මේ අහිංසාගේ කතාවයි…

අහිංසා ප්‍රසිද්ධ නගරයක, ප්‍රසිද්ධ පාසලක ඉතා දක්ෂ ලෙස අධ්‍යාපනය හැදෑරූ සහ ක්‍රීඩා කටයුතු හොඳින් කළ පාසල් ශිෂ්‍යාවකි. ඇයගේ මව ලෙබනන් රටෙහි තම රැකියාව කරන අතර, ඇයගේ පියා වෘත්තියෙන් මාර්ග උපදේශකවරයෙකි. පාසලේ උසස් පෙළ පළමු වසරේ අධ්‍යාපනය හදාරන අහිංසාට හා සහෝදරයාට අවශ්‍ය මිල මුදල් අහිංසාගේ මව විසින් ඇගේ අත්තම්මා වෙත මාස්පතා එවනු ලැබිණි. එසේම ඇයගේ පියා ඇය පිළිබඳව අවධානය යොමු නොකළත්, ඔවුන්ගේ අඩුපාඩුකම් සපුරාලීමට ඔහු ද කටයුතු කර ඇත.

මේ අතර සෙනසුරාදා දිනවල බාහිර පන්තියක් සඳහා සහභාගී වූ අහිංසා පසුපස කිහිප දිනක්ම යාබද කායවර්ධන මධ්‍යස්ථානය වෙත යන එන කඩවසම් තරුණයෙක් ලුහුබැඳ ඇත. දිනක් ඔහු ඇයව මුණගැසී ආදර හැඟීමක් ප්‍රකාශ කර තිබුණත්, ඊට කිසිසේත්ම එකඟ නොවූ අහිංසා ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවා ය. පසුව නැවත නැවතත් ඔහුගේ බලවත් පෙරැත්තය නිසා ඇය අකැමැත්තෙන් වුව ද, එම තරුණයාගේ යෝජනාවට කැමැති වූවා ය.

ඇයගේ ජීවිතය වෙනස් වූයේ නිසි වේලාවට මනෝඋපදේශනය ලැබුණු නිසාවෙනි. එහෙත්, මෙවන් ශෝචනීය තත්ත්වයන්ට පත් වූ දියණිවරුන්ගෙන් ඉතා අතළොස්සක් පමණක් ජීවිතය දිනන අතර, සමහරුන් සමාජයට මෙන් ම පිරිමින්ට ද බියේ තමන්ට සිදු වූ අතවර සියල්ලන්ගෙන්ම වසන් කර දැඩි මානසික පීඩනවලින් පීඩා විඳින අතර, තවත් සමහරු ජීවිතවලින් පවා වන්දි ගෙවති.

පසුව නිතර නිතර දුරකථනයෙන් ද, ඉඳහිට මඟතොටේ දී ද දෙදෙනා මුණගැසී ආදරණීය සබඳතාවක් පවත්වාගෙන ගියත්, මේ පිළිබඳව අහිංසාගේ පවුලේ කිසිවෙක් දැනුම්වත් වී නොසිටියහ. ෂෙහාන් නමැති මෙම තරුණයා අහිංසා සමඟ ඉතාම ආදරයෙන්, ළෙන්ගතුකමින් කටයුතු කර තිබූ අතර, ඔහු වයස අවුරුදු 21ක් වූ ව්‍යාපාරික පවුලක තරුණයෙකි. ෂෙහාන් කිසිඳු දවසක ඇයට අනවශ්‍ය අයුතු යෝජනාවක් කර නොමැති බව ද ඇය සඳහන් කරන්නී ය. මේ අතර ඉතා ධනවත් ව්‍යාපාරිකයන් වූ ෂෙහාන්ගේ මවුපියන් මේ සම්බන්ධය පිළිබඳව දැනගත් වහාම ෂෙහාන් හට දැඩිව අවවාද කර ඇති අතර, බලපෑම් ද කර ඇත. ඒ අතර, ෂෙහාන්ට ගැළපෙන පවුලකින් යෝජනාවක් ද ගෙනැවිත් ඇති අතර, බලහත්කාරයෙන් ෂෙහාන් මෙම යෝජනාවට කැමැති කරවා ගන්නට ඔවුහු සමත් වූහ.

