ඇවිළෙන්නට වෙර දරන අළු යට ගිනි පුපුරු…

රසායනික පොහොර ආනයනය නතර කරන තීන්දුව ගන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂය. එය අමාත්‍ය මණ්ඩලය තුළ සංවාදයක්, සාකච්ඡාවක් තුළින් ගත් එකක් නොවේ ය. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සකච්ඡාවකින් පසු ගත් තීරණයක් ද නොවේ ය. තීන්දුව ලොක්කාගේ නිසා කවුරු කවුරුත් නිහඬව එකඟතාව පළ කළහ.

මෙහෙම බැලුවා ම ආණ්ඩුවෙන් බාගෙට බාගයක් ම ඉන්නේ කලකිරීමෙන් ය. රටේ ජනතාවගෙන් ආණ්ඩුවට විරෝධය එල්ල වෙන්න එල්ල වෙන්න ඒ කලකිරීම තවත් වැඩි වන්නේ ය. බොහෝ අය ඉන්නේ තමන්ට වෙලාව එනකම් ය. වෙලාව ආපු ගමන් විස්ස පැත්තකට දාලා කට්ටියගේ විරෝධය පුපුරන්නේ ය. ඒක කොයි වෙලාවේ ද කියලා කාටවත් කියන්නට බැරි ය. එය වේගවත් වන්නේ ජනතා විරෝධයත් එක්ක ය.

එහෙත්, විශේෂයෙන් ගොවි දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් මේ ගැන මුල දී හිටියේ ටිකක් අසතුටින් ය. අර්බුදය වැඩි වෙන්න වැඩි වෙන්න තැන් තැන්වල එළිපිට ම කතා කරන තත්ත්වයට ඔවුහු පත් වූහ. අද වෙන කොට රසායනික පොහොර, කාබනික පොහොර දෙක ම අර්බුදයට ගොස් තිබේ. මේත් එක්ක ම තමන්ගේ ම පාක්‍ෂිකයන්ගෙන් දැඩි විවේචනයක් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට එල්ල වන්නේ ය. එහෙම වෙන කොට බොහෝ තැන්වල දී එම මන්ත්‍රීවරු “තීරණය නන්දසේන ගත්ත එකක්. අපිත් කැමැති නැහැ” යැයි කියන්න බැරිකමට, “මොනවා කරන්න ද? එතුමාව එළිපිට විවේචනය කරන්නත් බැහැ නේ. කොහොම හරි අපි උත්තරයක් හොයා ගන්න බලමු” යැයි සමහන් කරන්නට උත්සාහ දරති. එහෙම වුණාට කට්ටිය වෙන වෙන ම හමු වුණා ම ලොක්කට පළු යන්න බණින්නේ ය. “ගොන් වැඩ හින්දා අපට ගමට යන්නට බැහැ” යැයි කියන්නේ ය. ගොවියොත් එක්ක ගැටෙන්නේ නැති එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න ආණ්ඩු පක්‍ෂයේ බොහෝ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් මේ ගැන ඉන්නේ තදබල කලකිරීමකින් හා විරෝධයකින් ය.

