ආයුබොවන්ඩ නිරූපමා..,

අපි ඉගෙනගත්ත ඉතිහාස පොත්වල අපේ පරණ රජ දරුවෝ කොරපු හපංකං හැටියට ලියවිලා තිබුණෙ නං වැව් අමුණු, වෙහෙර විහාර කර්මාන්ත වගේ තේරුමක් නැති වැඩ කොරපු හැටියි. මහා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ පැරකුම් සමුදුර හැදුවෝය, සීගිරි බළකොටුව ගොඩනැගුවේ කසුප් රජතුමාය, ඇත්තම කියනවා නං ඔන්න ඔය ජාතියෙ පල් හෑලි අහලම අපිට හොඳටම තිත්ත වෙලයි තිබුණෙ අපෙ මැඩම්.
අපි ඉස්තූතිවන්ත වෙනවා ඔහේට වගේම ඔහේගේ දයාබර හස්බෑන්ඩ්, සහෝදර සහෝදරියන්, දූ පුත්තු ඇතුළු හත්මුතු පරම්පරාවටම ඒ පට්ට ගහපු ඉතිහාසේ වෙනස් කොරන්ඩ අබීත පියවර ගණනාවක්ම අරන් තියෙන එක ගැන.
මතක් වෙනකොටත් ආඩම්බරයි මැඩම් අර කුරුණෑගල කසිකබල් රාජසබාව ඩෝසර් කොරල දාපු ලස්සන. එතනිං නතර නොවී පරාක්කරම සමුද්දරේ සත පහකට වැඩක් නැති රැළපනාව කඩා විසිකොරලා ජොගින් පාරක් හදන්ඩ තරං නුවණක් ගන දෙයියන්ටවත් පහළ වෙනවද? අපිට වඩා දැනුං-තේරුං තියෙන රාජ සබාවෙ ඇත්තො කියන්නෙත් ඔය අමුඩ කෙටි ගහගෙන ගස්-ගල් පෙරළපු පරණ මිනිස්සු අපේ මුතුන් මිත්තොය කියන එක නවීන ලෝකෙට කොහෙත්ම සැට් වෙන්නෙ නැහැ කියල නෙ. උන් ආසා කරන්නෙ අයන් මෑන්ලා, නයිඩ් රයිඩර්ලා වගේ ආෂික් වැඩ-කිඩ දාන පොෂ් පොරවල්වලට නෙ.
ඔන්න බලන්ඩ මැඩම් බොරුවක් හෙම නෙමේ අම්මපා.. මැණීකේ මගේ හිතේ සිංදුව කියලා ලෝක වාර්තා තියාපු අපේ යොහානි කෙල්ලට ඊයෙ පෙරේදා වෙනකම්ම මුළු රටම වහ වැටිල නෙ උන්නෙ. නිරූපමා මැඩම්ගෙයි, නඩේසන් සෑර්ගෙයි පැන්ඩෝරා වාර්තාව සීන් එකට ආවා විතරයි යොහානි කෙලී නොකවුට් වෙලාම ගියා නොවැ. ඔහෙලගෙ හපන්කොම හිට් වෙච්ච හිට්විල්ල කියනවා නං සමස්ත ජාතියේම මේ දවස්වල නැගල යන ටොපික් එක තමා පැන්ඩෝරා. මැඩම්ලගෙ රාජකීය පවුලටයි, මන්දිරේ ඉන්න බල්ලන්ට බළලුන්ටයි අවුරුදු දෙතුන් සීයක් වුනත් පුල් ආතල් එකේ කාලා-බීලා ඉන්ඩ ඇහැකිලු නේද ඔය මහ බලගතු පැන්ඩෝරා යන්තර රාජයාගෙ පිහිටෙන්.
මක්ක වුණත් මැඩම් රුවන්වැලිය, සිරිපාදය, වටදාගෙය වගේ පරණ කෙරුවාවල් දැන් මක්කටද නේද? හිරු-සඳු, මවුපිය සෑවල හිටං පෝට්සිටිය වෙනකන් කොච්චර නං විස්මකර්ම වැඩ ඔහෙලගෙ රජගොල්ලො සිරිලක් දෙරණට දායාද කොරල තියෙනව ද? ඇහැක් විදිහට අපිත් හුස්ම ටික අල්ලන් ඉන්නෙ අපේ ඉස්ට දෙවිවරු වගේ ඉන්න වර්තමාන රාජ පරම්පරාවේ පින් බල මහිමයෙන් බව නං නොකියාම බැහැ. ආය මුසාවක් හෙම දොඩනවා නෙවේ මැඩම්, ඔබතුමීලගෙ ඔය මහා බලසම්පන්න පැන්ඩෝරයාට රුහුණු, කතරගම, සමන්, විෂ්ණු, විබීෂණ පිරිවරා ගත් පත්තිනි, නාථ යනාදී සකල දෙවි දේවතාවුන්ගේ ඇල්ම-බැල්ම තව තවත් හිමි වේවා කියල තමා අපි මේ දවස්වල දෙයියන්ට, බුදුන්ට කන්නලව් කොරන්නෙ. මොකද කියනව නං අපේ වාසස්තානවලින් එළියටවත් නොබැස මේ විදිහට ඉස්මුරුත්තාවට යනකං කාලා-බීලා ඉහෙන් බහින තරංවත් ලෙඩක් දුකක් නැතිව ආතල් එකේ ඉන්ඩ ඇහැකි කාලයක් ආයෙත් මේ සම්මතේට නොඑන බව අපි නිට්ටාවටම දන්න හන්දයි.
ඒ විතරක්ම නෙමේ ගරු මැතිනියනි. පරණ ඉතිහාසෙ තිත්ත වෙලා ඉන්න අපිට වගේම අපේ දරු පරම්පරාවටත් ආඩම්බර වෙන්න ඇහැකි ටොපේ ටොප් අලුත් ඉතිහාසයක් ගීනස් පොතටම ලියන්න ඔහේලට වරම් ලැබීමත් අපේ පපු කුහර දේසප්‍රේමෙන් මුසපත් කොරන හපන්කොමක්. මැඩම්ලා දීපු ආදර්සෙට අනුව මින් මනත පැන්ඩෝරා දෙයියන් වෙනුවෙනුත් අලුත් පානක් දල්ලන්ට අපි අදිස්ටාන කොරගත් බවත් බොහොම යටහත්-පාත්ව ලියා දන්නන්ඩ කැමතියි●

විශ්ව මිත්‍ර

Leave A Reply

Your email address will not be published.

18 − four =