මේ “ඉරි සහ තවත් ඉරි” හැර වෙනත් ඉරි ද තිබිය හැක

ස්කොට්ලන්ත ලේඛක විලියම් බාක්ලේ වරක් මෙසේ පවසනවා. “පුද්ගලයෙකු ගේ ජීවිතයේ සුවිශේෂ දින දෙකක් වෙයි. එකක් අප ඉපදුන දාය. අනෙක ‘ඒ ඇයි?’ කියා අප සොයාගත් දිනයයි.” (There are two great days in a person’s life – the day we are born and the day we discover why. – William Barclay – Scottish Author) මිනිසෙක් උපන් දා සිට මියයන දිනය දක්වා අතර වන කාල පරාසය තුල කරන්නේ ඇයි? යන්න සෙවීමයි. අප කරන කියන සියලු දේ පිටුපස ඇති උවමනාව හැඩ ගැසෙන්නේ ඒ වෙනුවෙනි. ඉපදුනේ ඇයි? යන්නට පිලිතුරු සොයන්වා සේම අපේ ජීවිත ඇසුරේ සිදුවන සෑම දෙයකටම, ඒවා එසේ වන්නේ ඇයි යැයි අප පිලිතුරු සෙවීමට උත්සාහ ගනු ලැබේ. ලෝකයේ සියලු ඥාන ගවේශනයන් ද, දර්ශනවාදයන් ද, විද්‍යාවන් ද, භෞතික ගොඩ නැගීම් ද, සකලවිධ නිර්මාණාත්මක කලාවන් ද බිහිවන්නේ එයට පිලිතුරු ලෙසිනි. බොහෝ විට වියපත්භාවය පුද්ගලයාට තමන් දෙස අන්තරාවර්තීව හැරී බැලීමට බලකරනු ලබයි. එයට ඇතැම් විට මරණය පිලිබඳ හැඟීම නිසා විය හැකිය. නැතිනම් තමන්ට ලැබෙන විශ්‍රාම නිසා වෙන්නට හැකියි. ඒ අවලෝකනමය හැඟීම බොහෝ නිර්මාණ වලට අනුභූතීන් සපයයි.

සුනිල් එස්. සිරිසේන විසින් රචිත “ඉරි සහ තවත් ඉරි ” කාව්‍ය සංග්‍රහය එවන් නොස්ටැල්ජීයානු ලක්ෂණ සහිත ජීවිතය දෙස ආපසු හැරී බැලීමක පොදු තේමාත්මක තලයක ස්ථාන ගතවූ කාව්‍ය එකතුවකි. රචකයා කලා ක්ෂේත්‍රයට ආගන්තුකයෙකු නොවේ. නාට්‍ය රචකයෙක්, රංගන ශිල්පියෙක්, කෙටිකතාකරුවෙක්, ගීත රචකයෙක් ආදී විවිධ කලා ප්‍රවර්ගයන් තුල ඔහුගේ නිර්මාණ සූක්ෂමතාව රසිකයින් විසින් හඳුනාගත්තේ මීට දශක කිහිපයකට පෙරය. නමුත් ඔහු පළමු වතාවට කවියෙකු ලෙස සංගෘහිතව රසික සමාජයට එළඹෙන්නේ “ඉරි සහ තවත් ඉරි” කෘතියෙනි. මේ කෘතියෙන් ඔහු සනාථ කරන සුවිශේෂ දෙයක් වන්නේ සිව්පද කවියට ඔහු සුවිශේෂ හැකියාවක් ඇත්තෙකු බවයි.

බැඳ වැට කඩුළු සවිමත් දොර අගුළු දමා
ගියමුත් කුමක්දෝ වෙනසක් පෙනෙනු කිමා
අමල් බිසෝ මගේ කවදත් නුඹ ම තමා
දොර ඇරියාද? කියපන් තව නොවී පමා.
දොර බිඳින හඬ ඇසේ කවුරුදෝ වරින් වර
සුළං එනවා සැරෙන් සියොලඟම සළිත කර
මා ලඟින් වැතිරගෙන නෙතු මදක් විවර කර
නිදි නැතිව හිතනවද කඳුළු වල තියෙන බර
(අමල් බිසෝ)

අපට හුරු පුරුදු අමල් බිසෝ කතාව නූතන අත්දැකීමක් කියන්නට භාවිතා කරමින් සිව්පද ආකෘතියට අත්දැකීම සිර නොකර ගෙන ප්‍රතිනිර්මාණය කිරීම බුහුටි කමකි. තවත් සිව්පද ආකෘතියෙන්ම ලියු කවක් වන “මහ නුගේ දේවාලෙ” විමලරත්න කුමාරගම කවියාගේ “අයියනායක” කවිය සිහිපත් කරන්නකි.

