ජනපති අණින් බුද්ධි බලය හමුදාවට

ජාතික ආරක්ෂාවේ ප්‍රධාන වැඩකොටසක් ඉටු කරන පිරිසක් වනුයේ රාජ්‍ය බුද්ධි සේවයයි. සෑම රටක් විසින් ම සිය රාජ්‍යයෙහි ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ යොදවා තිබේ. ඉන්දියාවේ ‘රෝ’ ඔත්තු සේවය, ඇමෙරිකානු ‘සී.අයි.ඒ.’ හා ඊශ්‍රායලයේ ‘මොසාඩ්’ වැනි බුද්ධි සේවා ගැන මෙන්ම රුසියාවේ ‘කේ.ජී.බී.’ යන බුද්ධි සේවාවල භූමිකාව ප්‍රකට ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන ද මුලින්ම මෙරටට තොරතුරු ලබා දී තිබුණේ රෝ ඔත්තු සේවය විසිනි. ලෝකය තාක්ෂණික අතින් දියුණුව ලබද්දී, බුද්ධි සේවාවන් ද ඊට සමගාමීව දියුණු වී තිබේ. රාජ්‍යයන් ආක්‍රමණය කිරීම්, ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සේම දේශපාලන බලතුලනයන් වෙනුවෙන් ද බුද්ධි අංශ භාවිත වේ.

චරපුරුෂ සේවයේ සිට…

ශ්‍රී ලංකාවේ ද බුද්ධි සේවා ක්‍රියාත්මක වුණේ රජ දවසේ සිට ය. ඔවුන් හඳුන්වනු ලැබුවේ චරපුරුෂයන් ලෙස ය. රජ දවස අවසන් වී අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිතයක් බවට පත් වූ පසු ඔවුහු ද චරපුරුෂ සේවය පවත්වාගෙන ගියෝය. සුදු ජාතිකයන්ගේ චරපුරුෂ සේවය ඔවුන් විසින් පිහිටුවනු ලැබූ පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරෙන චක්‍රලේඛ ඔස්සේ ක්‍රියාත්මක විණි. සුදු ජාතිකයන් වෙනුවෙන් මෙම සේවය ඉටු කරනු ලැබුවේ මැලේ ජාතිකයන් විසිනි.

අධිරාජ්‍යවාදින්ගෙන් රට නිදහස් වීමෙන් පසු තොරතුරු ලබා ගැනීමේ සේවයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුව යටතේ මෙය පවත්වාගෙන එනු ලැබී ය. 1972 නව ව්‍යවස්ථාවෙන් පසු ‘පොලිස් බුද්ධි අංශය’ ලෙස බුද්ධි සේවය ආරම්භ කෙරිණි. පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පැවැති බුද්ධි සේවයට අමතරව යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා යටතේ ද බුද්ධි සේවාවන් ආරම්භ වූයේ රට තුළ සිවිල් යුද්ධයක් ආරම්භ වීමත් සමඟ ය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාර හමුවේ සක්‍රිය සේවයක් ලෙස බුද්ධි අංශ ක්‍රියාත්මක කරනු ලැබී ය.

පොලිසිය යටතේ පැවැති බුද්ධි සේවය එලෙස කොටස් කිහිපයකට වෙන් වී යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා ලෙස ක්‍රියාත්මක විය. ‘ජාතික බුද්ධි කාර්යාංශය’ ලෙස ක්‍රියාත්මක වූ පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පැවැති බුද්ධි සේවය එලෙසම ක්‍රියාත්මක විය. ජාතික බුද්ධි කාර්යාංශය පොලිසිය යටතේ පැවතුණ ද, එහි අධ්‍යක්ෂවරයා සෘජුව වග කියනු ලැබුවේ ජාතික බුද්ධි ප්‍රධානියා වෙත ය. ජාතික බුද්ධි ප්‍රධානියා ආරක්ෂක ලේකම්වරයාට වග කියනු ලබයි.

