අපි දන්නවා ඔය සටන දිනුවත් පැරදුනත් දරුවන් වෙනුවෙන් හිත්වල තියන ආදරය අංශු මාත්‍රයක් වත් අඩු වෙන්නේ නෑ

අද ගුරු දිනය. ලෝක ගුරු දිනයත් එක්කම අද මගේ උපන්දිනය. ඉස්සර හය හත පන්ති වල පන්ති කාම⁣රයේ ටොෆියක් වගේ පුංචි දෙයක් මිතුරු මිතුරියන් එක්ක උපන්දිනය සමරන සිරිතක් තිබ්බා. හැබැයි මම අනිත් අයගෙ ඉටොෆි චොක්ලට් කෑවට පුංචි පාටියක් දෙන්න ගියේ නැහැ. එහෙම වියදම් කරන්න අමතර මුදලක් තිබ්බෙත් නැහැ. ඒ කාලේ අපේ පන්ති භාර ටීච ඔක්තෝබර් හය වෙනිදට අපිට අනිවාර්යයෙන්ම ටොෆියක් හරි රුපියල් පහේ පුන්චි චොක්ලට් එකක් හරි දෙනවා. ඒ ගුරු දිනය වෙනුවෙන් . ටීච ඒක බෙදන්න දෙන්නේ මට ඒ ගමන් කියනවා අනෙත් අයට කියන්න කියල අද මගේ බ්ර්ත් ඩේ එක කියලත්. මම මොකුත් නොකියා ඕක බෙදනවා. හැමෝගෙන්ම හැපී බර්ත් ඩේ කියලත් අහගන්නවා. ඇය හිනාවෙවී බලන් ඉන්නවා. ඒ හිනාවම මුහුණේ තියාගෙන ඇය අද නාරම්මල නගරයේ පිස්ටල් බෝඩ් එකක් අල්ලගෙන ගුරු පරම්පරාවකම අයිතීන් ඉල්ලගෙන සෘජුව ඉන්නවා . ඇය දිහාම බලන් ඉන්නකොට මම දැක්කෙ තවත් අපිට ජීවිතය උගන්නපු ගුරුවරයෙක්. ඕ ලෙවල් කාලේ විෂය එක්කම ජීවිතය උගන්නපු ගුරුවරයා කවුද කියල අහුවොත් මයුරපාදෙට ගිය ඒ යුගයේ හැම ශිෂ්‍යයෙක්ම එකම නමයි කියන්නේ. මම ඒ කාලේ දැකපු පුදුම විදියට අප්ඩේට් වෙච්ච ගුරුවරයෙක්.

ඒ කාලේ සර්ල ඇන්දේ එකම විදියට සාමාන්‍ය ඇදුම්. මම හිතන් හිටියේ ටීචර්ස්ලා හරි කුනුයි කියල. හැබැයි මට මතකයි ඔය සර් නිතර නිතර පුස්තකාලෙදි දකිනවා. නිතර විෂයට අයත් නොවන පොතක් දෙකක් අතේ තියනවා. හිතන්න ඉන්ටර්නෙට් කියන්නේ නොදන්න වචනයක් වෙච්ච යුගයක ලෝකය ගැන දැනගන්න මොනතරම් නම් කියවන්න ඇද්ද ඒකට කොච්චරක් නම් සල්ලි යට කරන්න ඇද්ද කියා. හැබැයි ඒ සර් අප්ඩේට් වුනේ එයා වෙනුවෙන් විතරක් නෙමෙයි. සමස්ත ශිෂ්‍ය පරම්පරාව වෙනුවෙන්. ගුරු භූමිකාවේ නිවැරදි කාර්ය ඉටු කරන්න හොද ගුරුවරු තමන් ගන්න වැටුපෙන් සෑහෙන ප්‍රමාණයක් යොදවනවා. මම දැන් හිතනවා ගුරුවරු තමයි නිර්ලෝභීම මිනිස්සු කියා. එයාල කුනු වුනේ අපි වෙනුවෙන්ම තමයි කියල. මොකද ගුරුවරු කියන්නෙත් ජීවිත කාලෙම වාරික ගෙවන පිරිසක්.