ගමට එන ගුරුපාර අවුරාන වැඩ හිටපු
ඇවිත් දුක් වේදනා කියන්නට ඉඩ දීපු
පළිගන්න ඕනේ නම් ඒකටත් හා කියපු
මහ නුගේ පුද බිමකි ජනතාව මල් පුදපු

ගැමියාගේ විශ්වාස හා අභිචාර විධි ගැන කවියා විස්සෝප නොවේ. ඒවා සංස්කෘතියක් ගොඩනැගීමේ එක් යෙදවුමකි. නමුත් ඔහු ඒවා විශ්වාස නොකරයි. එය පවසන ආකාරය අපූරුය. එය ඔහු කවිය තුල පවසන්නේ ශ්‍රැතිසූචනාර්ථයෙනි.

සුදු නයෙක් එනවාලු කිසිම වරදක් නැතිලු
මහ නුගේ දෙවියන්ගෙ අනුහසින් වඩිනවලු
නාග දෙවියෝත ඉතිං පැත්තකින් ඉන්නවලු
හාස්කම් වැඩි වෙලා හැමෝටම හිතෙනවලු

කුමාරගම කවියා “මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම” ලෙසින් කියන්නේ ද මෙයමය. පසුව ගමට ආ සංවර්ධනය හමුවේ ගැමියාගේ විශ්වාසයේ සංකේතයක් වූ මහ නුගය සිය දිවි පුදයි.

මහ නුගේ මකා ගෙන මහ පාර ඉදිවුනේ
සුදු නයා ඉතිං නැත කාටවත් හමුවුනේ

සුනිල් එස්. සිරිසේන කවියාගේ කවිකම එක් ආකෘතියකට පමණක් සිර නොවේ. අත්දැකීම ඉල්ලා සිටින ආකෘතිය ඔහු හොඳින් හඳුනයි.

අම්මා ඇවිත් ගියා අද
නොකීවේ ඇයි ඉතිං – අද ඉඳල හෙට යන්න
ආවමයි අපෙ ගෙදර – පරක්කුයි අදත් ඔබ

සාමාන්‍ය ජීවිතයේ භාවිතා කෙරෙන බස්වහර යොදා ගනිමින් ජීවන අත්දැකීමක් නිදහස් ආකෘතියක් තුල ප්‍රබලව ප්‍රකාශ කරන ආකාරය අපූරුය. හිතුවක්කාර විවාහය නිසා අමනාපව සිටි මව සිය දියණිය බැලීමට පැමිණේ.

මේ පුංචි කුලී ගෙයි
තවම කඹුරනවා ද
ගෙයක්වත් නැද්ද ඔය
මහා ලොකු මිනිහාට
බලාපං උඹේ හැටි
උන්නයින් බාගයයි
හරියට පුටු කබලක්වත් නැති
මෙකද්ද මේ ජීවිතේ

සුපුරුදු මවගේ බැනුම එපරිදි ය. එය බැනුමකට වඩා ඇය තුල පැසවන ආදරයේ කම්පාවයි. එය කවියා පද දෙකකට සංක්ෂිප්ත කරයි.

කන්දෙක පිරී ගිය
අම්මාගේ ආදරය

දියණිය මව දෙස බලන්නේ උපේක්ෂා සහගතවය. ඇය සිය සැමියා තුල පවා මව ගැන කෝපයක් ඇතිවීමට ඉඩ නොදෙයි. කවිය අපූරු කූටප්‍රාප්තියකින් අවසන් කරන්නේ මෙලෙසිනි.

අග්ගලා ගෙනැත් ඇති අම්මා
කහට බොමු
එන්න ගෙට.

