” පැන්ඩෝරා හෙළිදරවු කරුවන් අහනවා තිරුකුමාර් නඩේසන් ලංකාවේ නඩු වලට මොකද වුනේ කියල”

“පැන්ඩෝරා පත්‍ර හෙළිදරව්වේ තියනවා නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් ඩොලර් මිලියන දොළහක සම්බන්ධව ඒවාට ශ්‍රී ලංකා පොලිසියෙන් පරීක්ෂණ කළා ඒවාට මොකද වුනේ කියල ඔවුන් අහල තියනවා. මේ ආණ්ඩුව දිනලා මේවගේ දුෂිතයන්ට එරෙහිව තිබුන නඩු ඔක්කොම අයින්කරගත්ත උසාවිය සහ නීතිපති මැදිහත් කරගෙන එක නදුවකින්වත් නිදොස්කොට නිදහස් කලේ නෑ ”

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පසුගිය (06) දා පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ බිමල් රත්නායක

“මේ වනවිට ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ප්‍රසිද්ධ ක්‍රියාකාරිකයන්ගේ ඥාතීන්ගේ ගෙවල්වලට පවා සී.අයි.ඩී කණ්ඩායම් යවමින් තිබෙනවා. ඒ වගේම අභූත චෝදනා එල්ල කරමින් තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නියෝජිතයන් ගණනාවක් දින 60කට වැඩි කාලයක් සිරකොට තබාගෙන ඉන්නවා. ඔවුන්ට සිරගතව සිටියදී කොවිඩ් පවා වැළඳී තිබෙනවා. පොදු දේපොළ පනත යටතේ ඔවුන් සිරකරගෙන සිටියත් නිරූපමා රාජපක්‍ෂට විරුද්ධව ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අපි ප්‍රශ්න කරනවා. නිරූපමා රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස වත්කම් බැරකම් ප්‍රකාශයේදී ඇයගේ සමාගම් පිළිබඳව හෙළි කළාද කියලා පැන්ඩෝරා කණ්ඩායම ප්‍රශ්න කරනවා. ඒ වගේම ඇමතිවරියක්ව සිටියදී නිරූපමා රාජපක්‍ෂ අධ්‍යක්‍ෂ ධුරය දැරූ සමාගම්වලින් රජයේ කොන්ත්‍රාත් ලබාගැනීම පිළිබඳව වාර්තා කළාද කියලා ප්‍රශ්න කර තිබෙනවා. ගොඩක් මැති ඇමතිවරු හොරෙන් බිස්නස් කරන බව අපි දන්නවා. රුපියල් කෝටි 3500කට ආසන්න ප්‍රකාශ නොකළ වත්කම් උපයා ගත්තේ කොහෙන්ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ගය අපි ප්‍රශ්න කරනවා. මේ රටේ මහජන ධනය මංකොල්ලකෑම, විනය විරෝධීව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විරුද්ධව කිසිදු නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

පසුගිය දිනවල සම්මත කළ කළු සල්ලි සුදු කිරීමේ පනත සම්බන්ධයෙන් අපිට බරපතළ සැකයක් මතුවෙනවා. පැන්ඩෝරා පත්‍රිකා ගැන හෙළිකළේ තුන්වැනිදා වුණාට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ලොකු ක්‍රියාදාමයක්. මීට සම්බන්ධ පුද්ගලයින්ගෙන් දැනට මාස දෙක-තුනකට පෙර වංචා-දූෂණ පිළිබඳව ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කර තිබුණා. ඒ නිසා ළඟදීම මේ තොරතුරු හෙළිදරව් කරන බව අදාළ පුද්ගලයින් දැනගෙන හිටියා. ඊට පෙර කළුසල්ලි සුදු කිරීමේ පනත සම්මත කර ගත්තාදැයි සාධාරණ සැකයක් අපිට තිබෙනවා. මේ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජාතික සම්පත් රැකගන්න කටයුතු කරන පිරිස්, තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් රැකගන්න අරගලය කරන පිරිස් සම්බන්ධයෙන් ජනතාව වඩාත් අවදියෙන් සිටිය යුතු බවයි. මේ පිරිස් සමග එක්වී ජාතික සම්පත් රැක ගනිමින් මහජන අයිතීන් රැකගන්න එක්වන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

“නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියා සම්බන්ධයෙන් ඩොලර් මිලියන 12ක වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය සිදු කළ පරීක්‍ෂණවලට මොකද වුණේ කියලා පැන්ඩෝරා විසින් ප්‍රශ්න කර තිබෙනවා. ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව ආණ්ඩුව බලයට පත්වී අවුරුද්දකට මඳක් වැඩි කාලයක් ගතවී තිබෙන්නේ. මෙම කාලය තුළ වංච-දූෂණ චෝදනා එල්ලවී තිබුණු සියලුම දෙනා සම්බන්ධයෙන් විභාග වෙමින් පැවති නඩු ඉල්ලා අස්කර ගත්තා. ඔවුන් අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වුණේ නැහැ. නීතිපතිවරයා මැදිහත්වී ඉල්ලා අස්කර ගැනීම් තිබෙන්නේ. ජනාධිපතිතුමාත් එහෙමයි. රුවන්වැලි සෑය අභියස දිවුරුම් දීමෙන් පසුව එතුමාගේ නීතිඥයා හැටියට ක්‍රිය කළ අලි සබ්රි මැතිතුමා – එතකොට ඔහු පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ.- ගෝඨාභය රාජපක්‍ෂගේ රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ අධිකරණයේ පැවති චෝදනා ඉවත්කර ගත්තා. එහෙම කෙනෙක් පැන්ඩෝරා හෙළිකිරීම් ගැන අල්ලස් කොමිසමේ විමර්ශනවලට යොමු කරයිද? ඒ වගේම අලි පැටවුන්ගේ සිද්ධිය ගත්තත් ඒ බව පැහැදිලි වෙනවා. අලි 14දෙනෙක් නිදහස් කරන අතර එන්.ජී. රාජපක්‍ෂගේ අලියෙකුත් සම්බන්ධ කරගෙන නිදහස් කර තිබෙනවා. මේ අය වංචා-දූෂණ ගැන පරීක්‍ෂණ පවත්වයිද?”

Leave A Reply

Your email address will not be published.

twenty + ten =