රසිකයා වෙත නව මං පෙන්වන “මං අතර මං” 

සුනෙත් ලංකේෂ්වර සිංහල කාව්‍ය උද්‍යානයට ඇතුලු වන්නේ මෙයට මාස කිහිපයකට පෙර කතෘ ප්‍රකාශනයක් ලෙස එළි දක්වන්නට යෙදුණු “මං අතර මං” කාව්‍ය සංග්‍රහය සුරත දරාගෙනය.
ඔහුගේ නිර්මාණ එක ම ආරක් නොගෙන කවියේ විවිධ උප ශානරයන් ඇසුරු කිරීමට ඔහු සතු හැකියාව විදහා පෙන්වයි. එමෙන් ම ඔහු කවියට ප්‍රස්තූතකර ගන්නා අත්දැකීම් තුළද විෂය විවිධත්වයක් රඳවා ගැනීම අගය කළ යුතු ය. කවියෙකු ලෙස ඔහුගේ මුල් ම කව්‍ය සංග්‍රහය තුළන් යම් දුරකට ආධුනික ගති ලක්ෂණ පෙනෙතත් සමහර තැනෙක, ආධුනිකත්වය පරයා සාධනීය ගති ස්වභාවයන් පොලා පනිණු දක්නට ලැබීම සතුටට කරුණකි.
කිසියම් දාර්ශනික පසුබිමක තබා වටහාගත හැකි කවි කිහිපයක් මෙහි අන්තර්ගතව ඇති අතර මේ ඉන් එකකි.

“ඒ මහළු මගියා
පෙරදා රැයේ
ගිම් නිවූ අම්බලම අතහැර
ආයෙමත් වන්දනා ගමනක” (මඟියා – පි. 13)

පවතින දේශපාලන නායකත්ත්වය විවේචනය කිරීමක් කරා විකාශනය කළ හැකි කවි සිත්තමකි පහත දැක්වෙන්නේ

අන්න අර රූකඩයා
දොස්නගයි හුයකට
නර්තනය අතහැර (රූකඩයා – පි. 16)

සොඳුර යන හිසින් ඇති කවිය පෙර දැක් වූ කෙටි කවි ශානරයන්ගෙන් මිදී සිව් පද ආරෙන් රචනාවී ඇත.

“ළඟටම ඇවිත් බොහෝ දුරකට ගිය සැටි
සොඳුර නුඹ මට මහා සයුරක රළ වැනි
ස්නේහයේ මුතු රැගෙන එනවානම් යළි
වෙරළේ වැලිපර අතර දුක සඟවා ගමි” ( සොඳුර – පි.22)

සිත්තම් රූ මැවෙන මේ කවියේ දැක්වෙන “ස්නේහයේ මුතු” යන යෙදුම, කථකයා ඒ ආදරයට දී ඇති වටිනාකම පිළිඹිබු කරන නැවුම් කාව්‍යෝක්තිය කි.
ස්වභාවධර්මයට මිනිසා එරෙහි වූ විට එහි පළ විපාක ද විඳීමට මිනිසාට සිදුවෙයි. “වඳුරු වලප” යන මැයෙන් අප දකින කවිය එක්තරා පෞද්ගලික අත්දැකීමක් සේ පෙනෙන නමුත් ඒ හරහා කවියා මතුකරන්නේ පොදු විඳවීමකි. කාලයක් පුරා මිදුලේ වූ වලු අඹ ගසේ පළ රස විඳීමට පුරුදු වී සිටී වඳුරන් රෑනක් බිය ගන්වා පලවා හැරීය පසුව අවට පරිසරය පාලු වී ගිය බව කවියාගේ අත්දැකීම වෙයි.
අඹ කන්නට ආ වඳුරන්ගේ හැසිරීම කියන්නට යොදා ගන්නා පද වහර හරහා මතු කරන වදන් රිද්මය රසවත් ය. ඒ වදන් රිද්මය වාග් චිත්‍රයක් කවිය තුළ උපදවන්නට සමත් වෙයි. මේ බලන්න