‘අතේ’ හිතේ අමාරුව

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බොහෝ ප්‍රශ්නවල දී ඉන්නේ තදබල කලකිරීමකින් ය. එයට ප්‍රධානතම හේතුව ආරම්භයේ ඉඳලා ම දැක් වූ කුඩම්මාගේ සැලැකිල්ල ය. ඇමැතිකම් ලබා දීමේ ඉඳලා කරපු, කරන කෙනෙහිලිකම් අපමණ ය. පක්‍ෂයේ මහලේකම් දයාසිරිට දුන්නේ බතික් රාජ්‍ය ඇමැතිකම ය. සිරිපාලට, අමරවීරට කැබිනට් අමාත්‍ය ධුර දුන්න ද ඒවායේ ස්වාධීනව වැඩ කරන්නට දෙන්නේ නැත. හැම දේට ම ඇඟිලි ගහන්නේ ය. ඒවායේ නිලධාරීන් හරහා සියල්ල රාජපක්‍ෂ පවුල මෙහෙයවන්නේ ය. කරකියා ගන්න දෙයක් නැතිව ඔවුන් ඉන්නේ කලකිරීමෙන් ය. මෛත්‍රීපාල සිරිසේනට දමා ඇත්තේ, පාස්කු නාස්ලණුව ය. වැඩිය දඟලන්න ආවොත්, මෛත්‍රීව ඇතුළට දාන්නේ ය. ‘ප්‍රහාරය වැළැක්වූයේ නැහැ’ යන චෝදනාව මත හිටපු පොලිස්පති, ආරක්‍ෂක ලේකම් වාගේ ම හිටපු ආරක්‍ෂක ඇමැතිවත් උසාවියට කැඳවන්නේ ය. ඒකට ඇති භය නිසා මෛත්‍රී වටෙන් වටෙන් යමක් කියනවා මිස කිසිවක් කෙළින් කියන්නේ නැත. ඒත්, කලින්ට වඩා දැන් දැන් ගෝලයන් ලව්වා ආණ්ඩුව විවේචනය කරවන්නේ ය. ගුරු අරගලය වෙනුවෙන් ද කතා කරන්නට පටන් ගත්තේ ය.

බන්දුල පඹයා කිරීම

සීනි බදු වෙනස් කිරීම, හාල්වල මිල තීරණය කිරීම සියල්ල සිදු වූයේ රාජපක්‍ෂ නියෝගවලට අනුව ය. ඒත්, රටේ වෙළෙඳ ඇමැතිවරයා බන්දුල ගුණවර්ධනය. මේ බොහෝ ගැසට් ගැන බන්දුල දැනගත්තේ ද පසුව ය. පාරිභෝගික අධිකාරියේ ඉන්නේ ගෝඨාභය දාපු හිටපු මේජර් ජෙනරල් ශාන්ත දිසානායක ය. ස.තො.ස. සභාපතිත් එයා ම දාපු කෙනෙක් ය. ඇමැති පඹයට තියලා අනෙක් සියල්ල මෙහෙයැවෙන්නේ රාජපක්‍ෂ පවුලෙන් ය. සුදුලූනු වංචාවේ ප්‍රධාන චූදිතයාත් රාජපක්‍ෂ පවුලේ වැඩිමලාගේ හිතවතකු බවට ආරංචි ය. කොහොම වුණත් ගත්ත තීන්දුවලින් ජනතාව ඉස්සරහා අන්තිමට හෑල්ලු වුණේ බන්දුලය. මේ ගැන බන්දුල ඉන්නේ තදබල කලකිරීමකින්ය. ගෑස් සම්බන්ධයෙන් බන්දුලගේ මැදිහත්වීමත් අනෙක්  පැත්තට පෙරළුණේය. එකක්වත් බන්දුලට ඕනෑ විදියට කර ගන්නට ඉඩ දුන්නේ නැත. තමන් රූකඩයක් බවට පත් වෙලා සිටින බව ප්‍රසිද්ධියේ ම පාර්ලිමේන්තුවේ කිව්වේ මේ නිසා ය.

ඩලස් බ්ලාස්ට්

කෙරවලපිටිය යුගදනවි බලාගාරය පිළිබඳව විවිධ තීරණ ගනිමින් සිටියේ, ඩලස් අලහප්පෙරුම ය. ඒ, අදාළ විෂයභාර ඇමැතිවරයා ලෙසින් ය. මාතර දිස්ත්‍රික්කයෙන් ඔහුව කපා දැම්මා සේ විදුලිබල අමාත්‍යාංශයෙන් ද කපා දැම්මේ ය. ඇමැති ඩලස් එල්.එන්.ජී. ව්‍යාපෘතිය ගැන ටෙන්ඩර් කැඳවා තිබිය දී ම බැසිල් ඒක මුළුමනින් ම ඇමෙරිකානු සමාගමට විකුණන කැබිනට් පත්‍රිකාව දැම්මේය. ඩලස්ව තඹ දොයිතුවකට ගණන් ගත්තේ නැත. එතැනින් නතර නොවී අන්තිමට ඇමැතිකමෙනුත් අයින් කර දැම්මේ ය. තමන් කියන කියන දේ කරන ලොකුගේව ගෝඨාභය එතැනට දා ගත්තේ ය.