අහිංසාගේ සම්බන්ධය අකැමැත්තෙන් වුව ද නතර කර දෙමාපියන්ගේ යෝජනාවට කැමැති වීමට ෂෙහාන්ට අවසානයේ සිදු විය. නමුත්, තම මවගේ, පියාගේ සෙනෙහස, ආදරය, දයාව, අවධානය ඉතාම අඩුවෙන් ලැබුණු අහිංසාට තම ප්‍රථම ආදරය හා එම බැඳීම කිසිසේත්ම අමතක කිරීමට නොහැකි විය. එය හදවතට සහ මනසට තද වේදනාබරව ඇයට දැනී ඇත. මෙම තත්ත්වය අහිංසාට දැඩි කම්පනයක් විය. ඇය බොහෝ විට තනී වී හඬන්නට වූවා ය. මේ වන විට ඇයගේ අධ්‍යාපන කටයුතු ඉතා දුර්වල තත්ත්වයට පත් වී තිබිණි. ෂෙහාන් අලුත් පෙම්වතිය සමඟ ඉතා ආද⁣රයෙන් ඇසුරු කරන අතර ම විනෝද ගමන් බිමන් යන බව ද අහිංසාගේ හිතමිත්‍රාදීන් ඇය සමඟ පවසා තිබූ බොහෝ අවස්ථාවල අහිංසාගේ හදවත ඉතා දැඩ් වේදනාවට, දුකට, පීඩනයට පත් වී තිබිණි.

පසුව ක්‍රමයෙන් තම ප්‍රථම ප්‍රේමයේ එම අමිහිරි වේදනාව තරහක්, වෛරයක් ලෙස අහිංසාගේ සිතට ඉතා තදබල ලෙස බලපා තිබිණි. මේ අතර සති කීපයක් තිස්සේ අහිංසා පසුපස හඹා ආ තරුණයෙකු වූ අවුරුදු 27ක් වයසැති අංජුල සමඟ හෝ හිතවත් වී ෂෙහාන්ගේ සිත රිද්දවිය යුතු ය යන පළිගැනීමේ අදහසින් අහිංසා තම සිතට විරුද්ධව අංජුල සමඟ ආදර සබඳතාවක් ආරම්භ කර ඇත. ඒ මොහොත වන විටත් ආදර සබඳතාවන් කිහිපයක් ම පවත්වා අහිංසක යුවතියන් රවටා ඔවුන්ගේ ජීවිත විනාශ කර අතහැර දමා ඇති තරුණයෙකි, අංජුල. ඔහු දරුවන් දෙදෙනකු සිටින පියකු බවට අහිංසාට කිසිසේත් ම දැනගැනීමට⁣ නොහැකි වී ඇත. අහිංසාව බැලීමට ඔහු පැමිණ ඇත්තේ, ජැන්ඩියට ඇඳ පැළඳ, ජැකට්ටුවක් ද දමාගෙන තමාගේ හෝ වෙන අයකුගේ බයිසිකලයකිනි. අහිංසා අංජුලව දුටුවේ ෂෙහාන්ව අභිබවා යා හැකි කඩවසම් බවින් යුත් වීරයකු ලෙස ය. අහිංසා මුහුණ දුන් දැඩි මානසිකත්වය නිසා ම ඇය අංජුලට ඉතා ඉක්මනින් ළං වී ඇත. ඇයට සමීප වූ අංජුලට තමාගේ ජීවිතයට වූ අමිහිරි අත්දැකීම් සියල්ල ඇය පවසන්නට වූවා ය. මෙය අංජුලට කදිම අවස්ථාවක් විය. ඔහුට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට දෙවරක් සිතන්නට අවශ්‍ය නොවූ අතර, ඒ තුළින් අංජුල ඇයගේ පාලනය ඔහු අතට ගෙන අහිංසාගේ ජීවිතයට කෙමෙන් කෙමෙන් ළං වී ඇත. ප්‍රේමයෙන් ඉතාමත් දුඃඛිත ලෙස පැරදී, දැඩි වේදනාවෙන්, දුකෙන්, ලැජ්ජාවෙන්, පසුතැවීමෙන් සිටි අහිංසා අංජුලගේ ප්‍රේමය නැති වේ යැයි බිය සහ ඉන් ඇති විය හැකි ලැජ්ජාව නිසා අංජුලගේ සෑම අයහපත් යෝජනාවකට ම එකඟ වූවා ය. ඇයගේ ශරීරයට පමණක් ආදරය කළ මේ නරුමයා දවසින් දවස ඇය කෙළෙසන්නට විය. ඔහුගේ කාම තණ්හාව අහිංසාගෙන් ඇතිතාක් ඉටු කර ගැනීමට මෙම නරුමයා කපටි වී ඇත. ඇගේ සියුමැලි ශරීරයෙන් දැන් ඒ සියුමැලි බව අතුරුදහන් වී ගොස් ය. මේ වන විට එම අහිංසක යුවතියගේ වටිනා ජීවිතය අංජුල වෙතින් ඉතාම අවාසනාවන්ත ලෙස විනාශයට පත් වී තිබිණි.

