“අපේ ජීවිත වල සිද්ද වෙන සමහර අහම්බ කියන ඒවා නම් පුදුමාකාරයි..”

මට සිනමාව ඉගෙන ගන්න ශිෂ්‍යත්වය ලැබෙනකොට ඉගෙන ගන්න කැමති විශ්වවිද්‍යාලය විදිහට මං තෝරගත්තේ එංගලන්තේ බටහිර පැත්තට වෙන්න තියෙන බෝර්න්මවුත් කියන විශ්වවිද්‍යාලය. ඉතින් නවතින්න තැනකුත් එපැයි. විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයින්ට තියෙන නවාතැනක හිටියාම ස්වදේශිකයකෙුගේ අත්දැකීම හොඳට විඳින්න බැරි වෙන හින්දා එහේ ප්‍රසිද්ද වෙබ් සියිට් එකකින් පෞද්ගලික නිවාසයක කාමරයක් වෙන් කර ගත්තා.

දැන් මං මෙහෙට ඇවිත් සතියක් විතර වෙනවා.. බෝර්න්මවුත් ආවේ මහ රෑ දෙකටත් කිට්ටු වෙලා නිසා වටේ පිටේ කිසිම දෙයක් ගැන අදහසක් මට තිබුනේ නෑ.. අනික මං මෙහේ එනකොට ලංකාව කොරෝනා වර්ගීකරණයට අනුව ඇම්බර් රටක් වුන නිසා දවස් දහයක් මගේ කාමරේ ඇතුලේ ස්වයං හුදෙකලාවක තමයි මං මේ ඉන්නේ.. එලියේ ලෝකට තියන එකම සම්බන්දතාවය කාමරේ ජනේලේ නිසා ඇඳයි ජනේලෙයි අතර තමයි මේ ටිකේ මගේ ජීවිතේ ගෙවෙන්නේ..

ඔන්න ඉතිං මං කීප සැරයක් ජනේලේ ලඟදි දැක්කා පාරේ ඉඳලා විවිද වෙලාවල එක එක තරාතිරම් වල මිනිස්සු මගේ කාමරේ දිහා හරිම උනන්දුවකින් බලාගෙන ඉන්නවා. සමහරු හරිම කුතුහලයකින්, සමහරු විශ්මයකින් ආදී විදිහට මේ බලා ඉඳිල්ල මට කොහෙත්ම හිතාගන්න බැරි වුනා. ඇයි හත් දෙයියනේ එයාලා ලංකාවේ ගෑණු මීට කලින් දැකලා නැති නිසා වෙන්න බෑනේ.. අනිත් අතට මේ වෙලාවේ ලංකාව ලෝක ප්‍රසිද්ද වෙලා තියන්නේ හොරකං වලට නිසා මාත් රට කාපු හෙරක්ද කියලාවත් බලනවාද දන්නෑනේ..

ඉතින් දරාගෙන ඉන්න බැරිම තැන මේ මිනිස්සු මම ඉන්න කාමරේ පැත්ත එච්චර උනන්දුවෙන් බලන හතරබීරි බැලිල්ල මොකද කියලා බලන්න ගියා එලියට..
බැලින්නම් කිලෝමීටර් දහස් ගාණක් ගෙවාගෙන මං ඇවිල්ලා නතර වෙලා තියෙන්නේ Flora Thompson (1876-1947) කියන ශ්‍රේෂ්ඨ සාහිත්‍යකාරිය සහ චින්තිකාව හිටපු ගෙදරක කාමරයකටයි.. මම 2021 ආපු බෝර්න්මවුත් ගෙදරට ඇය ඇගේ සැමියා සහ දරු මල්ලෝ එක්ක ඇවිත් තියෙන්නේ 1903 දීයි. ඇගේ රචනාවන් අතර ප්‍රසිද්දම කෘති වෙන්නේ Lark Rise to Candleford කියන තුන් ඈදුතු අර්ධ චරිතාපදානයි.

