විකුණන්න එපා – වෘත්තීය සමිතිවලින් ජනපතිට ලිපියක් !

ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීමට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති කිහිපයක් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා, ජාතික සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා බැංකු සේවක සංගමය මෙම ලිපිය යවා ඇත.

රටේ ආර්ථික මර්මස්ථාන ලෙස සැළකෙන රාජ්‍ය ව්‍යාපාරවලට අයත් වටිනා දේපළ විකුණා දැමීමට ආණ්ඩුව ක්‍රියාකරන  බව මාධ්‍යවලින් වාර්තාවන බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ද එවැන්නක් සිදුවන බව සනාථ කර ඇති බවත් ලිපියේ සදහන් කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක ප‍්‍රමාණයක් කිසිදු  ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඇමෙරිකානු සමාගමකට විකිණීමට ගිවිසුමක් අත්සන් කිරීම සහ එම ගිවිසුම මාර්ගයෙන් අනාගතයේ දී අප රටේ ෆොසිල ඉන්ධන වෙනුවට භාවිතා කිරීමට නියමිත ස්වභාවික දියරගත වායුව (LNG) මෙරටට ගෙන්වීම සහ බෙදා හැරීමේ ඒකාධිකාරී අයිතිය ද එම ඇමෙරිකානු සමාගමට ලබා දීම, වරාය අධිකාරියට අයත් කොළඹ වරායේ අක්කර 13 ක ඉඩම් ප‍්‍රමාණයක් සහ එහි ඇති ගුදම් චීන CICT  සමාගමට විකුණා දැමීම තුලින් දැනට වරායට ලැබෙන ඩොලර් මිලියන 100 ක පමණ වාර්ෂික ආදායම අහිමි විය හැකි බවත් තවද, මෙම ඉඩමේ වටිනාකම ඩොලර් මිලියන 150 ක් පමණ ඉතා අඩු මුදලකට තක්සේරු කිරීම පිලිබඳවද ලිපියේ සඳහන් කර ඇත.

මෙතෙක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් මෙරටට ඉන්ධන ගෙන්වීම සහ පිරිපහදුව වගකීමක් ලෙස පවත්වාගෙන යාමේ කාර්යභාරයෙන් ඉවත්ව වෙනත් තරඟකාරී ආයතනයක් පිහිටුවීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම වෙනුවෙන් නීති කෙටුම්පත් කිරීම. ඒ සමගින් ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය දැනට ඉන්දියාවට ලබා දී ඇති බදු ගිවිසුම ඉදිරියටත් පවත්වා ගෙන යාම සහ මෙම තෙල් ටැංකි සමූහයේ බහුතර සංඛ්‍යාවක් ඉන්දියානු සමාගමේ පාලනයට අයිති වන ලෙස පිඹුරුපත් සකස් කිරීම ආදී ඉහත කී ආයතන වලට සම්බන්ධ වෘත්තීය සමිති රටේ ස්වෛරීභාවයට අනතුරක් මෙන්ම රටේ දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන්ම පටහැනි මේ ක්‍රියාවලියට  විරුද්ධ වන  බව දැනටමත් ප‍්‍රකාශ කර ඇති අතර  ඒ බව ඔවුන් දැනටමත් ආණ්ඩුවට දැනුම් දී ඇති බවද පෙන්වා දි ඇත.

ආණ්ඩුවේ මෙම ජනතා විරෝධී වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන් විරුද්ධත්වය ප‍්‍රකාශ කරන අතර මෙම ආයතන වල පිහිටි වෘත්තීය සමිති ගෙන යන්නාවූ විරෝධතාවයට සහාය දැක්වීමටද තීන්දු කළ බව සඳහන් කර ඇති මෙම ලිපියෙන් වැඩිදුරටත් කියා සිටින්නේ ඇමෙරිකානු සමාගම සමග වත්මන් ආණ්ඩුව අත්සන්කර ඇති ගිවිසුම සහ රටේ පුරවැසියන්ගේ අගතියට බලපාන්නාවූ ඉහතින් සඳහන් කාරණාවලට අදාල සියලූ ලිපි ලේඛන, ශ්‍රි  ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් නොපමාව ප‍්‍රසිද්ධියට පත්කරන මෙන් ලිපියෙන් ඉල්ලා ඇත.

ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාකර විසඳුම් නිර්දේශ ආණ්ඩුවට ඉදිරිපත් කරන මෙන් එම කොමිසන් සභාවට ජනාධිපතිගේ විශේෂ තීන්දුවක් ලෙස වහා දැනුම් දෙන මෙන්ද ඉල්ලා ඇත.

Leave A Reply

Your email address will not be published.

18 + six =