“ළඟ වන රොදින් – පැනගෙන ඇවිත්
දඩිබිඩි හඬින් – වහලයේ දුවත්
නැටි නටවමින් – මුව විළිසමින්
කෑකෝ ගසත් – බුකු බුකු කියත්
අඹ ගෙඩි කඩත් – කා බිම දමත්
අතු සොළවමින් – කළබල කරත්” (වඳුරු වළප – පි. 38-39)

මසකට වරක් කාමරයක් තුළදී හමුවන සිය පෙම්වතිය ඇගේ සැමියා සමඟ දකින පෙම්වතාගේ සිතිව්ළි දාරාව නිමිති කරගත් කවියකි අසම්මත යන හිසින් හමුවන කවිය.

“අපට අප දැනෙනකොට මෙතරම්
සම්මතය මටනම් මහා අවුලක්
මැරේජ් සටිෆිකට් ගිනි තියමු
පවුලක් කියන්නේ ම ලීගල් පිස්සුවක්” ((අ)සම්මත – පි. 42)

ඉහත කවියද ඇතුළු කවි කිහිපයක ම මාතෘකාව යෙදීමේ වැදගත් කම පිළිබඳව අවධානය කවියා අතින් ගිලිහී ගිය බවක් දකීන්නට ලැබේ. “අපට අප දැනෙනකොට මෙතරම්” ඒ ප්‍රේමය අසම්මතයක් ලෙස වර්ගීකරණය කිරීම කවියා මිනිස් බැඳීම් කෙරෙහී දක්වන යල් පැන ගිය අදහස් මතු වීමක් ද යනුවෙන් සැක මතුවෙයි.
නමුත්,
යල් පිනූ ඉගැන්වීම් කෙරෙහි කවියාගේ විරෝධාකල්පය තිව්ර ලෙස ඉසමතුවන කවියකි ගැරහීම යන හිසින් හමුවන කවිය.
අප බොහෝ දෙනෙක් පාසල් සිසුන් සමයේ සිටම අසා පුරුදු කවිපන්තියක් වූ “අය්යනායක” කවි පන්තියේ එන එක් මුඛ්‍යාර්ථයක් වූයේ ” අනෙකාගේ ඇදහිලි විශ්වාසයන්ට ගරු කර ඉඩ දීම යි” එය ගම්‍ය වූයේ පහත් පද්‍ය කොටසිනි.

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
කෙම්මුර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එම ගැරහී ම (විමලරත්න කුමාරගම)

කුමාරගමයන්ගේ එකී කවියේ අවසන් පද පේළිය පාදක කරගෙන සුනේත් ලන්කේෂ්වර කවියා, රාජ්‍ය සහා මාධ්‍ය අනුග්‍රහයෙන් වත්මන් සමාජය වසා පැතිර ඇති මිථ්‍යාව ඉදිරියේ තවදුරටත් කුමාරගම මෙන් “මා නොකෙරුවත් නො කළෙමි එම ගැරහීම” යනුවෙන් ඉවසා නිහඬවත පිරීමට නො හැකි බව සෘජුව ප්‍රකාශ කරයි.
මෙහි අපට හමුවන ඇතැම් කවි තුළ කවියා උපයෝගී කරගන්නා බසේ සුමට බව පිළිබඳව වෙනත් කියවීමක් ඇතත්, උක්ත කවියේ හමුවන භාෂාව, කවියේ ප්‍රස්තූතය, තේමාව, දර්ශනය සහා ආකෘතියට ද ගැලපෙන බව පෙනෙයි. විමලරත්නයන්ගේ කවියෙන් එළඹුම ගන්නා කවියා, අනතුරුව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පෙන්වා වත්මන් සමාජයේ දෑස් වසා ඇති මිථ්‍යා කඩතුරාව කීතු කිරීමට උත්සහා ගන්නේය.
මා නොකෙරුවත් නොකෙළෙමි එම ගැරහී ම “විමලරත්න කුමාරගම”