‌බෝර්න්මවුත් ගෙදරදි එයා ලියවිලි කීපයක් යවලා තියෙනවා දැනට ලෝකේ තියන ලොකුම විශ්වවිද්‍යාල මුද්‍රණාලය වෙන Oxford University Press එකට. ඔන්න ඉතින් එයාලා තොම්ප්සන්ගේ ලියවිලි වල තියෙන උසස් සාහිත්‍ය ගුණය නිසා ඒවා පිළිඅරගෙන Lark Rise (1939), Over to Candleford (1941), and Candleford Green (1943) කියලා වෙන වෙනම වෙළුම් තුනකින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. පස්සේ 1945 දී ඒ පොත් තුන තුන් ඈදුතු කෘතීන් විදිහට ආපහු ප්‍රකාශයට පත් කරලා තියෙනවා Lark Rise to Candleford කියන නම යටතේ. මේ කීතීන් ත්‍රිත්වය 1880 ගණන් වල ගම්මානයක, ගමේ සහ ගමේ තියෙන කුඩා නාගරික පුදේශයක ජීවිතය විස්තර කරපු ඇගේම තරුණ කාලය ගැන ප‍්‍රබන්ධ කරපු කතාවක්.

සමහර ඉතිහාසඥයෝ ඇගේ පොත්වල එන සමහර කාරනා වල ඇත්ත නැත්ත ගැන එක එක දේවල් ප්‍රකාශ කළත් තොම්සන්ගේ කෘති ත්‍රිත්වය ඒ යුගයේ සමාජ ඉතිහාසය ගැන මූලික මූලාශ්‍රයක් ලෙස විදිහට තාමත් පාවිච්ච වෙනවා. තොම්සන්ගේ රචනා සැලකෙන්නේ ඉංග්‍රිසි සාහිත්‍යය ගැන ආකර්ෂණීය දැනුමක් සහ බුද්ධිමක් ලබාදෙනවා වුනත් සාහිත්‍ය ගැන දැණූම අඩු පාඨකයෙකුට වුනත් පහසුවෙන් රස විදින්න පුලුවන් ගද්‍ය ලිවීම් විදිහටයි. ඇගේ ලිවීම් වල තියෙන කලාත්මක බව ගැන වගේම සොබාදහම ගැන එයාගේ විස්තර විශේෂයෙන් කාව්‍යාත්මකයි කියලයි විචාරකයෝ කියන්නේ.

1990 දී තොම්ප්සන් ගැන The Story of the Lark Rise Writer කියලා චරිතාපදානයක් කරන Gillian Lindsay කියන්නේ සිවිල් සේවා විභාගයකට වාඩි වෙන් ප්‍රාථමික අධ්‍යාපනය ප්‍රමාණවත් නොවූ මේ දැරිය, සම්භාව්‍ය පොතක්, කල්පවත්නා සාහිත්‍ය කෘතියක් ලියලා තියෙනවා කියලයි. තොම්සන්ව එතරම් ශ්‍රේෂ්ඨ රචිකාවියක් කළේ සාහිත්‍ය ගැන ඇයට තිබුන පැෂන් එක සහ සංයමය නිසයි කියලායි 1986 දී ඇය ගැන ලියන Julian Shuckburgh කියන්නේ.
මේ පිංතූරේ තියෙන්නේ ඇය සිහිවෙන්න ගෙදර ඉස්සරහා ගහලා තියෙන සටහන. ඒකට උඩින් තියෙන්නේ මගේ කාමරේ ජනේලේ..
මීට පස්සේ මිනිස්සු මේ පැත්ත බලනකොට ජනේලේ ලඟ ආඩම්බරකමට ඉන්න ඕන.

– ලංකා බණ්ඩාරනායක (fb)

 

 

 

 

 

 

 

 

 

(අන්තර්ජාලයෙන් ගන්නා ලද ඡායාරුප)

Leave A Reply

Your email address will not be published.

five × 4 =