නමුත්, අහිංසාගේ දැක්ම වූයේ ෂෙහාන් වෙතින් අත්විඳි දැඩි වේදනාබර බව නිසා ම අංජුල වෙතින් ලැබෙන ආදරය සහනයක් බවයි. ඇයගේ වටිනා ජීවිතය විනාශ වී යන බවක් හෝ සිදු වී ඇති ඉරණම පිළිබඳ කිසිදු භයංකර බවක් හෝ තවමත් ඇයට වැටහී නැත. තවද, ඇයට ඒ පිළිබඳව ඒත්තුගැන්වීමට ද කවුරු හෝ මේ පිළිබඳව නොදැන සිට ඇත. මෙලෙස ඇයගෙන් ඉතාම පහත් ලෙස කාම පහස භුක්තිවිඳි අංජුල සෑම සබඳතාවක් ම නතර කර හිටිහැටියේ ම දින කිහිපයක් අතුරුදහන් වී ඇත. පසුව ඔහුට අනතුරක් වී ඇති දැයි සිතා බියට පත් වූ අහිංසා අංජුල සේවය කළ සේවා ස්ථානය සොයාගෙන තම මිතුරියක වූ තුෂාරි සමඟ එම ස්ථානයට ගොස් ඔහු පිළිබඳව විමසා ඇත.

පසු ව එම ස්ථානයෙන් දැනගන්නට ලැබුණේ අංජුලගේ බිරිඳට තුන්වැනි දරුවා ලැබීමට රෝහල්ගත කර සිටි බැවින්, ඔහු දින කිහිපයක නිවාඩුවකට ගමේ ගොස් ඇති බවයි. එම පිළිතුර අදහාගත නොහැකි වූ අහිංසාට පසුව සත්‍ය තත්ත්වය අවබෝධ වී තිබිණි. එහෙත්, මෙම තත්ත්වය සිහිනයක් යැයි කල්පනා කළ අහිංසා සිහිනයක් නොවන බව වටහා ගත් විට හදවතට කිසිසේත්ම දරාගත නොහැකි වී ඇති අතර, මේ නිසා ඇය සිය දිවි හානි කර ගැනීමට දවස් කීපයක් ම තැත් කර ඇත. ඒ බව සිය මිතුරිය වන තුෂාරිට පවසා ඇත. ෆාමසියෙන් ගත් පෙති කීපයක් එකවර පානය කළ නිසාවෙන් ඇය රෝහල්ගත කර ඇතිමුත් ඇයගේ වාසනාවට බේරී ඇත. මේ තත්ත්වය ⁣වෛද්‍යවරයාගේ මාර්ගයෙන් මෙන්ම පොලිසියේ සහාය ඇතිව ඇයගේ පියා, ආත්තම්මා සහ මවගේ මැදිහත් වීම මත මානසික හා පෞරුෂ විශේෂඥවරියකට යොමු කර ඇත.