ආරක්ෂක මණ්ඩලය

එල්.ටී.ටී.ඊ. සංවිධානය විනාශ කර දැමූ හතරවන ඊළාම් යුද්ධය ආරම්භ වීමට පෙර ජාතික බුද්ධි කාර්යාංශය ‘රාජ්‍ය බුද්ධි සේවය’ ලෙස වෙනස් කරනු ලැබී ය. ඊට අමතරව ‘බස්නාහිර බුද්ධි කොට්ඨාසය’ ලෙස පොලිසිය යටතේ ක්‍රියාත්මක තවත් බුද්ධි සේවයක් පවතින අතර එය සෘජුව වග කියනු ලබන්නේ පොලිස්පතිවරයා වෙත ය. ත්‍රිවිධ හමුදාව, පොලිසිය යටතේ ක්‍රියාත්මක බුද්ධි අංශ ආයතන ප්‍රධානියාට වග කියන අතර ආයතන ප්‍රධානීන් විසින් ජාතික බුද්ධි ප්‍රධානියාට ඔවුන් ලබා දෙන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වග කියනු ලබයි. මේ සියලු දෙනා එකට එකතු වන්නේ ආරක්ෂක මණ්ඩලයේ දී ය. ආරක්ෂක මණ්ඩලය රාජ්‍යයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වන අතර, අවසානයේ සියලු දෙනා විසින් වගකියනු ලබන්නේ ජනාධිපතිවරයාට ය.

එසේ වුව ද, රාජ්‍ය බුද්ධි සේවය තමන් එකතු කර ගන්නා ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු මෙන්ම ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ කණ්ඩායම් කරගෙන යන දේශපාලන මෙහෙයුම් සම්බන්ධයෙන් එකතු කර ගන්නා තොරතුරු ද සෑම දිනකම රාත්‍රියේ ජනාධිපතිවරයා වෙත භාර දෙන්නේ ය.

ප්‍රතිසංවිධාන සැලසුම

මෙලෙස ක්‍රියාත්මක වන රාජ්‍ය බුද්ධි සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කරන්නේ නව ලොවට ගැළපෙන ලෙස බුද්ධි සේවය ප්‍රතිසංවිධානය කරන බවයි. එසේ වුව ද, පොලිස් අභ්‍යන්තර තොරතුරු හෙළි කරන්නේ යුද හමුදාවට වැඩි බලයක් ලැබෙන සේ ජාතික බුද්ධි සේවය ප්‍රතිසංවිධානයට ලක් කරන බවයි.

එසේම නවපනතක් යටතේ බුද්ධි සේවය ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත බවට ද අභ්‍යන්තර තොරතුරුවලින් හෙළිදරවු වේ. දැනට ජාතික බුද්ධි සේවය ක්‍රියාත්මක වන්නේ අධ්‍යක්ෂවරයකු යටතේ ය. ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. බුද්ධි සේවය මහජනයා අතර පවතින සේවයක් බැවින්, මෙය පොලිසිය යටතට පවරා තිබේ.

සෑම පොලිසියකම විශේෂ විමර්ශන ඒකකය යටතේ බුද්ධි නිලධාරියෙක් කටයුතු කරයි. ඔවුනට ලැබෙන තොරතුරු පොලිස් ස්ථානාධිපතිවරයා හරහා පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වෙත යවනු ලබයි. සහකාර පොලිස් අධිකාරිවරයා විසින් එය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැවරීමෙන් අනතුරුව එය රාජ්‍ය බුද්ධි සේවයට ලැබේ.

ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයට ද උතුරු, නැඟෙනහිර පළාත්වල වෙනම බුද්ධි කොට්ඨාස පිහිටුවා තිබේ. යුද සමයේ මෙම බුද්ධි කොට්ඨාස පිහිටුවනු ලැබූ අතර, දැනට ද ඒවා ක්‍රියාත්මක වේ. එසේම රටේ සෑම පොලිස් කෝට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජාතික බුද්ධි සේවයේ ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස වර්තමානයේ කටයුතු කරනු ලබන්නේ මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සැලේ ය. භාෂා කිහිපයක් හැසිරවිය හැකි ඔහු යුද හමුදා බුද්ධි සේවයේ සිටි දක්ෂ නිලධාරියෙකි. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී තනතුරට යුද හමුදා නිලධාරියකු පත් වන්නේ මෑත ඉතිහාසයේ පළමුවරටය.

