දේශීය වෙදකම – බටහිර ක්‍රමයට බැරිනම් දේශීය ක්‍රමයට හරි ඔප්පුකොට ගොඩ ගනිමු

කුමන්ත්‍රණ න්‍යායන් ( Conspiracy Theory ) පැත්තකින් තියමු.
කොරෝනා වසංගත තත්වයේ දී කවුරුත් නොසිතූ නොපැතූ විදිහට එතෙක් පැවැති බොහෝ දේවල් අර්බුධයට ගියා, අභියෝගයට ලක්වූනා. දේශීය වෙදකම ගැන තියෙන පොදු ජනයාගේ අදහසුත් එහෙමයි. ඒ ගැන වාද-විවාද තර්ක ගොඩ නැගුනා. අන්තිමට දේශීය වෙදකම, කුණ්ඩලිනි ශක්තිය, විශ්ව ශක්තිය, පිරිත් ආදිය ගැන විශ්වාස කරපු අයටත් කොරෝනා හැදුනා. ඇතැම් අය මිය ගියා.

මොකක් හරි දේශීය වෙදකමක්-බෙහෙතක් රෝගයට ප්‍රතිකාරයක් විදිහට හොයා ගත්තාය කියනකොට පුරවැසියන් එය “විද්‍යාත්මකව තහවුරු කළ එකක් ද”? කියලා අහනවා. එහෙම අහන එක සාධාරනයි. පුරවැසියන් එහෙම අහන්න හේතුවක් තියෙනවා. ඒ මොකක් ද?

අපේ අධ්‍යාපන ක්‍රමයේ දි සාමාන්‍යයෙන් 06 වසරේ ඉඳන් විද්‍යාව උගන්වනවා. ඒ උගන්වන්නෙ බටහිර විද්‍යාව. ඒ බටහිර විද්‍යාවෙ තියෙන මූලික සිද්ධාන්තයක් තමයි උපන්‍යාසය – පරීක්ෂණය – දත්ත විශ්ලේෂණය – අවසන් නිගමනය ( Hypothesis – Experiment – Analyze data – Conclusion) මේ සරළ සිද්ධාතන්තය අපි කවුරුත් පුරවැසියන් විදිහට ඉගෙන ගන්නවා. ඉතිං ඔය කාලයේ පෙරදිග විද්‍යාවක්, පෙරදිග විද්‍යා සිද්ධාන්ත කියලා එකක් ඉගෙන ගන්නෙ නෑ. මගේ ම‍තකයේ හැටියට අපේ කාලයේ නම් එහෙම පෙරදිග විද්‍යාවක් කියලා එකක් ඉගැන්නුවේ නෑ. මගේ දැනීමේ හැටියට දැනුත් එහෙම නෑ. පුරවැසියෝ හැමෝම ඉගෙන ගන්නෙ බටහිර විද්‍යාව සහ බටහිර විද්‍යාත්මක පරික්ෂණ ක්‍රමවේද. ඉතිං රෝගයකට දේශීය වශයෙන් ඖෂධයක් ආවත් අර ප්‍රශ්නය අහන එක – ඒ කියන්නෙ මේක විද්‍යාත්මකව තහවුරු කරපු එකක් ද? කියලා අහන එක සාමාන්‍ය කාරණයක්. එහෙම නැතුව මේක බටහිර ඖෂධ සමාගම් වල කොන්ත්‍රත්තුවක් නිසාවත්, එන්ජීඕ ඩොලර් නිසා වත්,ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා වත් අහන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම කුමන හෝ ක්‍රමයකින් විද්‍යාත්මකව තහවුරු කරපු දේශීය ප්‍රතිකාර ක්‍රමත් ඇති. ඒත් වසංගත වැනි සුවි‍ශේෂ තත්වයන් වලදී වගේම, වෙනත් සාමාන්‍ය අවස්ථාවලදීත් අර තහවරු නොකරපු ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම වගේ දේවල් එළියට එනවා.

ඊළඟට මේ වාද-විවාද සංවාද වලදි නැගෙන එකක් තමයි දේශීය හෙදකම-වෙදකම බටහිර විද්‍යාවෙන් පරික්ෂා කරන්න බෑ. එහෙම කරන එක අසාධාරණයි කියන එක. හරි ඒකෙත් තර්කයක් තියෙනවාම කියමු. එහෙම නම් ලංකාවේ ඉන්න දේශීය වෛද්‍යවරු, අදාල අමාත්‍යංශය සහ අනෙකුත් ආයතන එකතුවෙලා ඒක දේශීය වේවා පෙරදිග ක්‍රමයකට වේවා පරික්ෂා කරලා මහජනයාට ඒත්තු ගන්වන එක තමයි කරන්න තියෙන්නෙ. එතකොට අර ප්‍රශ්න පුරවැසියන්ගෙන් නැගෙන්නෙ නෑ.