මෙම සිදුවීම සත්‍ය සිදුවීමක් වන අතර, මෙම සිදුවීම ලිපියක් මඟින් දක්වන්නට මා හට සිත් වූයේ මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට තවත් දියණිවරුන් බොහෝ දෙනකු මුහුණ පා ඇති බැවින්, ඔවුන් කෙරෙහි දෙමාපිය, වැඩිහිටි සැලැකිල්ල යොමු කරවීමත්, මෙවන් ඉරණමක් මින් ඉදිරියට තවත් දියණියකට සිදු වීමට ඇති අවස්ථා වළකාලීමත් සඳහා ය. පවතින මෙම සමාජ තත්ත්වය නිසාවෙන් මෙවන් මල් කැකුළු අකාලයේ පර වී යා හැකි ය. දියණියක වෙත දෙමාපියන්ගේ දැඩි අවධානයක් තිබිය යුතු ය. මෙවන් මනෝ විශේෂඥවරියකගේ, මනෝ උපදේශකවරියකගේ පිහිටක් ලබා ගත නොහැකි වන්නේ නම්, මෙවන් දියණියන් හට තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වේ.

අවසානයේ අහිංසාගේ ජීවිතයේ ඇය මුහුණ දී සිටි සමහර තත්ත්වයන් යළි නිවැරැදි කිරීමට නොහැකි වුවත්, ඇය තුළ ඉතා යහපත් මානසිකත්වයක් ඇති කර සියලු අතීත අමිහිරි මතකයන් ඇය වෙතින් මුදාහැර, ඇයගේ ඉදිරි අනාගතය ඉතා යහපත්, විශිෂ්ට මාවතකට ගෙන යාම⁣ට අවශ්‍ය ඉතා යහපත්, ශක්තිමත් මානසිකත්වයක් ඇය තුළ ගොඩනැංවීමට විශේෂඥවරිය කටයුතු කර ඇති අතර, අද වන විට ඇය බාහිර විශ්වවිද්‍යාලයක බාහිර උපාධියක් හදාරන දක්ෂ ශිෂ්‍යාවක් ලෙස තම උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන බවක් දක්නට ලැබේ. මෙම සිද්ධිය 2009 වර්ෂයේ එක්තරා ප්‍රදේශයක  සිදු වුණු සත්‍ය සිදුවීමකි.

ඇයගේ ජීවිතය වෙනස් වූයේ නිසි වේලාවට මනෝඋපදේශනය ලැබුණු නිසාවෙනි. එහෙත්, මෙවන් ශෝචනීය තත්ත්වයන්ට පත් වූ දියණිවරුන්ගෙන් ඉතා අතළොස්සක් පමණක් ජීවිතය දිනන අතර, සමහරුන් සමාජයට මෙන් ම පිරිමින්ට ද බියේ තමන්ට සිදු වූ අතවර සියල්ලන්ගෙන්ම වසන් කර දැඩි මානසික පීඩනවලින් පීඩා විඳින අතර, තවත් සමහරු ජීවිතවලින් පවා වන්දි ගෙවති.

එසේ නම්, දෙමාපියනි, ඔබලා තම දියණියන්ට ඇති අපමණ සෙනෙහසට, ආදරයට අසීමිත නිදහස දෙනවා වගේ ම ඇය පිළිබඳව සොයාබැලීමට ද අමතක නොකරන්න. එසේ නොැමැති වුවහොත්, කාම පාපතරයන්ට හසු වී ජීවිතයෙන් වන්දි ගෙවන්නේ ඔබලාගේ ම දියණිවරුන් ය. එය එසේ සිදු වූවායින් පසුව දියණිය පිළිබඳව දුක් වීමෙන් ඵලක් නොමැත.

ආදරණීය දෙමාපියනි, අවශ්‍ය වේලාවට අවශ්‍ය තීරණය ගැනීමට වගබලා ගන්න. ඔබගේ මල් කැකුළ ආරක්ෂා කර ගන්න. නිසි වයස පැමිණි පසු තම දියණියට අවශ්‍ය සියලු දේ පවසන්න මැලි නොවන්න.

(සැලකිය යුතුයි: මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි)

එම්.එල්එස්. මනාභරණ (මානසික හා පෞරුෂ විශේෂඥ)
ඩී.ජී.එම්. සෙනෙවිරත්න, (මනෝවිද්‍යාව විශේෂවේදී, කැලණිය විශ්ව විද්‍යාලය)
Leave A Reply

Your email address will not be published.

20 + thirteen =