ගෙත්තම්පාණෙහි නිමේෂයක්

වසර හතළිස් දෙකක කවි සැරියකින් පසුව ඔහු ගෙත්තම්පාණට අවතීර්ණව සිටී. ඒ සැරිය පුරා ඔහු සිය පැසෙහි එකතු කරගෙන රසික කැළට බෙදා දුන් කවි ගෙත්තම් ගොනු දහයකි, පරිවර්තන කවි ගෙත්තම් ගොනු එකකි, ගී ගෙත්තම් ගොනු නවයකි, වෙනත් ගෙත්තම් ගොනු අටකි, රම් බාගයකි. මේ දශක හතරක් සහ තවත් දෙකක් වූ කාල වකවානුව පුරා ඔහු ලැබූ සම්මාන බොහෝය, අතැම් අවමන්ද ඒ අතරය. කලෙක කවි මගෙන් මදක් වෙන්ව ගීතයෙහි සැරූ ඔහු යළි කවිය සොයා ආවේ කුක්කුර වත වැනි ස්වයං විවේචනාත්මක කවියකින්ද තමන්ගේ දඩයම් දත තවම හැලී නැති බව මතක් කරදුන්නේය. බොහෝ මං පෙත්හී සැරූ ඔහු වරෙක නොතරම් මගෙකටද පා තැබීය. ඒ සමගම තමන්ට ආදරය කළ රසිකයන්ගේ වදන් කස පහරට හිස නමා යලි සිය මගට පිලිපන්නේය.

අංකුර කවියන්ගේ නිර්මාණ කෙරේ නිතරම අවදිවූ මනසින් පසුවූ හෙතෙම අංකුර කවීන්ගේ අං සහ කුර මෝරන්නට ඇති ඉඩ කපා හැර අංකුර බවින් පරිණතබවට එළඹෙන්නට දායාබර මගපෙන්වන්නෙක්ද වීය. නිතරම නවකයන්ගේ අපූර්ව නිර්මාණ මතකයෙන් කියන්නට අමතක නොකළ ඔහු නිර්මාණකරුවෙකු වෙත විවේචනශීලී විය යුතු තැන එහි නොපැකිල සිය වගකීම ඉටු කළේය. කල යුතු දේ බොහෝ කළද කරන්නට හැකි සියල්ලම නොකළ ඔහු විටෙක කෙසේවත් නොකළ යුතු දේ ද කළේය. ඒ ගැන එල්ල වන විවේචනයන්ට හිස නමා බාරගෙන මදහසින් පසූවූවේය. විතකට දෙකකට පසුව තමන් තුළ වන සුන්දර මිනිසා තවත් තීව්ර කරනා ඔහු තවත් විත් කිහිපයකදී ඉසියුම් උපහාසයත්, කියුමෙහි සමත්කමත් උච්චස්ථානයට ගෙන යන්නේ ඉනුත් පසු රළු ස්වරයකට මාරු වන්නේය. ඔහු තුළ පරිණත කවියෙකි, අහිංසක රසවතෙකි, දැනුම් සයුරකි, තම දැනුමෙහි පිහිට පතා එන කවරකු හට වුව නොපැකිල සිය දැනුම බෙදා දෙන්නෙකි, බදා ගන්නෙකි, හපා නොකන්නෙකි, රල නගන නිහඬ සමුදුරකි. ලේන් බාන් වීදිය හැර ගියද, තවමත් ලේන් බාන් වීදියේ කවි ප්‍රදීපාගාරය ඔහුය. රත්න ශ්‍රී , ගෙත්තම්පාණෙන් මළුවට නගින්නට තවමත් සවිය ඇති කවියා ඔහුය. අප තවමත් ඔහුට ගරු කරන්නේ මේ සවිය අපතේ නොහැරිය යුතුය යන දයාබර තරවටුවද සමගිනි.

ඔහුගේ ගෙත්තම්පාණෙහි කවි ගෙත්තම් 57කි. ‘මේ මොහොත’ නම් කවියෙන් අරඹන ඔහු සිය ගෙත්තම්පාණෙන් සමුගන්නේ ස්තුතියි කියමිනි. ඒ කවිය ජීවිතය වෙත හැරී බැලීමකි, තම සහෘදයන් වෙත මල් පියල්ලකි, ඒ සියල්ලටමත් වඩා අනාගතය දෙස හෙලනා අපේක්ෂා සහගත බැල්මකි.

