“ඇඟේ හයියට ආණ්ඩු කරන්න බැරි බව ජනාධිපතිවරයා දැනගත යුතුයි”

- වෛද්‍ය නිලින්ද ජයතිස්ස

ඇඟේ හයියට ආණ්ඩු කරන්න බැරි බව ජනාධිපතිවරයා දැන්වත් තේරුම් ගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නිලින්ද ජයතිස්ස සඳහන් කරයි.. ඔහු මේ බව පැවසූවේ පසුගියදා සියත රූපවාහිනියේ පැවති සිළිය දේශපාලන සංවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නිලින්ද ජයතිස්ස,

“නවක මන්ත්‍රීවරයෙක් හැටියට ඇත්තටම ප්‍රමිත බණ්ඩාර මන්ත්‍රීතුමා විවෘත වෙළඳපොල ගැන කල්පනා කරන විදිහ, ඒ තරමට හරි ජනාධිපතිතුමාට කල්පනා කරන්න වපසරියක් හැකියාවක් තිබ්බනම් මෙච්චර ගැසට් ගහන්න ඕන්නැහැ.

දැන් මම දැක්ක ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිතුමා කියනවා පාලන මිල ගැසට් එක අයින් කරගත්තේ ගොවියයි පාරිභෝගිකයයි ආරක්ෂා කරගන්න කියලා. එතකොට ගැසට්එක ගැහුවේ? ගැසට් එක ඉවත් කළේ ගොවියයි පාරිභෝගිකයයි ආරක්ෂා කරගන්නම් ගැසට් එක ගැහුවේ මොකටද? ඒ වගේම දැන් බල්නන මේ සහල් ප්‍රශ්නය පදනම් කරගෙන ආණ්ඩුව හදිසිනීතිය සම්මත කරගත්තනේ. හදිසි නීතිය සම්මතකරගන්නකොට වෙන මුකුත් දැම්මෙ නැහැනේ. මේ රටේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් තියෙනවා, බෝම්බ අහුවෙනවා, අරහේ සැකකාරයෝ අහුවෙනවා, එහෙම කිව්වේ නැහැ. හදිසිනීතිය සම්මතකරගන්න ගොටාබය රාජපක්ෂ ජනාධිපතිතුමා අගෝස්තු මාසේ 30 වෙනිදා ගැසට් එක ගහනකොට ඒකේ පැහැදිලිව කියන්නේ සහල් සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම බෙදාහැරීම, අඩපන කිරීම, අධික මිල ගණන් අය කිරීම හා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳ අක්‍රමිකතාවය වලක්වන්න.

දැන් පාලන මිල අයින් කළා. දැන් මොකද්ද ඉතුරුවුනේ අන්තිමට? අන්තිමට වී මිලයි, සහල් මිලයි තීන්දු කරනවා මෝල් හිමියන් විසින්. හදිසි නීතිය තියෙනවා. අත්‍යාවශ්‍ය කොමසාරිස් ඉන්නවා. මම කියන්නේ, රටක් පාලනය කරනවා කියල කියන්නේ අර ඇඟේ හයියටම බැහැ. ඇත්තටම මම කනගාටුවෙනවා, මේ හාල් ප්‍රශ්නය උඩ අර යුධ හමුදාවේ ගෞරවාන්විත සේවයක් කරලා නම්බු පිට විශ්‍රාම ගිහිල්ලා ඉන්න පුළුවන් අයටත් මේ ආණ්ඩුව මොකද කරල තියෙන්නේ? අර හාල් ගැන කතාකරණකොටම ඩේටබේස් ගැන කතාකරන බ්‍රිගේඩියර්ව මතක් කරණවා මිනිස්සු. දැම් මේ මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මතක් කරනවා. මේ ආණ්ඩුවේ ඔලමොට්ටල තීන්දු නිසා අර ගෞරවාන්විතය විශ්‍රාම ගිහිල්ලා ඉන්න පුළුවන් හමුදා නිලධාරීන්ටත් ලොකු අපහාසයක් කරනවා.

