“මම කැමතියි අවුරුදු දෙකක් විතර නිදහසේ ලියන වැඩේ කරන්න,” මම මගේ බිරිඳට පැහැදිලි කළෙමි

හරුකි මුරකමි (haruki murakami) විසින් රචිත ප්‍රබන්ධ නොවන කෘතියක් වන What I talk about when I talked about running කෘතියෙන් උපුටාගත් කොටසකි.

සියල්ලන්ගේම විරෝධතාවය නොසලකා, තරමක් ලැජ්ජාවෙන් යුතුව මගේ ව්‍යාපාරය විකුණා දමා ලේඛකයෙකු ලෙස මගේ සලකුණ භාවිත කරමින් ලිවීමෙන් ජීවිතය ගෙනයාමට මම තීරණය කළෙමි. “මම කැමතියි අවුරුදු දෙකක් විතර නිදහසේ ලියන වැඩේ කරන්න,” මම මගේ බිරිඳට පැහැදිලි කළෙමි.
“ඒක හරි ගියේ නැත්නම් අපිට ආයෙත් කොහේ හරි බාර් එකක් පටන් අරගෙන ජීවත් වෙන්න පුළුවන්. මම තාමත් තරුණයි. ඒ නිසා අපිට මුල ඉඳලා පටන් ගන්න පුළුවන්. ”
“හොඳයි,” ඇය පැවසුවාය. එවකට වර්ෂ 1981 වූ අතර අපට ගෙවීම සඳහා සැලකිය යුතු ණය මුදලක් පැවතිය ද, මට හැකි උපරිමය කර සිදුවන්නේ කුමක්දැයි බැලිය යුතු බව මම වටහා ගතිමි.

මම මගේ නවතම නවකතාව ලිවීම සඳහා සියල්ල සූදානම් කොටගෙන ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු වෙනුවෙන් සතියකට හොකයිඩෝ බලා ගියෙමි. එම වසරේම එළඹුන අප්‍රේල් මාසයේදී මම A wild sheep chase ලියාඅවසන් කළෙමි. එය මියෙම්වා හෝ රැකෙම්වා වැනි තත්වයක් බව මම හොඳින්ම වටහා ගෙන සිටියෙමි. ඉතින් මම එයට මා තුළ වූ සියල්ලම එකතු කළෙමි. මෙම නවකතාව මගේ පෙර නවකතා ද්විත්වයට වඩා දිගින්, විෂය පථයෙන් වැඩි වූ අතර වැඩිවශයෙන් කතාන්දරයට ඉඩ ලබාදුන් එකක් විය.

නවකතාව ලියා අවසන් කළ විට මා මගේම වූ ලේඛන ශෛලියක් නිර්මාණය කල බවට වූ හැඟුමකින් මගේ හදවත පිරී ගියේය. මගේ මුළුමහත් ශරීරය පුරාම විදුලියක් ගමන් කළා වැනි විය. කාලය ගැන වද නොවී මගේ මේසය මත වාඩිවී ලිවීමට අවධානය යොමුකිරීම කෙතරම් අපූර්ව සහ අසීරු දෙයක් ද යන්න පිළිබඳව මම සිතීමි. දැන් මට මා නවකතා ලියා ජීවත්වන පුද්ගලයෙකු ලෙස රූපයක් මවාගත හැකි විය. එබැවින් අවසානයේදී කොහේ හෝ ඈත පළාතක කුඩා බාර් එකක් විවෘත කිරීමට පසුබා යෑමේ අදහස කිසි දිනෙක ක්‍රියාත්මක නොවීය.

ප්‍රධාන ධාරාවේ යමක් දෙස වඩාත් ඇසගසාගෙන සිටි ගුන්සෝ හී සංස්කාරකවරු A wild sheep chase කෘතියට කිසිසේත්ම කැමති නොවූහ. නවකතාව සම්බන්ධ යෙන් ඔවුන් සිටියේ කෙතරම් අවිශ්වාසවන්ත තත්වයකදැයි මට මතකය. පෙනෙන හැටියට නවකතාව පිළිබඳ මගේ න්‍යාය ( දැන් කුමක්දැයි කල්පනා කරමින්) එවකට සම්ප්‍රදායෙන් පිට එකකි. කෙසේ වුවද, පාඨකයන් මෙම අලුත් නවකතාවට ඇළුම් කරන්නට පටන්ගත් බැවින් එය මා සතුටට පත් කළේය. නවකතාකරුවෙකු ලෙස මට මෙය සැබෑ ආරම්භය වූයේය. බාර් එක පවත්වාගෙන යමින්ම මම Hear the wind sing සහ Pinball වැනි රාමුගත නවකතා දිගටම ලියුවේ නම් මම ඉක්මනින්ම අවසානයට ළඟාවන්නට හැකිව තිබූ බව මම සිතමි.

– රශ්මික මණ්ඩාවල

 

Leave A Reply

Your email address will not be published.

four × 3 =