අහෝ පවිත්‍රා…

මොන මොන අඩුපාඩු තිබුණත්, පවිත්‍රා මොනවා හරි දෙයක් කරන්න උත්සාහ ගත්තා ය. ඒත්, ගහෙන් ගෙඩි කඩාවැටුණා සේ වුණේ ය. හිටපු ගමන් පවිත්‍රාව එළියට දැම්මේ ය. දරා ගන්න බැරි වේදනාව “හැම දේ ම වෙන්නේ හොඳට යැ”යි කියා එළියට දා ගත්තාය. ඒත්, දැන් ඉන්නේ හොඳට ම කලකිරීමකින් ය. ඇමැතිකම නැති වුණා පමණක් නොවේ ය. මහත්තයා ඊ ළඟ සබරගමු පළාත් මහ ඇමති අපේක්‍ෂකයා ලෙස දා ගන්න එකත් ඇයට නැති වුණා ය. ඒකත් රාජපක්‍ෂ පවුලේ ම ඥාතියකු වන ජානක වක්කුඹුරට දෙන්න යන බව ආරංචි ය. තැන් තැන්වල කසුකුසු ගානවා හැර පවිත්‍රාට කරකියා ගන්න දෙයක් නැත. පැත්තකට විසි කරලා දාපු හබරල අලයක තත්ත්වයට පත් වී ඇත්තේ ය.

වීරවංස- ගම්මන්පිල ‘බල්ල මාක්’

එළියේ මහ ලොකුවට කෑගැහැව්වාට ගම්මන්පිලලා, වීරවංශලා කුණුකූඩයට දමා අවසන් ය. ඒ අමාත්‍යාංශ දෙකේ ම ඉන්නේ රාජපක්‍ෂවාදී නිලධාරීන් ය ඇතුළේ අධෝවාතයක් ඇරියත් රාජපක්‍ෂලාට ආරංචි වන්නේ ය. ඒ විතරක් නොව අමාත්‍යාංශවලින් පිට කිසි දෙයක වගකීමක් දෙන්නේ ද නැත. කොටින් ම කියනවා නම්, අධෝවාතයක් තරම්වත් ගණන් ගන්නේ නැත. ඒ නිසා ම ගම්මන්පිල කිව්වේ, තමන් ගෙදර ඉන්න බල්ලාගේ තත්ත්වයට වැටී ඇති බව ය. බල්ලාගේ ප්‍රධාන භූමිකාව ස්වාමියාව රකින එක ය. ඒ වෙනුවෙන් එළියට බුරන එක ය. ඔය මොනවා කළත්, ජොබ් එක බලු ජොබ් එක ය. ඒක හරියට මේ දවස්වල ජාතික රූපවාහිනියෙන් විකාශනය වන ‘බොරලු පාර’ ටෙලිනාට්‍යයේ ඇමැතිවරයා ළඟ ඉන්න බල්ලා වාගේ ය. කලින් හිටපු බල්ලා බුලට් ඇමැතිවරයා ම මරා දැම්මේ ය. දැන් ඉන්නේ බොරලුවත්තේ ‘සුජියා’ බල්ලා ය. ඒ බල්ලන්ගේ රාජකාරිය වන්නේ “ඉජුඃ” කිව්වා ම නැට්ට වන වනා ස්වාමියා ළඟට යන එකය. “දුහු” කිව්වා ම නැට්ට උස්සාගෙන දුවන එකය. ගම්මන්පිලලා, වීරවංශලා දැන් වැටී ඇත්තේ, ඔය කියන බල්ලාගේ තත්ත්වයටය. බලු වැඩ කළා ම කොහොමත් ඔය තත්ත්වයට පත් වන්නේ ය. ‘බොරලුවත්තෙ සුජියාගෙ’ තත්ත්වයට වැටුණු මේ අය ඉන්නේ ද තදබල විරෝධයක ය. ඒත්, තමන් ම අත උස්සපු විසිවැනි සංශෝධනය නිසා අත-පය කොර වෙලා ය; කටවල් වැහිලා ය.

