විලියම් ඇලෙක්සැන්ඩර් රජතුමා හමුවෙන්නත් සුපුරුදු බයිසිකල් කට්ටෙන් යන ඕලන්දයේ බයිසිකල් ලොක්කා

අවුරුදු ගණනාවක් තිස්සේ මාර්ක් රූට් මහත්තයා වැඩට ගියේ බයිසිකලේ පැදගෙන. නෙදර්ලන්තයේ ඩැන්හාග් (The Hague) අගනුවර පිහිටා තිබෙන අග්‍රාමාත්‍ය කාර්යාලයේ තමයි මුන්නැහේ වැඩ කරන්නේ. ඩැන්හාග් විතරක් නෙවෙයි ඇම්ස්ටර්ඩෑම්, ,රොටර්ඩැම් වගේ ඕනෑම නගරයක උදේට බංකුවක වාඩිවෙලා බලන් හිටියොත් රූට් මහත්තයා වගේ තවත් දහස් ගණනක් ටයිකෝට් දාගෙන බයිසිකල් පැදගෙන වැඩට යන හැටි බලා ගන්න පුළුවන්.

රූට් මහත්තයා වැඩ කරන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ කියල කළින්ම කිව්වා. හැබැයි අමතක වුණා කියන්න එතුමා ඒ කාර්යාලයේ වැඩකරන්නේ එසේ මෙසේ තනතුරක නෙවෙයි. උන්නැහේ තමයි නෙදර්ලන්තය හෙවත් ඕලන්දයේ අගමැති. කොටින්ම කිව්වොත් ඒ රටේ පාලකයා තමයි මාක් රූට්.

මාක් රූට් මහත්තයාගෙ දැන් වයස 54යි. උන්නැහේ තාම පෙළවහක් කරගෙනත් නෑ. 2010 අවුරුද්දේ ඉඳන් නෙදර්ලන්තය පාලනය කරන්නේ එතුමා. හේග් නුවර මැද්දේ මහ විශාල අගමැති මැඳුරක් තිබ්බත් උන්නැහේ ජීවත් වෙන්නේ පොඩි appartement එකක. නිල උත්සවයක් තිබ්බොත් විතරක් අගමැති මැඳුරට යන එක රූට් මහත්තයාගෙ සිරිත.

රූට් මහත්තයා නෙදර්ලන්තයේ විලියම් ඇලෙක්සැන්ඩර් රජතුමා වූ හමුවෙන්න යන්නෙත් සුපුරුදු බයිසිකල් කට්ටෙන්ම තමයි. රාජකීය මාළිගාව ඉස්සරහා ඉබ්බෙක් දාල ලොක් කරල තියෙන බයිසිකලය දැක්කම දැනගන්න පුළුවන් අගමැතිතුමා රජු සමඟ සාකච්ඡාවක බව.

අගමැතිතුමා බයිසිකලෙන් යන්නේ සෝබනේට නෙවෙයි. තමන්ගෙ සෞඛ්‍යය ගැන හිතලා. ඒ වගේම ජනතාවට තිරසාර සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරන්න ඕනෑ නිසයි. අගමැති බයිසිකලෙන් යද්දී දෙපැත්තෙන් හති දදා දුවන බඩියෝත් එහේ දකින්න නැහැ. ඕනෑම කෙනෙකුට පුළුවන් උදේට අගමැතිතුමාට Good morning කියන්න.

නෙදර්ලන්ත අගමැතිතුමා ගැන කියන කොට නෙදර්ලන්තය ගැනත් නොකියා බැහැ. නෙදර්ලන්තයට කියන්නේ යුරෝපයේ තැනිතලාව කියලයි. හරිම ලස්සන නිස්කලංක රටක්. වායු දූෂණය වගේම ශබ්ද දූෂණයත් අවමයි. රෑට ඉදිකට්ටක් වැටුනත් ඇහෙනවා. රට පුරාම ඇති ස්වාභාවික සුළං මෝල්, තණබිම් වල උලාකන කිරි හරක් පට්ටි, පාපැදි මං තීරු සහිත පුළුල් මාර්ග ටියුලිප් මල් වැවුණු තැනිතලා මේ සුන්දර දේශය තව තවත් චමත්කාරවත් කරනවා. ඒ වගේම ස්වාභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න රටක්. කොහේ බැලුවත් ජල මාර්ග වල ගමන් කරන බෝට්ටු දකින්න පුළුවන්. වාරි තාක්ෂණය හා ස්වාභාවික සම්පත් කළමණාකරනය කිරීම අතින් ඔවුන් ඉන්නේ ඉහලම තැනක. අවුරුදු පන්සිය ගණන් පරණ සුළං මෝල් වලින් තවම වැඩ ගන්නවා. ගොඩක් තට්ටු නිවාස වල විදුලි සෝපාන නැහැ. බයිසිකල් පදින අයට නිදහසේ යන්න වෙනම පාරවල් තිබෙනවා. ඒ නිසා ලන්දේසි කාරයෝ කියන්නේ ලෝකෙ ඉන්න සෞඛ්‍ය සම්පන්නම ජාතියක්.

අගමැතිකමට අමතරව රූට් මහත්තයා ගුරුවරයෙක් විදියටත් වැඩ කරනවා. ඔහු එයින් විශාල තෘප්තියක් ලබන බව කියනවා. හේග් නුවර ජොහන් ද විට් කියන ද්විතීක පාසලේ සමාජ අධ්‍යයනය උගන්නන්න හැම බ්‍රහස්පතින්දාවක යන අගමැතිතුමා මේ වන තුරුම කිසි දවසක පංතියට පොල්ල තියලා නැහැ. රටේ මොන දේශපාලන කළබගෑනියක් තිබුණත් රූට් මහත්තයා පංතියට ජංගම දුරකතනය අරන් එන්නෙ නෑ. එතුමා පාව්ච්චි කරන්නේ පරණ Nokea Phone එකක් බවත් කියන්න ඕන.

මාක් රූට් කියන්නේ අමු ලිබරල් දේශපාලනඥයෙක්. එයා දේශපාලනය බැලන්ස් කරන්නෙත් අමුතු විදියට. පාර්ලිමේන්තුවේ වාද විවාද වලින් බැරි උනොත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එක්ක විස්කි අඩියක් ගහලා හරි වැඩේ ගොඩදාගන්නවා. සමහර දවසට අගමැතිතුමා පාර්ලිමේන්තුවෙන් පස්සෙ කෙළින්ම යන්නෙ එතැනම තියෙන Restaurant එකට.
ඒ වගේම ඔහු නිදහස් චින්තකයෙක්.ගෙදර ගියාම නිදහසේ හෙලුවැල්ලෙන් ඉන්න බව ඔහු වරක් කිව්වා. රූට් මහත්තයා පොඩිඑකා සන්දියේ දෙමව්පියන් සමඟ ඉන්දුනීසියාවෙ ජීවත් වුන නිසා එහේ කෑම වලට පුදුම විදියට පෙරේතයි. නාසි ගුරාන් එකක් ගෙනාව කිව්වොත් රෑ දොළහට හරි අගමැතිතුමාව නින්දෙන් ඇහැරවන්න පුළුවන් බව කව්දෝ කියල තියෙනවා.

– ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

14 − 4 =