බැසිල්ට දෙයි – බැසිල්ගෙන් ගලවයි !

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂට අලුතින් විෂයන් ගණනාවක් පැවරීමටත්, ඔහුට පවරා තිබූ විෂයයන් ගණනාවක් ඉවත් කිරීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ.

ඒ පසුගිය 06දා නිකුත් කළ අංක 2248/35 දරන ගැසට් නිවේදනය මගිනි. මෙරට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී ප්‍රමුඛතා මෙසේ ඉදිරිපත් කරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය. මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ විෂය පථය මෙමගින් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා යටතට පවරා තිබේ. මේ අමාත්‍යංශයේ ඇමැති ධුරය දැරුවේ අජිත් නිවාඩ් කබ්රාල් විසින් වන අතර, ඔහු මහ බැංකු අධිපති ධුරයට පත්කිරීමෙන් පසු අදාළ ඇමැති ධුරයට කිසිවෙකු පත්කෙරුණේ නැත.

මේ අතර අදාළ ගැසට් නිවේදනයේ අංක 5 යටතේ දැක්වෙන්නේ ‘ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන’ ලෙස ය. ඊට ආයතන 07ක් ඇතුළත් ය. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, වනජීවී භාරය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය, අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව, මාශ භෝග හා ධාන්‍යපර්යේෂණ හා නිෂ්පාදන අධිකාරිය, සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටර්ප්‍රයිසස්, දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල එම ආයතන වේ. ඊට අමතරව ඌන ක්‍රියාකාරී ව්‍යවසායයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම (ඉවත් කිරීම) පනත යටතේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතු ආයතන ද මීට ඇතුළත් කර තිබේ. එහෙත් එම ආයතන මොනවාද යන්න ගැසට් නිවේදනයේ නිශ්චිත ව සඳහන් කර නැත.

කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා විසින් තමන්ට අවශ්‍ය ආකාරයට ජනාධිපතිවරයා මගින් මෙසේ ආයතන වෙනස් කිරීම දිගින්-දිගටම සිදුකරන බවත්, ඊට විෂය භාර ඇමැතිවරුන් දැඩි අප්‍රසාදයෙන් සිටින බවත් ය. මීට අමතරව නිල වශයෙන් පවරා නැති ඇතැම් ආයතනවල නිල කටයුතුවලට මුදල් ඇමැතිවරයා අනවසරයෙන් ඇඟිලි ගැසීමත්, අමාත්‍යංශ ලේකම්වරුන්ට විෂය භාර ඇමැතිවරුන්ට නොදන්වා නියෝග දීම සිදුකරන බවත් අදාළ ආරංචි මාර්ග සඳහන් කරන අතර, මේ සම්බන්ධයෙන් ඇමැතිවරුන් කිහිපදෙනෙකු විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී ඇතැයි ද අනාවරණය කරයි.

Leave A Reply

Your email address will not be published.

6 + seven =