නිවුන්ගේ කවි එකතුව යනු නිවුන ස්වරයෙන් සියුම් පෑරීම් ඇති කරන්නකි

‘මට දුරද මල් පිපෙන හදවත’
වණ්නුපථ ජාතකයෙහි එන සාත්තුනායක යනු සාමූහික ජීවිතය වෙනුවෙන් අරගල කළ අයෙකි. මිනිසුන් දිරි සිඳගෙන අපේක්ෂා භංගත්වයෙන් මිරිකෙන මොහොත නායකත්ව ගුණයන් විදහමින් පොදු පිරිසේ ආරක්ෂාව තමන් අතට ගෙන සාමූහික වීර්යය සහ ඥාණය වර්ධනය කරමින් පොදු යහපත තකා වෙහෙසුනෙකි. ඊ තණ පඳුරින් ජල මූලය සොයා පොලව කැණ දිය උල්පත පාදාගෙන කතර තරණයට පිවිසෙන අනාගත ගැල් තවලම්හී යහපතද වෙනුවෙන් සිහිල් පැන් සපිරි ළිඳක් දායාද කරන්නේ ඔහු තුළ වන දැක්ම මෙන්ම මානව දයාවද හේතුවෙනි. එහෙත් එවන් දුෂ්කර මාවතක් සිය ජීවිත අරමුණ බවට පත් කරගැනීම ධනය සිය ඒකායන සිහිනය කරගත් සමාජයට අසීරුය. ඒ වෙනුවට සාත්තුනායකයන් විසින් පාදා දෙනු ලබනා දිය උල්පත් සිය පුද්ගලික දේපල බවට හරවාගෙන ඒ විකුණා ලාභ ලැබීම වනාහී පහසුම මගයි.

වර්තමාන සමාජය යනු ඒ කටුක ඇත්ත අප ඇසට යකඩ උලකින් ඇන පෙන්වන ස්ථානය බවට පත්ව තිබේ. මේ සාත්තුනාකයකයන් වෙනුවට අපට බුරුතු පිටින් ලැබෙනුයේ අපේම උරුමය උන්ගේ උරුමය කරගෙන කරුමය අප මත පටවන සාක්කු නායකයන් පමණි. එවන් නායකයන්ට සාමාන්ය ජනයාගේ ජීවිතය ගෙදර හුරතල් පූසා තරමට වත් වටින්නේ නැත. තමන් වනාහී සමස්ත සමාජයම ගලවාගැනීමටම උපන් සාත්තුනායකයන් සේ පෙනී ඉන්නා ඔවුහු උදර පෝෂණයම අරමුඛු කරගන්නෝ සාක්කුනායක බවටම පත්වෙති. එහෙයින් මේ සැබෑ සාත්තුනායකයන් ගේ වුවමනාව වඩ වඩා දැනෙනා වර්තමනායකි.

මේ කෙටි සටහන ලියවුනේ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියාගේ නවතම කාව්‍ය සංග්‍රහය වන මට දුරද මල් පිපෙන හදවත කියවන විට එහි දසවන කවිය ළඟ නරත වූ හෙයිනි. ඔහු සිය කවියට වස්තු විෂය කරගන්නේ වණ්නුපථ ජාතක කතා වස්තුවයි. එහෙත් ඔහු එය පිටිවහල් කරගන්නේ ඒ තුළින් වර්තමාන ඛේදය සිත්තම් කරනු පිණිසය. එහෙයින් කවිය අපට සමීප අත්දැකීමක බවට හැරවෙයි. ඔහු සිය කවිය අවසන් කරන්නේ අද සමාජයේ ඇවිලෙන ගිනිමැලය අස මිනිසා අපට ඉදිරිපත් කරමිනි.

විලබඩ මහා සෙනගකි
අද
සා පිපාසාවෙන්
බෝසතකු එනතුරු මග බලන
(පිටුව 14)

මේ බෝසතුන් වෙනුවට බෝ- සතුන් අපට හමුවන වර්තමානයයි. එහෙයින් එහිදී ගැලවීමේ මග සොයා ගැනීමට නම් අප බෝසතුන් එනතුරු මගබලා නොසිට තම තමන්ම අලවංගු ගෙන වියලි කතර කණින්නට සූදානම් විය යුතුය.

නිවුන්ගේ කවි එකතුව යනු නිවුන ස්වරයෙන් සියුම් පෑරීම් ඇති කරන්නකි. එහෙයින් එයින් වරින් වර දැනෙන රිදුමක් අපට මුණගස්වයි. මාහා මුනි නම් කවියෙහිදී (පිටුව 34) ඔහු අපට යෝජනා කරනුයේ අධි වේගී තරගයෙන් මිදී විචාර බුද්ධියෙන් ලොව බලන්නට එළඹුමකි. නගරය හෙවත් නූතන සමාජය යනු මුනි පිළිරූ සිය දහස් ගණනින් ඉදිකරමින් ඒවා තම මජර පැවැත්මට වාහකයන් කරගන්නා වෙන්දේසි පොලකි. එහෙයින් අපට විමුක්තිය ඇවැසි නම් අප කළ යුතු වන්නේ වහා ඒ මගින් ඉවත්ව නිරවුල් මනසින් බලන්නට උත්සුක වීමයි. අපට මග හැරෙනා අනන්තවූ වැදගත් නිමේෂයන් සම්මුඛ වනු ඇත්තේ එවිටම පමණි. බස්සිය (පිටුව 18) නමින් එන කවියද කිවුන්ගේ කවියෙහි පොහොසත් බව මතුකර දක්වන නිර්මාණයකි.

රැය පැහැතිය
ඔබ දමාගිය
පියාපත
අමහුලාගත් බැවිනි
දන්නේ
මේ සිනිඳු බව ගැන
නුඹ
නිශාචර යැයි
දකින ලෝකය
නොදකිති
රැය පැහැ පියාපත
මේ තරම් සිනිඳු බව

සම්මතයන්හී මුලාකරවනසුළු ස්වභාවය කදිමට විමසන මේ කවිය සංක්ෂිප්ත බව කැටිකරගත් විසල් සන්නිවේදනයකි.
නිවුන්ගෙ කවියෙහි සියුම්කම මනාව විදහන කවියක් ලෙස දිය කාන්දු වන තැන සඳ පිළිබිඹුව (පිටුව 7) දැක්විය හැකිය. වැව් බ‍ඳක සිහින් දිය කාන්දුවක් අස සිටිනා කතකගේ සිතුවිළි තළින් ඔහු ජීවිතයෙහි සංකීර්ණත්වය නිරූපණය කරනා ව්‍යංගාර්ථවත් බස කවියෙහි අලංකාරය වර්ධනය කරන්නේ පාඨකයා තුළ විස්තර තළ නොහැකි හැඟුම් උපද්දාලමිනි. ‘මේ දිය කාන්දුව දවසක වැව් බඳ කඩාගෙන යා දැයි සිතෙන විට’ යනුවෙන් ඔහු මතු කරන අදහස කවියෙහි අරුත වඩාත් පොහොසක් කරයි.
‘මට දුරද මල් පිපෙන හදවත’ යනු නිවුන්හැල්ල කවියෙහි තමන් මෙතෙක් ආ දුර තැබූ පා සටහන්හී බර මේ යයි අපට දක්වන්නක් බව පැවසීම ඔහුට සාධාරණයක් ඉටු කිරීමකැයි සිතමි.
– චුලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.

1 × four =