ඉඩම් වලට නඩු – හබ කියමින්, ගහ මරාගෙන වැලීලී යන ජාතියක්

අවුරුදු 2500 කට වැඩි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති ජාතිය.
අප ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප අප ගැනම වර්ණනා කරගන්නට කැමැත්තෝ වෙමු. අපට අවුරුදු 2500 කට වැඩි ශ්‍රේෂ්ඨ හෙළ ඉතිහාසයක් ඇතැයි ද අප ‍ඇඳුම් අඳින විට, ශ්‍රේෂ්ඨ වාරිකර්මාන්තයන් කරන විට, ශ්‍රේෂ්ඨ ගෘහ නිර්මාණයන් කරමින් ‍බෞද්ධ සංස්කෘතියෙන් ඔප් නැංවුණු ශිෂ්ඨාචාරයක ජීවත් වන විට සුද්දා ඇන්දෙ කොළ අතු යයි කියමින් අපි කොතරම් ආඩම්බර වන්නො වෙමුද? ඉවසීම, බෙදා-හදා ගැනීම සහ අත්හැරීම සිංහල බෞද්ධ සංස්කෘතියේ විශිෂ්ඨ අංග යයි අපි නිරන්තරයෙන් කි‍යන්නෙමු. එහෙත් එහෙව් සාඩම්බර කතා අඩ වශයෙන් හෝ මුළුමනින්ම වගේ හුදු පුරාජ‍ෙරු කතා පමණක්ය, සිංහල බෞද්ධ සමාජයේ අවලස්සන පැති ද ඇතිය යන්නට ප්‍රති තර්ක ගොඩ නැගිය හැකි ඕනෑ තරම් දේවල් අපේ සමාජයෙන් හමුවේ. එයින් එකකි ලංකාවේ ගොඩ ගැසී ඇති ලක්ෂ ගනනාවක් වන ඉඩම් නඩු.

‍බෙදා- හදා ගැනීම, අත්හැරීම, ඉවසීම ආදි ගුණාංග කවරක් වෙතත්, සාමකාමීව ඉඩම් බෙදා ගැන්නට බැරිවීම, වස්තු තන්හාවෙන් අනුන්ගේ ඉඩම්-කඩම් අල්ලා ගැනීම, ඒවාට අයිතිය කියන්නට යාම ආදීය නිසා පවුලේ සහෝදරයින් අතර, පවුලේ ඥාතීන් අතර, මිතුරන් අතර ඇතිවෙන ගැටුම් සහ නඩු හබ නිසා මිනිසුන් අතර ඇතිවන ගැටුම් සහ මරා ගැනීම් වසරකකට කොපමණ ප්‍රමාණයක් ලංකාවේ සිදුවෙනවා ද? මෙහි ඇති අනෙක් උත්ප්‍රාසය වන්නෙ අපට අත්හැරීම ගැන දේශනා කරන ඇතැම් භික්ෂූන් ද ඉඩම් නඩු හබ වල පැටලී සිටීමය.
මිනිසුන්ට නිවසක් සාදා ගැනීමට, වගාවක් කරගැනීමට ඉඩකඩම් අවශ්‍ය බව සැබෑවකි. ඇතැමෙකුට ඉඩම් තිබේ. ඇතැමුන්ට ඉඩම් නැත. ඉඩම් නැති අයෙකු තමන්ට ජීවත් වීමට සරිලන ඉඩමක් අල්ලා ගැනීම වෙනත් එකකි. එහෙත් ඉඩම් ඇති බොහෝ දෙනා ඉඩම් බුක්ති විඳීමට තමන්ට ඇති නීත්‍යනුකූල තත්වයෙන් සෑහීමකට පත්වන්නේ නැත. තම ඉඩමට නීති විරෝධී ලෙස ඉඩම් ඈඳා ගැනීම, අඟලෙන් අඟල – අඩියෙන් අඩිය වැට මායිම වෙනස් කිරීම, දීර්ඝ කාලයක් ඉඩමක් කුලී හෝ බදු පදනම මත ඉඩමක් භුක්ති විඳ එයට අයිතිවාසිකම් කීම, රජයට අයත් ග්‍රාමීය සහ නාගරික ඉඩම් නීති විරෝධී ලෙස අල්ලා ගැනීම ආදිය නිසා ඉඩම් නඩු හබ ඇතිවෙයි.