යුද හමුදා නිලධාරියකු රාජ්‍ය බුද්ධි සේවයට පත් වුව ද, ඔහුට යුද හමුදා බුද්ධි අංශ වෙත උපදෙස්දීමට හෝ තොරතුරු ලබා ගැනීමට හෝ නොහැකිය. ඔහුට යුද හමුදා බුද්ධි අංශ වෙත තොරතුරක් දැනුම් දීමට හෝ ඔවුන්ගෙන් තොරතුරක් ලබා ගැනීමට හෝ අවශ්‍ය නම්, එය කළයුතු වන්නේ ජාතික බුද්ධි ප්‍රධානියා හරහාය. ඊට පරිබාහිරව නිල වශයෙන් ඔහුට තොරතුරු ලබා ගත නොහැකිය. හිටපු යුද හමුදා නිලධාරියකු ලෙස ඔහු නිල නොවන ලෙස උපදෙස් හා තොරතුරු ගත්ත ද නිලවශයෙන් ගත නොහැකි වීම ඔහුට මහත් හිසරදයක් බව දැනගන්නට තිබේ.

අධ්‍යක්ෂ ජනරාල් තනතුරක්

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය බුද්ධි සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී ඇත. නව වෙනස්කම් යටතේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා වෙනුවට අධ්‍යක්ෂවරුන් තිදෙනකු පත් කිරීමට ද ඊට ඉහළින් අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් ඇති කිරීමට ද නියමිත ය.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුර නියෝජ්‍ය පොලිස්පතිවරයකු දරන තනතුරක් බැවින්, යුද හමුදා මේජර් ජනරාල්වරයකු එම තනතුරට පත් කිරීම යනු ඔහු පහළ තනතුරකට පත් කිරීමට සමාන ය. අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් ඇති කළ පසු එම ගැටලුව නිරාකරණය වේ. එසේම රාජ්‍ය බුද්ධි සේවයට අමතරව ත්‍රිවිධ හමුදා බුද්ධි සේවාවන් හා සම්බන්ධ වී කටයුතු කිරීමට ද නිල බලය හිමි වේ. රටේ සියලු බුද්ධි අංශ වෙත අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස්දීමට බලය ද හිමි වනු ඇත.
ඊට අමතරව පත් කරන අධ්‍යක්ෂවරුන් තිදෙනා පොලිසියෙන් හා යුද හමුදාවෙන් පත් කිරීමට නියමිත ය. එක් අධ්‍යක්ෂවරයකු පොලිස් සේවයෙන් පත් වන අතර අනෙක් දෙදෙනා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් පත් කිරීමට නියමිත ය. ඉදිරියේ දී මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වීමට නියමිත ය.

පල්ලිවලට අනතුරු ඇඟවීම

බුද්ධි සේවය එසේ ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරද්දී, බෝපිටිය පල්ලියට කැබ් රථයකින් පැමිණෙන නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් එහි ප්‍රධාන පූජකතුමන් මුණගැසිය යුතු බවට දන්වා සිටිති. ප්‍රධාන පූජකතුමන් එම අවස්ථාවේ පල්ලියේ නොසිටි බැවින්, එහි සිටි පිරිසට නාවික හමුදා නිලධාරීන් දැනුම් දෙන්නේ, පල්ලියට ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී ඇති බැවින්, පිටස්තර කිසිවකුත් පල්ලියට ඇතුළු කර නොගන්නා ලෙසටය.

පූජකතුමන් පල්ලියට පැමිණි විගස තමන් අමතන ලෙස දැනුම් දෙමින් මෙම නිලධාරීන් දුරකතන අංකයක් ද ලබා දී පිටව ගොස් ඇත. බෝපිටිය ශාන්ත නිකොලා දේවස්ථානයේ පූජක නිමල් ජයන්ත පියතුමා විසින් අදාළ දුරකතන අංකයට ඇමතුමක් ගත් විට ආගමික ස්ථානවලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරක් ලැබී ඇති බැවින්, දැනුම්වත් කිරීමක් කළ බව පවසා ඇත. කොළඹ අගරදගුරු මැඳුරට දැනුම් දුන්නේ නැති දැයි විමසද්දී, එය ලොකුවට ප්‍රසිද්ධ නොකළ බවත්, තොරතුර ලද ප්‍රදේශය පමණක් දැනුම්වත් කළ බවත් කියා තිබේ.

බෝපිටිය පල්ලියට අමතරව එම ප්‍රදේශයේම තවත් පල්ලි කිහිපයකට මේ කාරණය පිළිබඳව දැනුම්වත් කර ඇති බව සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළේය. වැලිගම්පිටිය පල්ලිය, වත්තල පල්ලිය හා පමුණුගම යන පල්ලි වෙත පැමිණි නාවික හමුදා නිලධාරීන් මෙම තොරතුර ලබා දී ඇත.ඔවුන් කියා ඇත්තේ, පියතුමන්ලා ලෙස වුව ද මෙම පිරිස පැමිණිය හැකි බැවින්, නාඳුනන පිරිස් පල්ලි තුළට ඇතුළු කර නොගන්නා ලෙස ය.

