රජය ඇඟ බේරාගනියි, කිරිපිටි මිල ව්‍යාපාරිකයන් අතට

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති යන භාණ්ඩ සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ කිරිපිටි ආනයනකරුවන් විසින් කිරිපිටි කිලෝවක් රුපියල් 350කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

මේ අතර කිරිපිටි සඳහා පනවා තිබු පාලන මිල ඉවත්කිරීමට රජය කටයුතු කිරීමත් සමඟ දේශීය කිරිපිටි නිෂ්පාදන අලෙවිසැල් අසල අදත් දිගු පෝළිම් දක්නට ලැබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කැබිනට් අමාත්‍යවරුන් අතර ඊයේ(07) පැවති අතර එහිදී තීරණය කරනු ලැබුවේ කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති යන භාණ්ඩ සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමටය.

මෙම සාකච්ඡාවේදී තේ වගාව සඳහා අවශ්‍ය නයිට්‍රජන් නිස්කාරකය අඩංගු සුදුසු පොහොරක් ආනයනය කිරීමට ද කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළේය.

මෙම තීරණ දැනුම් දෙමින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද සඳහන් කළේ ඉල්ලුම හා සැපයුම මත ඉදිරියේදී භාණ්ඩ මිල තීරණය වන බවයි.

මේ අතර එම සාකච්ඡාවේදී කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුව රුපියල් 200කින්, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 80කින්, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 550කින්, සිමෙන්ති රුපියල් 50කින් සහ තිරිඟු පිටි රුපියල් 10කින් මිල ඉහළ නැංවීමට එහිදි යෝජනාවී තිබුණි.

කෙසේ වෙතත් කිරිපිටි ආනයනකරුවන් හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අතර අද (08) දහවල් පැවති සාකච්ඡාවෙන් පසු කිරිපිටි ආනයනකරුවන් විසින් කිරිපිටි කිලෝවක් රුපියල් 350කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

මේ අනුව එම මිල ගණන් සඳහා රජය එකඟ වුවහොත් කිරිපිටි කිලෝවක් රුපියල් 1,300 ක් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520ක් දක්වා ඉහළ යනු ඇති..

 

Leave A Reply

Your email address will not be published.

4 × three =