සන්ධි පාදික සතුන් සේරම
එකට එක්වී යා යුතුයි
රොද බැඳන් සිරිපා වඳින්නට
පෙළට ඉගිළෙන සමනලුන්හට
එකතු වන්නට
කැරපොත්තන්ද ලෑස්තියි
එහෙම දවසක් එයි
ඔබට නැවතත් ස්තුතියි

බස්නාහිර පලාතේ පමණක් වැඩිහිටි නිවාස එකසිය පණහක් පමණ තිබේ. මේ වැඩිහිටි නිවාස යනු පිටස්තර සමාජයට තමන්ද පින් කරන්නට කැමති බව පෙන්වන්නට, හිත සනසා ගන්නට දානයක් දීමට ඇති තැනක් පමණි. බෞද්ධකම ගැන කෙතරම් පංපෝරි ගැසූවද අපේ වැඩිහිටියන් පමණක් නොව සමස්ත සමාජයම අනාරක්ෂිතය. විශේෂයෙන් ගෙදර සිටියද වැඩිහිටි නිවෙසක සිටියද වත්මන් වැඩිහිටියන්ගේ ජීවිතය එක්තරා ආකාරයක ඛේදයකි. අතිශය තරගකාරී ලොවක බොහෝ පවුල්වල වියපත් පියා සහ මව සිටිනුයේ දරුවන් දෙදෙනකු ගේ නිවෙසෙහිය. එදා තම මුණුපුරු මිණිපිරියන් බලාගැනීමටය. අනෙක් අතින් විශාල මුදලක් ගෙවිය හැකි අයට ඇරුණ සීමිත වැඩිහිටි නිවාස සංඛ්යා වක් හැරුණවිට අප රටේ වැඩිහිටි නිවාස යනු වෙනම අධ්‍යයනය කළ යුතු තැනකි.
අප කවියා 38 වැනි කවියෙන් සිය නෙත හෙලන්නේ මේ වැඩිහිටි නිවාසගත ජීවින්ගේ චිත්ත ලෝකයටය. අතීතය පමණක් ඉතිරි මරණය එනතෙක් ඔහේ බලා ඉන්නට ඉඩහැර ඇති මේ මිනිසුන්ගේ ලෝකය අප බොහෝ දෙනකුට අදාල නැත. හරියට කෝවිඩ් හැදිල මැරෙන වැඩි පිරිස 60ට වැඩි අයනෙ කියා අප හිත හදා ලන්නාක් මෙනි. කවියා මේ මිනිසුන්ගේ වේදනාව වදනට නගන්නේ මෙලෙසිනි.

ඒ උනත් හිරුදෙව්
නිකමට ඇවිත් යනවද
චක්රා වාටයෙන් බැස
අපේ වැඩිහිටි නිවාසෙට

රත්න ශ්‍රී ගේ සමාජ කියවීම තවමත් මුවහත් බව වටහා ගන්නට හැකි කවි ගණනාවක් මෙහි එයි. සත්‍යාවබෝධය එවන් එක් කවියකි. මුරපොලට ආ දැරිය නමින් ඇති කවියද තවත් අවධානය ඉල්ලන කවියකි. මිලිටරිකරණය යනු ගැලවීමේ මාර්ගයය යනුවෙන් නිතිපතා උගන්වනු ලබන ලෝකයක මුරපොලට ආ දැරිය සෙබල හදවත පිරික්සන්නට ඉල්ලා සිටින්නීය. ඇය සොයන්නී මේ නිල ඇඳුම තුළ සිරකළ ගතෙහි තවමත් මිනිස් ලකුණු ඉතිරිව ඇතිදැයි කියාය.

ගෙත්තම්පාණෙහි ඇති අපූර්වතම කවියක් වන්නේ සෙල්ලම් වලසා නම් නිර්මාණයයි. අපහරණයට ලක්වූ දැරියකගේ මුවින් කවියා අපවෙත ගෙන එන සිදුවීම වර්තමානයේ සුලබ එහෙත් බොහෝ කොට සැඟව පවත්නා ඛේදයකි. සෙල්ලම් වලසා රූපකය සේ ගෙන මෙහිදී ඔහු නිමවන ගෙත්තම පොහොසත් ව්‍යන්ගාර්ථය සහිත කවියකි.