මාත් හිතුවේ බාල කාලෙ ඔය විදියට
ඒත් ඇවිදින් මිථ්‍යා හොරු දැන් එළියට
ලේත් බී ඉහ මොළත් හූරගෙන කනකොට
දෑත් බැඳගෙන ලියන කවි තව කුමකට
“චරථ භික්කවේ චාරිකං – බහුජන හිතාය බහුජන සුඛාය”
අනන කොන්ක්‍රිට් ඇති පදං – සිමෙන්ති බදාම විහාර සදාය
දෙසන කයිවාරු බණ වරං – කහවණු සොයාය පොදි බැඳ තබාය

“කිං කරිස්සන්ති තාරකා”
වෘශ්වික ධනු මකර කුම්භ
තළමුද බොරු දෙසන හොම්බ
ඉහ මොළ කන කපටි රොත්ත
අපට අපල හදන හැත්ත
“ආනන්ද සර්පයා දුටුවාද”
තට්ටුවක් දැම්මාම තඩි බඩට
කප්පරක් රන් කාසි මැවෙනවද
හොටෙයි පූ තායි ලාෆින් බුද්ධ
හිනා වී පොකැට්ටුවටම විද්ද
“විශ්ව ශ්ක්ති වාසනාව”
සින්ස්ට්‍රල් ටර්බිනෙල්ලා පයිරම්” වාලම්පුරි
දාස් ගාණක් ගෙවා මිලදී ගත් අය වෙති
බෙල්ලෙකුට වාසනාවක් තියෙද මේ හැටි
එන්න දුවගෙන ගිහින් මුහුදේ පනිමු අපි. (ගැරහීම – පි. 45 – 46)

සර්පයා (පි. 58-59) යන හිසින් අපට හමුවන කවිය, ඔහු නිරත ව සිටින රැකියා ක්ෂේත්‍රය තුළ ඔහුට බහුල ලෙස අසන්නට ලැබෙන අත්දැකීම් හේතුවෙන් ඔහු විදින කම්පනයන් නිසා උපන් කවියක් විය හැක. එය සාමාන්‍යයෙන් කවියන් ඇසුරු නො කරන සීමාවක් ස්පර්ෂ කළ අවස්ථාවක් ලෙස සටහන් කරනු රිසියෙමි.
මෙම සටහන අවසන් කරණු වස් අවසන් ලෙස මෙසේ සටහන් කරණු කැමැත්තෙමි.

සුනෙත් ලංකේෂ්වරගේ, “මං අතර මං” කාව්‍ය සංග්‍රහය ඉතා නිදහසෙන් තානයකින් නිමවා ඇත. විවිධ දිශානතින් ට විහිදෙන කාව්‍ය අත්දැකීම් හරහා රසිකයාට තමා පිළිබඳව, අසල්වැසියා පිලිබඳව, සමාජය පිළිබඳව, දේශපාලන හා අගමික වටපිටාව සහා අප මුහුණ පා සිටින වර්තමාන ගැටලු පිළිබඳවත් නැවත විමසා බැලීමට කවුළු විවර කරදෙන කාව්‍ය සංග්‍රහයකි.

සිය කුළුදුල් කාව්‍ය සංග්‍රහයට කවි හැත්තෑවක් ඇතුළු කිරීම වෙනුවට ඉතා සාර්ථක කවි පමණක් තෝරාගෙන, ඒ කෙරෙහි වැඩි අවධනයකින් බලා අවැසි පිරිපැහැදුම් කර ඉදිරිපත් කළේනම්, පළමු පන්දුවට ම විකට්ටුවක් ලබාගත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලබන උද්දාමය ලැබීමට අපගේ කවියාට ද අවස්ථාව තිබුණි.

ඔහු ඇතුළු වී සිටින සිංහල කාව්‍ය උද්‍යානය සුවඳවත් කළ හැකි කවි මල් ඔහුගේ මග දෙපස පූදින යහපත් හෙට දවසක් වෙනුවෙන් ඔහුට සුබ පතමි.

– නිරෝෂ ප්‍රනාන්දු
10/05/21

Leave A Reply

Your email address will not be published.

twenty + 18 =