කුඩා දරුවන් සසුන් ගත කිරිම ගැන සමාජ තුල ඇත්තේ සංවාදයකි. ඒ ජීවිතාවබෝධයකින් තොරව සසුන් ගත කරන කුඩා දරුවන් විවිධ කායික මානසික පීඩාන්ට පත්වන ආකාරයත්, එ පිටුපස ඇත්තේ හතරවරිගයම නිවන් දැකිමට වඩා ආර්ථික දරිද්‍රතාව බවත් සමාජය තුල මතුවී ඇති මේ සංවාදයේ පදනමයි. සුනිල් එස්. සිරිසේන මේ අත්දැකීම කාව්‍යාත්මක අනුභූතියක් ලෙස සිය කෘතියට ගෙනේ.

කමක් නෑ පොඩි සාදු
ඔබ නිසා මතු දිනක
නිවන් සුව ලබනවා
බුදු බණේ කියනවලු
ලොකු සාදු හැමදාම
මා එක්ක කියනවා
අම්මාත් මා එක්ක
නිවන් යන්නයි ඉන්නෙ

කුඩා දරුවා සසුන්ගත කිරීමෙන් පවුලේ ආර්ථිකයට වාසි සහගත තත්ත්වය ඇතිවී නැහැ. නමුත් ඔවුන් ගේ හීනය හතර වරිගයම කෙසේ වෙතත් මව සහ පියා නිවන් දැකීමටයි. මේ ප්‍රතිවිරෝධතාව ඔහු කවියට මුසුකරන්නේ කවිය ඔස්සේ රසිකයා ගේ බැහැවර ඥානයට සියුම් රිදවීමක් කරවමිනි.

කැඳවතුරවත් නැතිව
කුස පොත්ත හැඟවුණත්
අපි තවම පොඩි සාදු
ලස්සනට කවි කරපු
බණ කතා අහනවා.

“අතරමං නොවනු මැන” නිර්මාණය මිනිස් ජීවිතයේ මුදාහැරීම් හා අනතුරුව සිදුවන වැරදීම් දෙස ආපසු හැරී බලන දයාර්ද බැලීමකි. එය වක්‍රෝතියෙන් කියන ආකාරය ද අපූරුය.

හොඳින‍් එළි පෙහෙලි කළ
කටු පඳුරු ගල් බොරළු
කිසිත් නැති මාවතේ
හිතේ හැටියට නුඹට
දැන් ඉතින් යා හැකිය

සියල්ල සකසා ජීවිතය වඩාත් පහසු කළ පසු මුදාහරින කෙනෙකුට අතර මග වුව ජීවිතය වැරදිය හැකිය. එසේ වෙන වැරදීමකදී පමණක් මගසැකසූ අය මතකයට නැගෙනු ඇත. එය ජීවිතයේ ස්වාභාවයයි. එසේ වැරදුන තැන් හි තව දුරටත් අතරමං නොවී ආපසු පැමිණිය හැකි තැනක් වෙත් නම් ඒ මුලින් ජීවිතය සකසා දුන් තැන පමණි. සාමාන්‍යයෙන් අපට ජීවිතයේ බො‍හෝ දේ සමග ඇත්තේ අත්හැරිය නොහැකි බැඳීමකි. කායිකව අත්හැරිය හැකි වුවද මානසිකව අත්නොහැරේ. ඒ විඳවීමේ දී ආපසු හැරෙන්නේ නම් පැමිණිය හැක්කේ ආරම්භ කළ තැනටමය. එය සියළු වේදනාභරිත රිදවීම්, තැළුම්, ඉදිමුම් ඉවසන තැනයි.

ගිය පාර මතක නම්
නැවත ආපසු එන්න
තැළුම් ඉදිමුම් නිවන
හුදෙකලා වෙද මැදුර
තවම ඇත අවදියෙන්.