මිනී මලක සාක්ෂිය කවියද අපට මදක් නැවතී නෙත යොමන්නට බල කරන්නකි. අපට බෙහෙවින් සුලබ දිවි නසාගැනීමේ සිදුවීමක් පාදක කරගත්තද කවියා සිය නිර්මාණයේදී සාර්ථක වන්නේ එය ඉදිරිපත් කරන ආකාරයෙනි. යමක් කවියට නගන්නට ආකාරයක් දෙකක් නොව සිය ගණනක් වුව තිබිය හැකි යයි කවියා මේ කවිය හරහා අපට සිහි ගන්වයි. මෙහි කථකයා වනුයේ අජීවී මිනී මලකි. ඔහු එයට පණ පිහිටුවයි.

මගේ නම
වින්කා රෝසියා
ගෙදරට කියන්නේ මිනී මල්

එසේ අරඹන කවිය අවසන් වනුයේ මිනී මලෙහිම වදනිනි.

ගොරබිරම් දුම්රිය යට
යකඩ පීලි අතර
ආදරය රැකගෙන ඉන්න මට
ජීවිතය තවත් මොනවද

දුරස්ත මරණය නම් කවිය අයත්වනුයේ කෝවිඩ් ඉතිහාසය නමින් ලියවෙන පරිච්ඡේදයටය. තව දුරටත් ජීවිතය යනු කවරාකාරයෙන් අරුත්ගන්වා ගත යුතුද යන්න තීරණය කළ යුත්තේ මිනිසාම පමණි. මරණය කෙසේ අවසන් කළ යුතුද යන්නට නීති සම්පාදනය වී හමාරය. ටයර් සෑ යුගයෙන් පසුව අද වන විට කිසිවකුට මුහුණ නොපෙන්වා ආදාහනාගාරයට යාමට අපට සිදුවිය හැකි මොහොත අවිනිශ්චිතය.

දුරස්තය දුක් සුසුම් වැලපුම්
දුරස්තය පැන් වැඩුම් සැමරුම්
කැමැත්තක් වූයේද අවසන්
ඉතින් හැම දේම අවසන්

කවියාගේ කවි අතරින් වැඩි හරියක දැනෙනා එක් මනෝභාවයක් දැකිය හැකිය. ඒ ශෝකී බවයි. බොහෝ කවි තුළ ගැබ්ව ඇති ශෝකී තානයකි. අහිමිවීම, අහිමි කිරීම, අතීතකාමය, ආදී විවිධ තත්වයන් යටතේ ගෙවෙන මිනිස් ජීවිතවල සංකාසහගත බව සමහර කවිවල සියුම් ලෙස නිරූපිතය. එසේම කිසියම් විඩාවක, හෙම්බත් බවක ඡායාවක්ද ඒ කවි තුළ ගැබ්ව පවතියි. ඒ සියල්ල අතරේ කලියුගයේ සාධු චර්යාව නම් කවිය නූතන පුරවැස්සා පුරවස්සා බවට පත්ව ඇති ආකාරය පිලිබඳව කෙරෙනා පශ්චාත් මරණ පරීක්ෂණයක් වැනිය. එය ආත්මය අහිමි කරගත ඇවිදින සැකිළි ගැන මනා විවරණයකි.

ඉදින් මේ කවි කියවන අතරේ අප කවියාට කිවයුතු දෙයක්ද තිබෙයි. ඒ ඔබ තවමත් ගීතයෙන් කවිය වෙත කළ පුනරාගමනයෙහි උපරිමය පෙන්වා නැති බවයි. එසේ තම පූර්ණ ධාරිතාවෙන් වැඩ නොකර සිටින්නට, උකටලී වන්නට, වියපත් යයි සිතන්නට ඔබට කිසිදු අයිතියක් නැත. ඒ ලෝකය විනිවිදින ඔබේ දෙනෙත තවමත් හොඳින් වැඩ කරනා බව අප දන්නා හෙයිනි. එහෙයින් ඔබට මේ ඉසිඹුවෙහි පසුවන්නට ඉඩහැර බලා සිටින්නට අපේ සූදානමක් නැත. අපේ කැමැත්ත ඔබට වද දෙන්නටය, රිදවන්නටය, කොනිත්තන්නටය, දොස් පවරන්නටය. එහෙත් ඒ කිසිවක් ඔබ කෙරේ අනාදරයකින් නොවේ. පෙර මෙන්ම අදත් ඔබ කෙරේ අප තුළ වන දැඩි අදරය නිසාමය. බිම්බරක් සෙනග ලියූ පන්හිඳ දරන්නා හාන්සි පුටුවක හිඳ සිටින ආකාරය දැක බලා සතුටුවන්නට අප තුන් හිතකවත් නැති නිසාමය.

– චුලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.

sixteen − 5 =