෙනවා අම්මේ
කැළණි වන්දනාවේ ගොස්
ගෙනා මැටි පූසා
ඉරිදා පොළෙන් ගෙන ආ
අහිංසක ගිරවා
විතරමයි ගෙදර හිටියේ
බාප්පා තමයි දවසක
නපුරු සෙල්ලම් වලසා
එක්කගෙන ආවේ
විස්මලන්තය බලන්නට
කැටුව ගිය දවසේ”

(පිටුව 20)

බොහෝ තරුණ කවීන් අත සෘජු ප්‍රකාශනයක්ව කාව්‍යමය ගැඹුර බිඳ වැටී යා හැකි අද්දැකීමක නිරුත්සාහකව සැරිසරන රත්න ශ්‍රී ගේ අභ්‍යාසවෘද්ධ පරිකල්පනය විශිෂ්ටය.
“අවමගුල් තොරණ” ලෙස නම් කොට ඇති කවිය ද ගෙත්තම් පාන සරසන කවියකි. අවමගුල් තොරණක් ශෝකය දැනවිය යුතුය. එය ලස්සනට අඳින නමුදු ඉන් සතුටක් නොදැනිය යුතුය. බොහෝ අවමගුල් තොරණ වල කඳුළු බිඳු ඇඳ ඇති ආකාරය අප දැක තිබේ.එහෙත් ඊටත් වඩා දුක දැනවිය හැකි ලකුණක් කවියා යෝජනා කරයි.

“කඳුළු බිඳුවක් අඳිමු
පෙනෙන්නට සංකාව
අමාරුම නම් ඒක
අඳිමු අපි ලංකාව”
(පිටුව 29)

අප ගෙවන මේ පරාදීන දේශපාලන මොහොත පිළිබඳ ගැඹුරු සංකේතාර්ථයක් දනවමින් කවිය අවසන් වේ.
“මුරපොළට ආ දැරිය” ද ගෙත්තම් පාන සරසන තවත් නිර්මාණයකි. මිලිටරි පෞරුෂ අධිනිෂ්චය කෙරෙන පොළොවක මේ දරුවා මුරපොළේ සෙබලෙකු පිරික්සන්නට අවසර පතයි.

“නිරෝගිව තිබේ දැයි
ඔබේ හදවත
කන තබා බලන්නට
පිරී ඇති දැයි කුස,
උනාලූ විට පාවහන්
තැවරී තිබේ දැයි පොළෝ පස”
(පිටුව 32)

සෙබලා යනු අමුතු ජීවී කොටසක් ලෙස උත්කර්ශයට නැගුව ද ඔවුන් ද මේ දේශපාලන කමයේ ම ගොදුරකි. ආරෝපිත වීරත්වයත් අණ කිරීමකින් මෙහෙයැවෙන මිලිටරි මනසත් යට ඉන්නේ අනෙකා හා සමාන මනුෂ්‍යයෙකි. දැරිය පිරික්සන්නේ ඒ මනුෂ්‍යයා මිස සෙබලා නොවේ.
“මිනී මලක සාක්ෂිය” ද අපූර්ව කවියකි. රේල් පීලි යට පුංචි ඉඩක පිපී වැනෙන මිනී මලකට ජීවිතය ගැන කියා දිය හැකි පාඩම් කොතරම් තිබෙනු ඇති ද ? ප්‍රේමයෙන් පරාජිතව රේල් පීල්ලක් මත ජීවිතය අත් හළ තරුණියකගේ අවසන් මොහොත දකින මිනී මල කියන්නේ කුමක් ද ?

“ගොරබිරම් දුම්රිය යට
යකඩ පීලි අතර
ආදරය රැකගෙන ඉන්න මට
ජීවිතය ගැන තවත් මොනව ද”
(පිටුව 35)

කවියා ජීවිතය පිළිබඳ දල්වන බලාපොරොත්තුව හා ඊට තබන බර මෙහි දීද කැපී පෙනෙයි.එය රත්න ශ්‍රී ගේ කාව්‍ය ව්‍යාපාරය පුරාම දැල්වෙන තිව්‍රරාලෝකයකි.සකලවිධ කටුක තත්වයන් මැද වුව ද ජීවිතයට ප්‍රේම කළ හැකි හේතුවකට ඔහු පාඨකයා රැගෙන යයි.

කතා කළ හැකි තවත් නිමැවුම් කිහිපයකි. ඒවා වඩා පුළුල් අවකාශයක සාකච්ඡා කළ යුතුය. රත්න ශ්‍රීගේම පෙර නිර්මාණවල අවයව බද්ධ වූ කවි කිහිපයක් ද මෙහි තිබේ. එමගින් අලුත් කවියේ අපූර්වත්වය බිඳවැටෙනු දැනේ.
විචාරයක් නොවන මේ කෙටි සටහන මා විඳි යම් මිහිරක් බෙදා ගැනීම වෙනුවෙන් ම පමණි. වස්සානයට පසු කාව්‍ය සංග්‍රහයට වඩා මෙම කෘතිය මසිත ගත් බව කිව යුතුය.

– රවී සිරිවර්ධන

Leave A Reply

Your email address will not be published.

16 − 13 =