මුනිවර අරගලකරුවා

ඔහු ගැන සාරාර්ථ හැඳින්වීමකට තිබෙන හොඳ ම වචන දෙක ‘මුනිවර අරගලකරුවා’ යන්න ය. මෙම සටහන්කරුට ඔහු මුලින් ම හමු වුණේ, මතකයේ හැටියට 1992දී විය යුතු ය. මතකයේ හැටියට ජ්‍යෙෂ්ඨයාත් (මහින්ද බණ්ඩාර), සටහන්කරුත් ඔහු සොයා ගියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ව සිටි අවධියේ දී ය. ඒ ‘විරු සිසු අනුස්මරණ උලෙළේ’ ගීතයක් නිර්මාණය කර ගැනීමට ය. දැන් මතුගමට වී බොහෝ නිහඬව කටයුතු කරන තිලක් පුෂ්පකුමාර ගීත ලිවී ය.

අපට කියා තිබූ රත්මලානේ කිසියම් තැනක දී ඔහු හමුවිය. අපි අපගේ අවශ්‍යතාව පැහැදිලි කළෙමු. බැරෑරුම් බව පිරුණු දෑසින් අප දෙස බලා සිටි ඔහු “හරි… මම කරල දෙන්නම්…” යනුවෙන් එකඑල්ලේ ම පිළිතුරු ලබා දුන්නේ ය. මතකයේ හැටියට විරු සිසු ගීත දෙකකට සංගීතය නිර්මාණය කර එක් දිනක දී ගීත ගායනා කරන සිසු සිසුවියන් පුහුණු කිරීමට ද ඔහු එකඟ විය. අපගේ වැඩ කන්දරාව නිසා ඔහුගෙන් ගීත දෙක නිර්මාණය කර ගැනීමට නොහැකි විය.

එය එසේ වුවත්, ඔහු එදා අපට දුන් ඔවදන් තවමත් අපගේ අධ්‍යාත්මයේ නින්නාද වේ. “දන්නවා නේ මේ කාලයේ හැටි… වැඩ කරන්නත් ඕනෑ. වැඩ කරන්න නම්, ජීවත් වෙලා ඉන්නත් ඕනෑ. ඔයගොල්ලො හොඳ පරිස්සමින්.” මතකයේ තිබෙන වචන දෙක තුනක් එහෙ මෙහෙ වෙලා ඇති. හරයෙන් ගත්තා ම ඔහු අපට දුන් ඔවදන එයයි.
ඔහු ප්‍රවීණ කලාකරු ලක්‍ෂ්මන් විජේසේකරයි.

එදා ඔහු භාර ගත්තේ ජීවිතයත්, මරණයත් අතර අභියෝගාත්මක කටයුත්තක් ය. විශේෂයෙන් ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘විරු සිසු අනුස්මරණ උලෙළක්’ පැවැත්වීමට සංවිධානය කර තිබිණි. එහෙත්, නිල ලත් සහ නිල නොලත් ඝාතක කල්ලි කඩාවැදී, ප්‍රහාර දියත් කර සැලැසුම් ව්‍යර්ථ කර තිබිණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විරු සිසු අනුස්මරණ උලෙළ යොදා ගත්තේ එම අත්දැකීම් ද සමඟ ය. අප මෙන් ම එදා ඒ බව ලක්‍ෂ්මන් විජේසේකර ද දැනසිටි බව නො අනුමාන ය. අර අවවාදය දුන්නේ මේ සමස්ත පසුබිම යටතේ ය.

ඒ පළමු හමු වීමෙන් පසුව නැවත ඔහු ‘ජනතා සාහිත්‍ය උලෙළේ’ යම් කටයුත්තකට හමු වූ බවට යාන්තම් මතකයක් ඇති සේ ය. කොහොම වුණත්, ඉන් පසුව ‘ලක්දිව’ පත්තරය අහිමි වීමෙන් ‘සත්‍යයේ හඬ’ පුවත්පත ආරම්භ කිරීමට ජනතා ආධාර එකතු කිරීමේ විවිධ වැඩසටහන්වල දී හමු විය. කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ, කපිල කුමාර කාලිංග, දීපිකා ප්‍රියදර්ශනී, ප්‍රදීපා ධර්මදාස ආදීන් ද මෙම ආධාර එකතු කිරීමේ විවිධ ක්‍රියාකාරකම්වල දී වරින්වර හමුවුණා මතක ය.
මේ සටහනේ කතානායක ලක්‍ෂ්මන් විජේසේකර නැවත අතිශය සමීපව හමු වුණේ, 2020 ජනවාරි මාසයේ දී ය. එනම්, දශක දෙකහමාරකට පසුව ය. ඒ තවත් පිරිසක් පිරිවරාගෙන ය. ‘ලංකා’ පුවත් පත නව මුහුණුවරකින් එළිදැක්වීමේ කටයුතු කළ පත්තර සගයන් රැසක් සමඟ ය.