ජීවිතය දෙස ආපසු හැරී බැලීම බොහෝ විට අප අතින් සිදුවන්නේ ජීවිත අපර භාගයේ දීය. එය ඇතැම් විට ජීවිතයේ කාර්ය බහුලත්වය නිසා හෝ අකමැති නිසා හෝ ඊට ප්‍රථම සිදුකරන්නට අප නොපෙළඹේ. වියපත් අය මුණගැසෙන තැනක සිදුවන අල්ලාප සල්ලාපයට කන් දිය හැකිනම් මේ ආවර්ජනාවන් පිළිබඳ අවබෝධ කරගත හැකිය. “විශ්‍රාමිකයන් ගේ හමුව” එම අත්දැකීම පාදක කරගත් අපූරු කවි නිමිත්තකි.

හැමදෙනාටම අසනීප
කොලොස්ටරෝල්
දියවැඩියාව
අධි රුධිර පීඩනය
අට අනූවක් රෝග
මොකද සුදුමැලි වෙලා
කෙට්ටු ඇයි මේ තරම්

මේ මවන චිත්‍රය අපූරුය. විශ්‍රාමික ජීවිතය සම්භාෂණ අරඹන්නේ මෙලෙසිනි. කලකට පසුව මුණ ගැසෙන විශ්‍රාමිකයන් ගේ ප්‍රශ්නාවලිය එබඳුය. අනතුරුව ඔවුහු ආපසු හැරී බලති. ජීවිතයේ සුන්දර අත්දැකීම් මෙන්ම අසුන්දර අත්දැකීම් එකම මේසයක් මත තබා යළි යළි ඒවා සිහිකරමින් ජීවිතය රස විඳිති. සියළු රෝගයන් මොහොතකට අමතකව යයි.

කෑම ලෑස්තියි
කෑමට පෙර මොනවා හරි කරනවද?
සකල රෝග ආබාධ තියෙන
සියල්ලෝ එකතු වී
චියර්ස් …
ආයි කවදා හම්බ වෙයිද දන්නෙ නෑ.
හීනියට එක්ක දා ගනිං.

සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති බස භාවිතා කරමින් කවිය නිමා කිරීම තුල ජීවිතය පිලිබඳ පැහැය අඩු වර්ණිත චිත්‍රයක් ඇඳෙයි.
සුනිල් එස්. සිරිසේන ගේ “ඉරි සහ තවත් ඉරි” කෘතිය තුල ප්‍රතිභා සම්පන්න කවියෙකු ගේ රූපකායේ දල සටහනක් මැවී පෙනෙයි. ඔහුගේ ඇතැම් කවි වල දක්නට ඇත්තේ කළල රූපයක් පමණි. ඒවා මනා සේ වැඩෙන්නට ඉඩ හැරිය යුතුව තිබුණු ඒවා යයි හැඟේ. “මහ පොළොව”, “ඉතිරි කළ උරුමය”, “සෙබළාගේ පාපොච්චාරණය”, “කසාදය”, ” සරසවි මතකයක් “, “හඬනු මැන වීණාව” වැනි නිර්මාණ තවත් පරිස්සමෙන් උසමහත් කළයුතු නිර්මාණ කළලයන් බව පෙනේ.
සමස්ථයක් ලෙස ගත්කළ මුලු කාව්‍ය නිර්මාණ එකතුව පුරාම දැකිය හැක්කේ ජීවිතය දෙස තපස්වී හැඟීමකින් ආපසු හැරී බැලීමකි. ජීවිතයේ ඇති නිස්සාරබව, අනියත බව, පශ්චත්තාපය, මතින් දිවෙන බෞද්ධාගමික දෘෂ්ටියක් ද දැකිය හැකිය. ඔහු ගේ කවිතුල හරයාත්මකව නිදන් වී ඇත්තේ සියලු ජීවිත අත්දැකීම් හා භෞතික සිදුවීම් තුල “ඇයි?” යන ප්‍රශ්නයට පිලිතුරු සොයා යාමෙකි. මේ සියල්ල අතරේ සුනිල් එස්. සිරිසේන නම් වූ සෞන්දර්යවාදියාගේ තවත් එක් පැතිකඩක් හඳුනාගැනීමේ අවස්ථාව “ඉරි සහ තවත් ඉරි” තුලින් උදා වී තිබෙන බව නම් කිවයුතුය.

– කපිල එම්. ගමගේ
2021 ඔක්තෝබර් 10 දා, ඉරිදා ලංකා පුවත්පත | Rose අතිරේකය

Leave A Reply

Your email address will not be published.

15 + 20 =