ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව නිහඬතාව ඔබගේ චින්තනය දියුණු වීමට මෙන්ම මානසික සෞඛ්‍යයට ද හේතුවේ

බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීමට ගන්නා උතුම් වෑයමක්.

ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව නමින් අපූරු සමූහයක් මුහුණු පොතේ වෙයි. ලංකාවේ පොදු අවකාශයේ ලවුඩ්ස්පීකර් යොදාගෙන සාමාන්‍ය ජනයාට දරන්නට බැරිතරමේ සිදුවන ශබ්ද කංකරච්චලයට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය පෑම එහි අරමුණවේ. දිනෙන් දින එයට එකතු වෙන පුරවැසියන්, ශබ්ද වාහිනී යන්ත්‍ර ශබ්දය භාවිතා කරමින් නාගරිකව සහ ග්‍රාමීය වශයෙන් මහජනයා පීඩාවට පත්වන සේ කෙරෙන කටයුතු තර්කානුකූල විවේචනයට භාජනය කරයි.

ලංකාවේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික යන ආගමික ස්ථාන වලින් ශබ්ද වාහිනී යන්ත්‍ර යොදාගෙන දෛනිකව පැය ගණන් එක දිගට හෝ වරින් වර කෙරෙන ආගමික ගායනාවන්, නැමදීම් හෝ වෙනත් විවිධ පූජා කටයුතු නිසා ඒ ආගමික ස්ථානයන් අවට සිටින සෑම ජනවර්ගයක්ම පීඩාවට පත්වේ. ඒවා කොතරම් පීඩාවන් ද යන්න මිනිසුන් සමග පෞද්ගලිකව කතා කිරීමේ දී මෙන්ම, මුහුණු පොතේ පෝස්ටුවක් පල කිරීමෙන් පසු ඊට ලැබෙන ප්‍රතිචාර වලින් ද සිතා ගත හැකිය.

ආගමික ස්ථාන හැරුණු විට බස් රථ වල විශාල බෆල් භාවිතයෙන් කෙරෙන මහජන පීඩනයට ද විරෝධය දැක් විය යුතුය. ඇතැම් බස් රථ වල වම් සහ දකුණු පස දෙක බැගින් හතරක් ද, ආසන යට දෙකක් වශයෙන් ද, බස් රථයේ පසු පස ආසනයට උඩින් එකක් ද වශයෙන් බෆල් හතක් තිබෙනු මා විසින් නිරික්ෂණ කර ඇත. එම ප්‍රමාණය සාමාන්‍යයෙන් දහසක පමණ ජනකායකට සංගීත දර්ශනයක් පැවැත්විය හැකි තරමේ ප්‍රමාණයකි.

ඉඳ හිට පං‍සලේ, හින්දු කෝවිලේ, මුස්ලිම් පල්ලියේ, කතෝලික-ක්‍රිස්තියානි පල්ලියේ පැවැත්වෙන සංස්කෘතික උත්සවයක දී ශබ්ද වාහීනී යන්ත්‍ර භාවිතා කිරීම පුරවැසියෝ ඉවසා සිටිති. එමෙන්ම යම් ප්‍රදේශයක පැවැත්වෙන මගුලක්, පාසල් ක්‍රීඩා උත්සව සහ වෙනත් සංස්කෘතික උත්සව ආදියේ දීත් ඒවා ඉවසා සිටීමට මිනිසුන් පුරුදු පුහුණු වී සිටිති. මන්ද ඒවා සිදුව‍න්නේ ඉඳ හිටය. එහෙත් ඒවා ද අවශ්‍ය අයට පමණක් ඇසෙන ප්‍රමාණයට භාවිතා කිරීම සුදුසුය. එහෙත් දෛනිකව, නිරන්තරයෙන් ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතා කරමින් ආගමික ස්ථාන වල කෙරෙන ආගමික කටයුතු දරා ගෙන සිටින්න මිනිසුන්ට නොහැකිය. එපමණක් නොව මහජනයා පීඩාවට පත් වන අන්දමින් ආගමික ස්ථාන වල ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතා කිරීම මෙන්ම බස් රථ වල ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතා කිරීම ද සීමා කෙරෙන නීති මේ රටේ ඇත්තේය. ඇතැම් ආගමික ස්ථානවල පූජකයින්,ගිහියන් සහ බස් රථ රිය‍දුරෝ මෙලෙස දෛනිකව අධික ශබ්දයෙන් ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතා කරන්නෙ ඒ නීති ද කඩකරමිනි. සැලකිය යුතු විරෝධයක් මහජනයාගෙන් එල්ල වෙන්නේ නැති නිසා ඔව්හු ඒවා දිගටම කරගෙන යති.