කට්ටියක් ‘සෑඩ් මූඩ්’

අනුර ප්‍රියදර්ශනලා, විජේදාස රාජපක්‍ෂලා ආණ්ඩුව පටන් ගත්ත වෙලාවේ ඉඳලා ම ඉන්නේ නොසතුටින් බව රට ම දන්නා දෙයකි. සුසිල් ප්‍රේමජයන්ත ලැබිච්ච රාජ්‍ය ඇමැතිකමෙන් යාන්තම් ජාම බේරාගෙන ඉන්නවා මිසක් කිසි විටෙක සතුටින් ඉන්නා බවක් නොපෙනෙයි. කරකියා ගන්න දෙයක් නැති නිසා ම මහින්ද සමරසිංහ ඇමෙරිකාවේ තානාපතිකම ඊට වඩා හොඳයි කියා එය භාර ගන්නට එකඟ වුණේය. ගෝඨාභය දුරකතනයෙන් කතා කරලා, ඒ වැඩේට හොඳ කෙනෙක් හොයලා දෙන්න කිව්වා ම විනාඩි දෙක තුනකින් “මම ම යන්නම් සර්…” කියා ඇත්තේ ය. ඒ මෙහේ කලකිරීමෙන් ඉන්නවාට වඩා රටින් පිට වෙලා යන එක හොඳ යැයි සිතපු නිසා ය.

ඛයියාම්ගේ සාක්කිය

මෙහෙම බැලුවා ම ආණ්ඩුවෙන් බාගෙට බාගයක් ම ඉන්නේ කලකිරීමෙන් ය. රටේ ජනතාවගෙන් ආණ්ඩුවට විරෝධය එල්ල වෙන්න එල්ල වෙන්න ඒ කලකිරීම තවත් වැඩි වන්නේ ය. බොහෝ අය ඉන්නේ තමන්ට වෙලාව එනකම් ය. වෙලාව ආපු ගමන් විස්ස පැත්තකට දාලා කට්ටියගේ විරෝධය පුපුරන්නේ ය. ඒක කොයි වෙලාවේ ද කියලා කාටවත් කියන්නට බැරි ය. එය වේගවත් වන්නේ ජනතා විරෝධයත් එක්ක ය. දේශපාලනයේ සිදු වන චලනයන් කාටවත් පුරෝකතනය කළ නොහැක්කේය. බොහෝ දේවල් නොසිතන වේලාවට, නොසිතන විදියට සිද්ධ වන්නේ ය. පාස්කු ප්‍රහාරය ඒ වාගේ ය. නැවතත් රාජපක්‍ෂලාට බලය ගියෙත් ඒ වාගේ ම ය. මෛත්‍රී ජනාධිපති වුණෙත්, හිතපු නැති විදියට ය. මෛත්‍රී-රනිල් වෙන් වුණෙත් එහෙම ය. යූ.එන්.පී.ය අන්ත පරාජයකට පත් වුණෙත් නොහිතපු ලෙසට ය. මේ දේශපාලනයේ හැටි ය. ඒ නිසා හෙට සිද්ධ වෙන්නේ කුමක් ද යන්න ගැන අද අනාවැකි කිව නොහැකි ය. එහෙත්, යමක් සිද්ධ වෙන්න අදාළ තත්ත්වය නම්, ඕනෑවටත් වඩා මෝරා ඇති බව පැහැදිලි ය. ඕමාර් ඛයියාම් කිව්වා සේ : “මේ මහා කළුගල පුපුරා යන්නේ ඒ මත හෙළන සිය වැනි පහරින් පමණක් නොව ඊට පෙරාතුව හෙළන ලද අනූනවයක් වූ පහරවල් නිසාවෙනි” යන්න නම් පැහැදිලි ය●

ජගදාක්‍ෂි

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

seventeen + 10 =