ලංකාවේ නාගරික ප්‍රදේශ ගත්විට ව්‍යාපාරිකයින් විසින් මිනිසුන්ට අයත් පදික වේදිකාව ද අල්ලාගෙන තම කඩ සාප්පු ගොඩ නගාගෙන ඇති අය කොතරම් ද? නාගරික ප්‍රදේශ සංවර්ධනය කිරීමේ දී: මාර්ග පුළුල් කිරීම, රජයට අවශ්‍ය ගොඩ නැගිලි සෑදීම ආදි‍යෙදී ආණ්ඩුවට නඩු කියන්නට සිදුවන්නේ මේ ව්‍යාපාරිකයින් සමගය.
කොළඹ සිටින මගේ ලොකු අම්මාගේ ගමේ ඇති ඉඩමට යන පාර වසා දැමීම නිසා ඇය දැන් අවුරුදු හතක පමණ කාලයක් තිස්සෙ නඩු කියයි. තමන්ට ඇති ඉඩමෙන් සෑහීමකට පත්නොවී එය අල්ලාගෙන සිටින්නේ අර ඉහත කී ආකාරයට සිංහල බෞද්ධකම ගැන මහත් ආඩම්බර වෙන පවුලකි. ‍මෙම සටහන ලියන්නට පෙර මාගේ හිතවත් නීතිඥ මහතකෙු සමග කතා කළෙමි ‍ඔහු කීවේ ලංකාවේ වැඩියෙන්ම ඉඩම් නඩු වල පැටලී සිටින්නෙ පරණ මිනිසුන් ‍හෙවත් වයවෘධ මිනිසුන් බවය. ජීවිතයේ අනිත්‍ය ගැන, අත්හැරීම ගැන කොතරම් ආගමික වෘතයන් වල නියැළුනත් මේ අයගේ ඉඩම් තන්හාව ඊට වඩා විශාලය. ඉඩම් ආරවුල් සාමකාමීව විසඳාගන්නට මේ බොහෝ දෙනා අකමැතිය. අර නීතිඥයා කී කතාවේ ඇත්තක් ඇතැයි සිතමි. පසුගියදා විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරයෙක් මැරයන් පිරිසක් ‍යොදාගෙන ග්‍රාම සේවක නිළධාරි‍‍යකු මරා දැමුවේය. ඒ අර ග්‍රාම සේවක නීති ගරුක කටයුතු කළොත් තමන්ගේ ඉඩම් අත්පත් කරගැනීමට අවාසියක් වෙතැයි සිතාය.

මිනිසුන් ජීවත් විය යුත්තෙ ලෞකික ජීවිතය හොඳින් විඳගැනීමට මිස විඳවීමට නොවේ. පුද්ගලයකු තමන් කොතරම් ආගමට දහමට ලැදි යයි කීවත්, ආගමික වෘතයන්ගේ නියැලෙන්නේ යයි කීවත්, ඒ පුද්ගලයා අනෙකා සමග ජීවත් වීමේදී ශීලාචාර නැතිනම්, හෘද සාක්ෂියට අනුව ජීවත් නොවන්නේ නම්, සදාචාරාත්මක සිතුම්- පැතුම් නැත්තේ නම් ඔහුට සිදුවන්නේ ජීවිතය විඳවීමටය. ලංකාවේ අධික ඉඩම් තන්හාව නිසා නඩු හබ වල පැටලී සිටින මිනිසුන් බොහෝමයකට සිදුවන්නේ එයයි. ඇතැම් විටක ඉඩම් බෙදුම් නඩු පරම්පරා ගණනක් ඇදී යයි. එවිට තමන්ගේ ජීවිත කාලය තුළ එය බුක්ති විඳිමට ඉඩක් නොලබන ඒ පුද්ගලයා නඩු කිය කියා සිටියදීම මිය යන්නෙ අර නඩු නම් තුවාලය ඊළඟ පරම්පරාවට ඉතිරි කරමිනි. මගේ හිතවත් නීතිඥ මහතාට අනුව නම් අර පරණ හෙවත් වියපත් අය ඉඩම් නඩු වලදී ඒවා සාමකාමී ලෙස ඒවා විසඳා ගැනීමට නම්‍යතාවක් දක්වන්නෙ නැති වුවත් තරුණ පරම්පරාව මෙවැනි ඉඩම් නඩු වලදී ඒවා ඒවා සාමකාමීව විසඳා ගැනීමට, නැතිනම් හැකි තාක් නඩු නොයා සිටීමට උත්සහ දරයි. එය ඉතා හොඳ ලක්ෂණයකි.