පිරිත් වේවා, බන වේවා, කවි බන වේවා ඕනෑම දෙයක් තමන්ට ඇසෙන ප්‍රමාණයට ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයෙන් ඇසුවාට වැරැද්දක් නොවේ. ඒ අසන අයගේ විශ්වාසයයි. එහෙත් එය අසන-නොඅසන අය මත බලෙන් පැටවීම නුසුදුසු කටයුත්තකි. එය නිදහස්, සාමකාමී සහ මෛත්‍රිය පතුරුන දර්ශනයකට ගැලපෙන්නෙ නැත. ආගමික භක්තිකයා අනෙකාගේ අයිතිය ගැන සංවේදී වන්නේ නැතිනම්, ඊට ගරු කරන්නෙ නැති නම් කොතරම් තදින් ආගම අදහනු ලැබුවත් එහි තේරුමක් නැත. තමන්ගෙ විශ්වාසයන් අනෙකා මත බලෙන් පැටවීම දියුණු ආගමක, දියුණු පුරවැසියන්ගේ ලක්ෂණයක් නොවේ.

බුද්ධාගම අවිහිංසාව සහ මෛත්‍රිය පතුරන දර්ශනයකි. ඉඳින් එසේ තිබිය දී ඇතැම් භික්ෂූන් සහ ගිහියන් පංසල් වල පිරිත් හෝ බන ආදිය අධික ශබ්දයෙන් යුතුව මිනිසුන්ට පීඩාකාරී ලෙස අසන්නට සැලැස්වීම තුළින් සිදුවන්නේ බෞද්ධාගම මෙන්ම ඇතැම් භික්ෂූන් සහ ඒවාට දායක වන ගිහියන් පිළිබඳ බෞද්ධාගමිකයින් මෙන්ම අන්‍ය ජාතීන් පිළිබඳ නොසතුටු හැඟීමක් ඇතිවීමය. ඉඳින් මේ ලිපිය ආරම්භයේ දීම ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව යනු උතුම් බෞද්ධ දර්ශනය රැකීම පිණිස ගන්නා වෑයමක් ලෙස හැඳින් වූයේ ඒ නිසයි.

මනුෂ්‍ය සමාජය දියුණුව රඳා පවතින්නෙ මිනිසාගේ නිදහස් චින්තනය දියුණු වන ප්‍රමාණයට සාපේක්ෂවය. මිනිස් චින්තනය දියුණු වීමට නිහඬ පරිසරයක් තිබීම ද අත්‍යාවශ්‍ය කරුණකි. අනෙක් අතට බොහෝ සිංහල බෞද්ධයින්ට අන්‍ය ආගම් වල අධික ශබ්දයෙන් කෙරෙන දෛනික පූජාවල්, නැමදීම්, ගායනා ආදිය ඉවසා සිටින්නට කැමති නැත. එය ‍එසේ නම් පංසල් අවට සිටින අන්‍ය ජාතියින් පංසල්වල පිරිත්, බන හෝ වෙනත් දේ කෙලෙස ඉවසා සිටිනවා ඇත් ද? මා අසා ඇති අන්දමට පෝය දිනවල දී ඇතැම් පංසල් අවට සිටින අන්‍ය ජනවර්ග මුළු දවසම නිවසින් බැහැරට ගොස් රෑ බෝවී නිවෙස් වලට ආපසු එති. ආගමික ස්ථාන අවට කුඩා දරුවන් සිටින නිවෙස් වල ඔවුන් නිදිගැන්වීම දුෂ්කර වී ඇත. පාසල් වැඩ කරන්නට සැරසෙන ළමුන්ට එය බාදාවකි. මුළු දවසම වෙහෙස මහන්සි වී නිදාගැනීමට සැරසෙන කාටත් මේ ආගමික ස්ථාන වල නිරන්තරයෙන් ඇති කරන ශබ්දය පීඩාවකි.

ලංකාවේ ඒ ඒ ආගම් වලට අයත් සියළු දෙනා මුහුණු පොතේ මේ පිටුවට එක්වී තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නිදහස ආරක්ෂා කිරීමට එකතු වීම සමාජයේ සියළු දෙනාට යහපත උදා කරණු ඇත. බුද්ධිමත් භික්ෂූන් ද, ගිහියන් ද පුරවැසියන්ට ඇති අයිතිය සහ නිදහස ගැන වඩාත් ගැඹුරෙන් සිතන්නේ නම් ලංකාවේ ඇතැම් පංසල් වල මිනිසුන්ට හිරිහැරයක් වන සේ ආගමික වතාවත් සඳහා අධික ශබ්දය භාවිතා කිරීම ක්‍රමයෙන් අඩු වී යනු ඇත. මෙතරම් දියුණු සමාජයක, නිදහස් අදහස් ප්‍රකාශනයට ඉඩක් ඇති කළෙක තමන්ගේ අයිතීන් දිනාගැනීමට, සුරක්ෂිත කර ගැනීමට මිනිසුන් පෙරට එන්නෙ නැති නම් සමාජයක් පසු පසටම මිස ඉදිරියට නම් නොයනු ඇත. මේ දියුණු සමාජයේ සිටින්නෙ පුරවැසියන් මිස යටත්වැසියන් නොවේ.

– අතුල දිසානායක  (සමාජ කතා)

Leave A Reply

Your email address will not be published.

four × two =