ලෝකයේ දැනුම කියන එක ගත්තම පෙරදිගත් යම් දැනුමක් තියෙන්න ඇති. දේශීයව අපේ රටෙත් යම් යම් දැනුම් තියෙන්න ඇති. නමුත් සාපේක්ෂව බලනකොට ඒවා සීමා සහිතයි. ඇතැම් විට රෝගයක් ප්‍රත්‍යක්ෂයෙන්ම සුව කළ හැකි ඖෂධයක් තිබුණා වුණත් ඒවා මහජනයා අතරට නොයන්නෙ කුමන විද්‍යාත්මක ක්‍රමයකින් හෝ ( බටහිර හෝ දේශීය ) ඒවා තහවුරු කරලා ඉදිරිපත් නොකරණ නිසා. මේ දේශීය බෙ‍හෙත් හෝ එවැනි වෙනත් දැනුම් ගැන පුරවැසියන් ප්‍රශ්න කරන්නෙ, විවේචනය කරන්නෙ, අභියෝගයට ලක්කරන්නෙ එහෙම නැතුව තමන්ගෙ දේට, අපේ දේට ඇති අකමැත්තක් නිසා නෙමෙයි.

තමන්ගෙ, තම පවුලේ අයගේ, නෑදෑ-හිතමිතුරන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න කවුරුත් කැමැති නෑ. දේශීය දේ ගැන කියපු, කැගල්ලේ කාලි පැණිය වෙනුවෙන් පෙනී හිටිය, ඒවා උත්කර්ශයට නංවපු මහාචාර්ය නලින් ද සිල්වාත් ගහගත්තෙ අර පිට රටින් ආපු කොරෝනා වැක්සින් එක. ඒකෙන් තේරෙනවා ජාතිකවාදී කයි ගැහුවට තමන් උත්කර්ශයට නංවන දේ ගැන තමන්ටවත් විශ්වාසයක් නෑ කියලා.

ඉතිං අපේ යම් දැනුම් පද්ධතියක් තියෙනවා නම්, ඒ දේශීය දේ, ජාතික දේ පාදලා අරන්, පර්යේෂණ කරලා ලෝකයටම පිළිගන්න පුළුවන් විදිහට අරන් යන එක මේ රටේ ජාතිකවාදී ලෙස සිතන අයගේත්, වියත් යයි කියන අයගේත් දේශපාලඥයින්ගේත් වගකීමක් සහ යුතුකමක්. ලෝකයේ දියුණු රටවල් වාර්ශිකව පර්යේෂණ සහ සංවර්ධන ( Research and Development) කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනවා. ඒවා මගින් විද්‍යාත්මක දේ හොයා ගන්නවා. ඒවාගෙන් පර්යේෂණ කරලා තහවරු කරලා හදන දේවල් තමයි අපිටත් විකුණන්නෙ.

ඉතිං අපේ රටේ දැනුම සහ දැනුම සංවර්ධනය කරන්න සැලකිය යුතු අවධානයක් ‍යොමු නොකර රැල්ලට කුමන්ත්‍රණ න්‍යායන් ( Conspiracy Theory ) අත හැරියාට රටක් දියුණු වෙන්නෙ නෑ. කටේ නරිවාදං පැත්තක තියලා ප්‍රායෝගික ඒවා කරොත් අපේ කියලා දේවල් හදලා ලෝකෙටම දෙන්න පුළුවන්. කාලි අම්මලාව, නාථලාව ලෝකෙ දියුණු රටවල් සත පහකට ගණන් ගන්නෙ නෑ. දියුණු වෙන්න ඕනෑනනම් මිත්‍යාව පැත්තකිං තියලා තර්කාණුකූලව, නිර්මාණාත්මකව සහ විද්‍යාත්මකව හිතන්න. නැතිනම් මේ රට තවත් සියවස් ගණනාවක් මෙහෙමම තියෙයි.

– අතුල දිසානායක (සමාජ කතා )

Leave A Reply

Your email address will not be published.

15 + 20 =