පරස්පර විරෝධී කතා

සිද්ධිය වාර්තා වූ අවස්ථාවේ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර කීවේ මෙය වැරැදි තොරතුරක් බව ය. දෙවනුව ඔහු මාධ්‍යයට කීවේ,පැමිණි නිලධාරින් විසින් අවශ්‍ය ප්‍රමාණයට වඩා තොරතුරු ලබා දී තිබෙන බව ය. තෙවනුව මෙය පුහුණුවක් යැයි ද ඔහු කීවේ ය.

ආරක්ෂකඅමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ තහවුරු නොකරන ලද තොරතුරක් නාවික හමුදා නිලධාරීන් විසින් පල්ලි වෙත ලබා දී තිබෙන බව ය. තහවුරු නොවූ තොරතුරක් මෙලෙස පිටතට ගියේ මන්ද යන ගැටලුව මෙහි දී මතු වේ. බුද්ධි අංශ වෙත ලැබෙන තොරතුරු අවස්ථා කිහිපයක් පරික්ෂා කිරීමෙන් පසු එය තහවුරු වුවහොත් පමණක් ඉහළට දැනුම් දීම බුද්ධි නිලධාරීන්ගේ පළමු රාජකාරිය වේ.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ දී එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා වෙත භාර දී තිබුණේ, වෙනත් රටක බුද්ධි සේවයක් විසින් තමන්ට ලබා දුන් තොරතුරු ලෙසය. ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ප්‍රහාරය එල්ල වන දින පෙරවරුවේත් නිලන්ත ජයවර්ධන වෙත ප්‍රහාරය ගැන තොරතුරු ලබා දුන් බව ඔහු මේ ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසමේදීත් පිළිගත්තේ ය.

සැකකටයුතු සිදුවීම් දාමයක්

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මෙන්ම කාදිනල් හිමිපාණන් විසින් ද විමසනු ලබන්නේ ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන් ද කියා ය. මේ සියලු දෙනාගේ ඇඟිල්ල ව්‍යංගයෙන් දිගු කරන්නේ වත්මන් බුද්ධි අධ්‍යක්ෂ තුවාන් සුරේෂ් සැලේ වෙත ය. ඔහු මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද කර ඇත.
මේ සියලු කාරණා මධ්‍යයේ පාස්කු ඉරු දින ප්‍රහාරය මෙන් තවත් ප්‍රහාරයක් එල්ල වන බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශයෙන් දින දෙකකට පසු කටුනායකට ප්‍රහාරයක් එල්ල වන බවට ඊමේල් පණිවුඩයක් ලැබුණු අතර, කොළඹ ලංකා රෝහලේ තිබී කාලබෝම්බයක් සේ සකස් කළ අත්බෝම්බයක් ද හමු විය.
එම සිද්ධිදාමයේ උණුසුම මැකී යාමටත් මත්තෙන් දැන් බෝපිටිය ඇතුළු පල්ලි කිහිපයකට ප්‍රහාරයක් එල්ල වන බවට නාවික හමුදා නිලධාරීහු පැමිණ එම පල්ලිවල පූජකතුමන්ලා දැනුම්වත් කරති. එසේම බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කිරීමකට ද සූදානමක් පවතී. මේ සියලු කරුණු හමුවේ ජනතාව උභතෝකෝටිකයකට මුහුණ දී සිටී.

සිරිල් ගාමිණී පියතුමන් පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා කාදිනල් හිමියන්ගෙන් සමාව ඉල්ලා ඇති බව ය. තොරතුර වැරැදි නම්, එම තොරතුර දුන් අය කව්ද සොයා නොබලා තොරතුර රැගෙන නාවික හමුදා නිලධාරීන් පල්ලි වෙත එව්වේ කවුරුන් ද යන්න ගැන සොයා බලන ලෙසට සිරිල් ගාමිණි පියතුමෝ ඉල්ලා සිටිති.
ජනතාව මානසිකව බියපත් කිරීමේ මෙහෙයුමක් මේ සියල්ල හරහා ක්‍රියාත්මක වන්නේ ද යන සැකය මේ නිසා බොහෝ දෙනා තුළ මතුව තිබේ.

– ලසන්තවීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

two × three =