මේවා, මෙහෙම ඇඟේ හයියට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. රටේ මාසෙකට අවශ්‍යයි හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක්. අවුරුද්දට ලක්ෂ 24ක් ඕනා හාල්. ඒ අනුව වී මෙට්‍රික්ටොන් ලක්ෂ 36ක් විතර අපිට ඕනා කරනවා. අපේ රටේ සාමාන්‍යයෙන් කන්න දෙකට මෙට්‍රික් ටොන් ලක්ෂ 50ක් විතර නිෂ්පාදනය කරනවා. ඉතින් ආණ්ඩුව මොකද කරන්න ඕනා. ආණ්ඩුව හොඳ ස්ටොක් එකක් මිලදී අරගෙන මේ මිල පානයට මැදිහත්වෙන්න ඕනා. එක්කෝ ආණ්ඩුව ඒක කරන්න ඕනා. එහෙම නැත්නම් අපි ඒක අතඅරිනවා කියලා කියන්න ඕනා. නැත්නම් මේ හාල් කඩේට පැනලා කෝල් කරන්නයි. STF එකයි හමුදාවයි යවලා හාල් ගන්නයි ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒව හොඳයි මාධ්‍ය සංදර්ශනවලට. ප්‍රශ්න අමතක කරන්න හොඳයි. ඇත්ත ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි ඒක. ඔය මිල පාලන ගැසට් එක ගහනකොටම මේ රටේ ගොවි සංගම්ද, දන්න කියන ඔක්කොම මොකද්ද කිව්වේ? පාලන මිල හරියන්නැහැ. සහතික මිල තමයි කිව්ව ඕනේ. සහතික මිල දැම්මාම ඒක තමයි අවම මිල. පාලන මිල දැම්මාම ඒක තමයි උපරිම මිල. ඉතින් ඕක තේරුන්නෑනේ.

දැන් ඊලඟට ගොවියට වගා කරන්න කෝ මොකක්හරි පොහොරක්? දැන් ඊලඟ කන්නෙ එන ප්‍රශ්නෙම මේකනේ. මේ කන්නෙ එන ප්‍රශ්නෙ තමයි වගා කරන්න පොහොර ඕනේ. කෝ පො‍හොර? ඒක කාබනික හරි රසායනික හරි මොකක්හරි ගොවිය ඉල්ලනවා පො‍හොර. පොහොර නැහැ. ඉතින් පොහොර නැතුව මොකද කරන්නේ? ඒව මොකද කළේ? ක්‍රමාණුකූලව විද්‍යානුකූලව ඒ ඒ වියතුන්ගේ උපදෙස් මත ගන්න ඕනා තීන්දු මේ නිකන් මාධ්‍යවලින් පිම්බුවට, අරවට මේවට ගත්තට පස්සේ මුළු කෘෂිකර්මාන්තයමත් අවුලකට පත්වෙලා තියෙන්නේ.

දැන් ඔබ දන්නව ඇති, චීනෙන් ගෙන්න ගිය අර කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූනවදාහ, පළවෙනි සාම්පල් දෙකක් ෆේල් වුනා. අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවයේ සාම්පල් දෙකක් ෆේල්වුනාට පස්සේදි කෘෂිකර්ම ඇමති මොකද්ද කිව්වේ. ඒ සාම්පල් එක මොකද්ද මේ ශොපින් බෑග් එකක හරි මොහොක හරි දාගෙන ගෙනාපු ක්‍රමය අප්ෂට් කියල කිව්වා. දෙවෙනි සාම්පල් එක? ඒකත් ෆේල්නේ. CIDත් ගියා. ෆේල්. දැන් නැව එන්න පිටත් වෙලා තියෙන්නේ. කෝ දැන් කාබනික පොහොර? කාබනික වගාව හොඳයි. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ මොකක්ද මේ සංකල්ප මෙහෙ ඔහේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඒව කවදහරි ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන්න තියෙන අවස්ථාවත් නැති කරනවා.

