රට ඇරලා…

ගමේ උන්නු පුතාව බලන්න ගිය එහා වැටේ උන්නු අත්තම්මා ලොක්ඩවුන් එකත් එක්ක ගමට ම ලොක්වෙලා ඉඳලා ගෙදර ඇවිත් තිබුණෙ දවස් දෙකකට කලින්. දූලයි ගෙදර ඉන්න, සීතාට දුර නෑකමක් තිබුණු ඒ අත්තම්මා ගැන ගොඩක් විස්තර සීතා කෙල්ලො දෙන්නට කියලයි තිබුණෙ. වමට සිග්නල් දාලා දකුණට හරවලා වචනවලින් මිනිස්සු මුළා කරන මැජික්කාරයො ඉන්න රටේ අත්තම්මා සුපිරි බුලට් එකක් කියලයි සීතා කියලා තිබුණෙ. දැන් වුණත් දුවට වඩා අදහස් අතින් අත්තම්මා ඉන්නෙ ඉදිරියෙන් කියලයි සීතා කියන්නෙ. පුතණ්ඩියව බලන්න ගිහින් එතැන ලොක් වුණාට රට ඇරියත්, වැහැව්වත් අත්තම්මා දැන් නං ඉන්නෙ ගේ ඇතුළෙ ම තමයි. හැබැයි ඉතින් මාර අප්ඩේට් කියල තමයි සීතනං කියන්නෙ.

බටහිර රටවල නං වයසක සෙට් කියන්නෙ කල්ලි ගැහිලා ලෝකෙ පුරා ඇවිදින සෙට් එකක් වුණත් මෙහෙ වයසක සෙට් කතා කරන්නෙ ම කල්ලි ගැහිලා භාවනා කරන්නයි, පින්කම්පොළවල් ගාණෙ යන්නයි නිසා හුදෙකලා ජීවිතේ සැපක් කියලලු උන්දැ කියන්නෙ.

ලොක් ඩවුන් ඉවර කරපු අල්ලපනල්ලෙ කොවිඩ්  නීති දැඩිව අනුගමනය කරමින් මිතුරු නඩයක් දැකබලා ගන්න යන ගමනෙ දි මේධායි, වර්ණයි පාර අද්දර වැට ළඟ නතර වුණේ අල්ලපු ගෙදර ඉන්න ආත්තම්මා මල් ගහක් ළඟ ඉන්නවා දැකපු නිසයි.

“අත්තම්මා රට ඇරලා…” මේධා කෑ ගැහැව්වා.

“කට වහලා…” ඒ අත්තම්මා

“නෑ… රට ඇරලා… කිව්වා” වර්ණත් කෑ ගැහැව්වා.

“හා… රට ඇරලා කට වහලා…”

අත්තම්මා එහෙම කියද්දී, වර්ණගෙ අත නිකම්ම ගියෙ කට ළඟට.

“රට ඇරලා… කට වහලා… රටට ඇරලා…” අත්තම්මා හිනාවෙන්න පටන්ගත්තා.

“කට්ටියක් කෙල්ල පස්සෙ දුවනවා. තව කට්ටියක් පූසො හොයනවා. ඒ අස්සෙ ළමාතැනීගෙ නම පැපිරස් පත්රේ යනවා. හාල් නෑ. පිටි නෑ. සීනි නෑ. සිමෙන්ති නෑ කියනවා. රට කරවන උන්නැහෙලා ටිකක් ඉන්නවා කියනවා. බලනකොට මුන්දැලට ගෙවන්නෙ පින්පඩි නෙ. හාල් මුදලාලිටයි, සීනි මුදලාලිටයි, ඔය එක එක මුදලාලිලටයි මේක පංගරාර්තු කොළා නං උන්දලා පඩියක් නොගෙන ම මේ වැඩේ හරියට කොරනවා. රට ඇරලා… කට වහලා… රටට ඇරලා… හිහ් හිහ් හී…” ආයෙ ම අත්තම්මා හිනාවෙනවා.

“මේ මොන සංගෙදියක් ද? සුපිරි බුලට් එකක් කියලා කිව්වට අත්තම්මගෙ ඔළුව නරක් වෙලා මයෙ හිතේ ගේ ඇතුළට ම වෙලා ඉඳලා…” මේධා කෙඳිරුවෙ වර්ණගෙ කනට.

“ඇත්ත තමයි, මාස්ක් දාලා නෙ… කට වහලා තමා” වර්ණා එහෙම කියද්දී, අත්තම්මා කිව්වෙ, “ඕක දැම්මත්, නොදැම්මත් කට වහලා තමයි, මේකෙ උන්දලා ඉන්නෙ. රටෙන් තුන්කාලටකටත් වඩා ඉන්නෙ උදේ ඉඳන් රෑ වෙනකම් පොතක් දිහා බලාගෙන. ඒකෙ තියෙන පදවලට අහුවෙලා එහෙ මෙහෙ දුවනවා. සමහර එවුං මංමුළා වෙනවා. ඒ අස්සෙ රට අයිති කරං ඉන්න උන්නැහැලා මේකට ඇරලා දානවා. අකුරු ඔබලා විප්ලවේ කරන ගොබිලො තමා වැඩි.” අත්තම්මා කිව්වෙ මැරිච්ච කහ පඳුරක් ගලවන ගමන්.

“කට ඇරියා කියලත් ඒ හැටි වැඩක් වෙන්නෙ නෑ අත්තම්මෙ… හැම තැන ම තියෙන්නෙ ජර්ම්ස් නෙ. ලෙඩ වෙන්න පුඑවන්. අසාධ්‍ය වෙලා මැරෙන්නත් පුඑවන් නෙ. ඒ හන්දා මාස්ක් එක දිගට ම තියාගන්න එකත් එක අතකට හොඳ නැද්ද?” වර්ණාගෙ ඒ කතාවට නං ආත්තම්මට හොඳට ම හිනා.

 

හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ
Leave A Reply

Your email address will not be published.

14 − nine =