ඒ එදා ද ලක්‍ෂ්මන් විජේසේකර තුළින් මුළුමනින්ම දැකගත හැකි වූයේ 1992දී දුටු ලක්‍ෂ්මන් විජේසේකර ම ය. ‘මුනිවර අරගලකරුවා’ ය. ‘ලංකා’ කණ්ඩායමේ කතාබහට ඕනෑ කළ සියලු ම පහසුකම් සකසා දුන්නේ ඔහු ය. ඇතැම් විට දහවල් ආහාරය පිළියෙල කිරීමට ඔහු ක්‍රියා කළ ආකාරය අපි කාටත් දැකගත හැකි විය. මේ හමු වූ දිනයේ දී එදා 1992දී මෙන් අපට යම් ඔවදනක් දීමට නම් ඉදිරිපත් නොවීය. ඒ අප සියල්ලන් ම වයසින් දශක හතර හෝ පහ පසු වී, අත්දැකීම් බහුල අය වී සිටි නිසා විය හැකි ය. එහෙත්, එදා 1992දී සටහන්කරු විසිවැනි වියේ මැද සිටියෙක් ය.

ලක්‍ෂ්මන් විජේසේකර කලාකරුවා ‘මුනිවර අරගලකරුවකු’ වන්නේ නිකම් ම නොවේ. ඔහු තරුණ වියේ සිටින අරගලකරුවකු වීම නිසා ය. ඊට දෙස් දෙන හොඳ ම නිදර්ශනයක් සිහි වේ. ‘අලුත් පරපුර’ නම් තරුණ කලාකරුවන්ගේ සංවිධානය 2014 ජනාධිපතිවරණය වෙනුවෙන් දියත් කර තිබූ වැඩසටහනක් ය. ස්ථානය, කුරුණෑගල, හිරියාල ආසනයේ කුඹුක්ගැටේ ප්‍රදේශයයි. දිනය 2014 දෙසැම්බර් 29 වැනිදා ය.

‘අලුත් පරපුර’ වෙනුවෙන් කලාකරුවන් රැසක් සමඟ ක්‍රියාකාරීව සිටියේ, ලක්‍ෂ්මන් විජේසේකර ය. ඔහු ‘මුනිවර අරගලකරුවකු’ වන්නේ ඒ නිසා ය. නිශ්චිත අවස්ථාවේ කළ යුතු දේශපාලන කාර්යභාරයට ඔහු සෘජුව එළැඹී සිටියේ ය.
ඔවුහු ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදමින්, කරුණු පැහැදිලි කරමින් සිටියහ. කඩාවැදුණු මැර පිරිසක් මේ පිරිසට දිගට හරහට පහර දුන්හ. තරුණ, වැඩිහිටි භේදයකින් තොරව මැරයන්ගේ ඉලක්ක බවට ඔවුහු පත් වූහ. මේ මුනිවර අරගලකරුවා සැළුණේ නැත. ඒ ලක්‍ෂ්මන් විජේසේකර ය.

ඔහු ද වෙහෙස වී පත් කරගත් ජනාධිපතිවරයා, වසර කිහිපයකට පසු ජනවරමට පිටුපාමින් ප්‍රතිවාදියා අගමැතිවරයා බවට පත් කළ අවස්ථාවේ දී මේ අරගලකරුවා සිටියේ ජනතාවගේ පැත්තේය- දින පනස් හයේ ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව ද ඔහු පාරට බැස සිටිනු දක්නට ලැබිණි-

ඔහුගේ කලා ජීවිතය ගායනය, වේදිකා නාට්‍ය සංගීත නිර්මාණය, ගී තනු නිර්මාණය සහ රංගනය යන ක්‍ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී තිබිණි. ඒ පිළිබඳ නිසි විමර්ශනයක් මේ දක්වා සිදු කෙරී නැත. ඒ පිළිබඳව නිසි විමර්ශනය වෙනම ම කළ යුතු ය. ඒ සඳහා ඉඩහසර විවෘත ය. මෙම කෙටි සටහනේ මුඛ්‍ය අර්ථය වන්නේ ඔහුගේ මුනිවර ජීවිතයේ අරගලකාරී භාවිතය පිළිබඳ සැඟ වී තිබෙන කරුණු රාශියක් අතුරින් ශේෂයක් පිළිබඳව අවධානය යොමු කිරීම ය.

