ඕමානය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක් – පස්වැනි කඩුල්ලට (111) ශ්‍රී ලංකා වාර්තාවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවක ඕමාන කණ්ඩායම අතර ආරම්භ වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 19කින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය ගත්තේය.

කාසියේ වාසිය දිනු ඕමාන කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 51 කදී බිඳ වැටී ඉතා අසීරු තත්වයක සිටි අතර ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල්ට සහ කමිදු මෙන්ඩිස්ට ලකුණු රැස් කිරීමට හැකි නොහැකි විය.

අනතුරුව ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමග නායක දසුන් ශානක එක්ව පස්වැනි කඩුල්ලේ නොබිඳුණු සබදතාව ලකුණු 111ක් දක්වා ඉදිරියට ගෙන ආවේය.

එය පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයකදී පස්වැනි කඩුල්ලට ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයි.

මෙහිදී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 59කින් නොදැවී ලකුණු 83 ක් රැස් කළ අතර නායක දසුන් ශානක පන්දු 24කින් නොදැවී ලකුණු 51ක් රැස් කළේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 162ක් රැස් කළේය.

මේ අතර ලකුණු 163ක ඉලක්කයකින් පිටියට පිවිසි සත්කාරක ඕමාන කණ්ඩායමේ මුල් පෙල කඩුලු 2 ලකුණු 10කදී බිඳ වැටුණි.

ඒ අනුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 143 ක් පමණි.
පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 30ට කඩුලු 4 ක් ලබාගත් අතර චාමික කරුණාරත්න කඩුලු 3ක් දවා ගත්තේය.

දෙරට අතර දෙවන සහ අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය ලබන 09වැනිදා පැවැත්වීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.

nineteen − 7 =