ඉඩකඩම් සම්බන්ධ ආරවුල් වලදී ඒවා සාමකාමීව යුක්ති සහගත අන්දමින් විසඳා ගන්නට හැකි, එලෙස විසඳාගන්න බුද්ධිමත් මිනිසුන් ද සමාජ‍යේ සිටිති. ඉඩමක් නැති කෙනෙකුට ඉඩමක් ලබාදීම, තමන්ගෙ ඉඩමෙන් කොටසක් දීම, ප්‍රමාණවත් පරදි ඉඩක් නැති තමන්ගේ අසල් වැසියාට තම වැට මායිම වෙනස් කර ඉඩක් ලබා දුන්, බෙදා හදා ගන්නට කැමති, පරිත්‍යාගශීලී මිනිසුන් ගැන ද බොහෝ කතා සමාජයෙන් අපට අසන්ට ලැබේ.

ධනේෂ්වර ක්‍රමයක ඇති පුද්ගල නිදහස අනුව පුද්ගලිකව දේපල අත්පත් කරගැනීමට නිදහසක් මනුෂ්‍යයාට තිබේ. ඉඩම් අයිතිය ද එසේය. එහෙත් එම නිදහසම වෙනත් පැත්තකින් බරපතල සමාජ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරයි. ඉඩම් නඩු විසඳීම යනු අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බව ඇත්තය. ඒ නිසා ඉඩම් නඩු විසඳීමට සැලකිය යුතු කාලයක් ගත වන බව ද ඇත්තකි. ලංකාවේ ඉඩම් නඩු හබ ඇති වීම සහ ඒවා අවුරුදු ගණන් සහ පරම්පරා ගණන් ඇදී යාම කෙරෙහි දුර්වල රාජ්‍ය ආයතන, දූෂිත නිළධාරින් ඒවායේ යල් පැන ගිය ක්‍රමවේද ආදිය මෙන්ම ප්‍රමාණවත් අධිකරණ නැති වීම හෝ ඒවායේ තියෙන පැරණි ක්‍රම වේද යම් ප්‍රමාණයකට බලපානු ලබන බවද කිව යුතුය. ඒවා තාක්ෂණික කාරණාය. එහෙත් ඒ හැරුණු විට පුද්ගලයකු හෘද සාක්ෂියක් ඇති ශිෂ්ඨ සම්පන්න මනුෂ්‍යයකු වන්නෙ නම්, අනෙකාගේ පැවැත්මේ අයිතිය පිළිගන්නේ නම්, රණ්ඩු සරුවල් වලින් තොරව, ගහ මරා ගැනීම් වලන් තොරව, නඩු හබ වලට පැටලෙන්නේ නැතිව ඉඩම් නඩු විසඳා ගැනීමේ හැකියාව මිනිසුන්ට ඇත. එවන් දියුණු තත්වයකට පත්විය හැකි ලෙස අපගේ සිතුම් පැතුම් වෙනස් කරගන්නේ නැති නම් අවුරුදු 2500 ක් නොව 3500 ක ඉතිහාසයක් තිබුණත් අප සැබැවින්ම ශීලාචාර ජාතියක් ලෙස නොවන්නෙමු.

– අතුල දිසානායක (සමාජ කතා)

Leave A Reply

Your email address will not be published.

4 + twenty =