දැන් ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට ආහාර හිගයකින් තොරව කන්න දෙන එක බලය පවතින ආණ්ඩුවේ වගකීමක්. කෘෂිකාර්මික රටක්. මේ මහා වාරි ශිස්ටාචාරයක් තිබූ, ගොවිතැන් කරපු රටක මිනිස්සුන්ට ආණ්ඩුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේනකන් බලන් ඉන්නද? දැන් අපිට කිව්වේ කොහොමද? මේව ගැන කතාකරනකොට අපිව දැම්මා පොහොර සමාගම් පැත්තට. අපි කිව්වා කාබනික පොහොර කාබනික යෙදවුම් කරන්නේ ක්‍රමාණුකූලව. හැබැයි ඒක ඇහුවෙ නැහැනේ. දැන් ඔය මෙට්‍රික් ටොන් ලක්ෂය ගේන එක ශුවර්ද කාබනික පොහොරෙන් වගා කරලා, කාබනික පොහොර ගහපු ඒවා කියලා? මේ මොකක් හරි ප්‍රශ්නයක් කතා කරනකොට හැමදාම ඇඟිල්ල දික්කරල අහන්නේ ඕලොල්ලන්ගෙ පවුලේ ඉන්නවද වකුගඩු රෝගීන්, ඕලොල්ලන්ගෙ පවුලේ ඉන්නවද පිළිකා රෝගීන් කියලා. ඒව පාවිච්චි කරගත්තනේ මේ ආණ්ඩුවේ දේශපාලන වුවමනාව ඉෂ්ට දිස්ධ කරනගන්න. අපේ රටේ කෘෂි විශේෂඥයෝ 112ක් අත්සන් කරල කිව්වා තීන්දුව මේ ආකාරයට ක්‍රියාත්මක කරන්න එපා කියලා. එතකොට ඒක ඇහුවේ නැහැනේ. ඒ නිසා රටක් කරන්න පුළුවන් විදිහට නෙවෙයිනේ කරන්නේ. මෙකෙනේ ප්‍රශ්නෙ තියෙන්නේ හැම තිස්සෙම. මේ වෙලා තියන්නේ හාල් ගැසට් එකෙන් වේවා, සීනි ගැසට් එකෙන් වේවා, මේ කාබනික පොහොර ප්‍රශ්නෙන් වේවා හැම එකක්ම රටක් කරන්නට පුළුවන් විශේෂඥ දැනුම පැත්තක තියලා, තමන් මේ වටේ ඉන්න පොඩි කල්ලියක් පාවිච්චි කරලා මුරන්ඩු කමට කරන්න යාමේ ප්‍රතිඵලය ජනතාවගේ ජීවිතවලින් බුකිතිවිඳින්න වෙන්නේ.

මට තියෙන බරපතලම ප්‍රශ්නේ, මේ වැඩෙන් වෙන්නේ ගොවියා ගොවිතැනෙන් අයින්වෙනවා. කන්නයක් දෙකක් බලන් ඉඳලා ගොවියා ඉඩම් ටික විකුණනවා. මේකටද යන්න ඕනා. දැන් අද අපේ රටේ ගේන බඩඉරිඟු බීජවලින් 10%යි මිලදී අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ බඩඉරිඟු වගාව අතහරිමින් යනවා. මම දැක්කා සමහර නාලිකාවල පෙන්නවා එළවළු වගාව කොලදාව විතමයි ඵලදාව නැහැ. ඊලඟට මොකද කරන්නේ. කණකර උකස්කරලා ගොවිතැන් කරන මිනිහ ඊලඟට මේ ඉඩම විකුණන්න පටන් ගන්නවා ජීවත්වෙන්න. අන්න එතකොට තමයි සමාගම් ඇවිල්ලා ඉඩම් මිලදී ගන්නේ. එතකොට ආණ්ඩුව මේකටද මේ යන්න හදන්නේ. මෙච්චර දේවල් මේ රටේ ජනතාව කියද්දි, ගොවියා කියද්දි, කෘෂි විශේෂඥයෝ කියද්දි, දන්න කියන හැම කෙනාම කියද්දි හොඳයි අපි කාබනික වගාවට යමු ක්‍රමාණුකූලව කියලා ඒක නෑසු කන්ව ඉන්නේ මෙච්චර මුරන්ඩු විදිහට මටනම් තියෙන්නේ මේක පිටිපස්සේ බරපතල කුමන්ත්‍රණයක් තියෙනවා කියලා සැකයක් තියෙනවා කියලා මොකක්ද අපේ රටේ ඉඩම් ටික බහුජාතික සමාගම් නතු කිරීමේ වැඩක්ද මේක පිටිපස්සේ තියෙන්නේ කියන එක මට සැකයක් තියෙනවා.”

Leave A Reply

Your email address will not be published.

nineteen − 19 =