මම මගේ ගුරුවරයෙක් මුණ ගැහෙන්න බලන්න යනකොට පොතක් අරන් යන එක දැන් සිරිිතක් කර ගෙන තියනවා. දිසාපාමොක්ල ගුරු දෙවිවරු කිය කියා වචන නාස්ති නොකරන්න. දැනගන්න ඒක අට පහ ජොබ් එකක් නෙ⁣මෙයි කියා. ජීවිතකාලයක් එකතු කර ගත් දැනුම දියුණු කර ගනිමින් පැල කරන රස්සාවක් කියලා.

මේ කෙටි සටහන ලියන්න හිතුණේ අද ගුරු දිනය නිසා. හැබැයි ඒ ගුරු දිනය මේ වගේ රටක සමරන්න ඕනිද කියලත් හිතෙනවා. සමාජ මාධ්‍ය වල මේ දිනවල ගුරුවරුන්ව හදුන්වන පහත් හදුන්වාදීම් දැක්කහම, සමස්ත ගුරුවරුනි ඔබ ඉ⁣ගෙන්වූ දේ ගැනත් මට සැකයක් හා ප්‍රශ්නයක් තියෙනවා. ඔය දේශපාලන කරලියේ ඉන්නෙත් ඒ අයව තෝරා ගත්තෙත් ඔබෙන් ඉගෙන ගත් දරුවන්මයි. කොහොමටත් ලාංකීය දේශපාලන ජාවාරමේ අවශ්‍යතාව සුබුද්ධිමත් ප්‍රගතිශීලී ආකල්පමය දරුවෙක් නෙමෙයි. දියවන්නාවේ බහුතරයක් දෙනාට තමන්ගේ රස්සා ආරක්ෂා කර ගන්න නම් ලංකාවේ ළමයි ආත්මාර්ථකාමී තරඟකාරයෝ වෙන එක හොදයි. අද ගුරු දිනය දවසේ ලංකාවේ හැම නගරයකම ගුරුවරු ඉතා විනීතව ගුරු සේවාවේ සහ අධ්‍යාපනයේ ඉල්ලීම් වෙනුවෙන් එකතුවෙලා. ඔය සටන තුළ තියෙන්නේ පඩියකට එහා ගිය වඩා යහපත් ගුරු සේවයක් බව පිළිගන්න ඔබෙන් ඉගෙනගෙන ඔබ පසුකර ගිය බොහෝ අය සූදානම් නැහැ. ඔබේ ඇත්තම අගය අංශුවක් වත් තේරුම් ගන්න බැරි මිනිස් දේෂපාලන සමාජයක් ඉන්න රටක සම්මත වූ අයිතියවත් ලැබෙයිද කියල මට ඇත්තටම විශ්වාස නැහැ.

හැබැයි මම එකම එක දෙයක් අනිවාර්යයෙන්ම දන්නවා. ඒ ඔය සටන දිනුවත් පැරදුනත් දරුවන් වෙනුවෙන් හිත්වල තියන ආදරය අංශු මාත්‍රයක් වත් අඩු වෙන්නේ නෑ කියන එක. තව එකම එක දෙයක් ලියන්නම්. ආදරණීය ගුරුවරුනි , මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් අළුත් පරම්පරාවක් හදන්න හැකියාව තියෙන්නෙත් ඔබට විතරමයි. ඒ අමාරු අසීරුම දේ තෝරගන්නත් පුළුවන්. නැත්තම් ලැබෙන පඩිය අරන් රස්සවක් විතරක් කරලා දිනන පැත්තට අත උස්සලා ටියුෂන් පාරකුත් දාගෙන ඉක්මන්ට පැන්ෂන් ගන්න ලේසි ක්‍රමය තෝර ගන්නත් පුළුවන්. අපිට ආදරණීය ගුරුවරුන් හැමදාම සමරන්නත් පුළුවන්. ඒ සැමරීම එක දිනයකට සීමා කරන්නත් පුළුවන්.
– මිගාර බමුණුසිංහ 

(මිගාර බමුණුසිංහ මුහුණු පොතට ලියන ලද සටහනකින් කොටසක්)

Leave A Reply

Your email address will not be published.

15 + 19 =