ඔහු මුනිවර අරගලකරුවකු වන්නේ කුඹුක්ගැටේ දී ප්‍රහාරයට ලක් වීම, විරු සිසු අනුස්මරණ ගීත නිර්මාණයට භාර ගැනීම, ‘සත්‍යයේ හඬ’ පුවත්පත ගොඩනැඟීමේ කටයුතුවලට දායක වීම වැනි ක්‍රියා තුළින් පමණක් නොවේ. වරාය අධිකාරියේ ජනතා විමුක්ති පෙරමුණු වෘත්තීය සමිතියේ නායකයාව සිටි චන්ද්‍රසිරි මහගමගේ විසින් එක් අතීත කතාවක් කිසියම් අවස්ථාවක
මෙම සටහන්කරු සමඟ කියා තිබිණි.

ඒ 1988 හෝ 1989 මැයි දිනය දා ය. එදා ප්‍රගතිශීලී පෙරමුණ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලය එක්ව ධවල මර්දනය තුළ පවා මැයි දිනයක් පැවැත්වී ය. මැයි පෙළපාළිය බොරැල්ල, සේනානායක හන්දියෙන් ආරම්භ කර රාජගිරිය, කොටා පාරේ රැළිය පැවැත්වීමට සූදානම් කර තිබිණි. ඒ දක්වා මැයි පෙළපාළිය ඉතා උද්වේගයෙන් ගමන් කරමින් පැවැති අතර, එහි ආරක්‍ෂක කටයුතුවල කිසියම් කාර්යභාරයක් චන්ද්‍රසිරි මහගමගේට ද පැවරී තිබිණි,

එම වගකීම ඉතා හොඳින් කරමින් සිටි ඔහුට හුරුපුරුදු මුහුණක් දැකගත හැකි විය. ලොකු කුඩයක් අතකින් ගෙන එය බිම සිටුවා කෙළින් සිටගෙන මහත් ඕනැකමින් මැයි පෙළපාළිය සමඟ ඒකාත්මික වී සිටි අමුත්තෙකි. ඒ ලක්‍ෂ්මන් විජේසේකරයි. එම කාලය වන විට දසත වෙළාගෙන සිටි ‘කොල කොටි’, ‘කහ බළල්ලු’, ‘කළු බළල්ලු’, ‘ප්‍රා’, ‘ශ්‍රා’, ‘මාපිල්ලු’ ආදී ඝාතක කණ්ඩායම් ගොදුරු සොයමින්, අනන්තවත් දසත සැරිසරමින් සිටි වකවානුවකි. මෙම සටහන තැබෙන මුනිවර අරගලකරුවා ඒ කිසිවක් මායිම් නොකර මැයි පෙළපාළිය සමඟ ඒකාත්මික වී සිටි ආකාරය චන්ද්‍රසිරි මහගමගේ අදත් සිහිපත් කරන්නේ, අපමණ ගෞරවයකින් ය.

තවත් අප්‍රකට කරුණු අපමණවත් තිබෙන බව නො අනුමාන ය. එසේ අනුමාන කිරීමට එක් ප්‍රධාන හේතුවක් සේ ඔහුම ගැයූ ගීතයක් ගෙනහැර දැක්වීම උචිත ය. පද සංකල්පනා ගෙත්තම යමුනා මාලනියගෙනි. සංගීත සිත්තම රෝහණ වීරසිංහගෙනි-

සොයමු සොයමු පිදුරු ගහක්

“සොයමු සොයමු පිදුරු ගහක් එල්ලෙන්නට අපි
පහළට ගහගෙන යන දා… – පිදුරු ගහත් ඇති//

“මරණ තුනක් ඇති සකියෙක් – පෙර පැණි කෑ හැටි
ගහෙන් වැටුණු සකිසඳු හට – ගොනුන් ඇනපු හැටි
එවන් ගොනු ම පසු දවසක – අම්බලමට වැදි
පිනා සකිගෙ කද බින්දට – සිනාසුණේ අපි

“කිතුලට නැඟි තව සකියෙක් – වරද වහනු රිසි
තණකොළ කැපුමට ගහ මත – නැඟුණු බවක් ඇසි
සිහි වන තෙක් ඔච්චම් කර – සිනාසුණේ අපි
ඔච්චම නොව මිනිසත්කම – තේරුම් ගනු වටි”

ලක්‍ෂ්මන් විජේසේකර ප්‍රකටය- එහෙත් මේ ගීය අප්‍රකටය- ගායකයා ප්‍රකටය- මුනිවර අරගලකරුවා අප්‍රකටය!

– ප්‍රියදර්ශන දයාරත්න

ඡායාරුප – රවින්ද්‍ර පුෂ්පකුමාර

Leave A Reply

Your email address will not be published.

16 − one =