“නිරුපමා රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගියද රාජපක්‍ෂ ඥාතිත්වයෙන් විශ්‍රාම ගොස් නැත”

ප්‍රබල ගනයේ ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ , තොරතුරු අනාවරණය කළ ඉතිහාසයේ විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වක් වන පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් මෙරට හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ නමත් හෙළි වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව පැන්ඩෝරා ලේඛනවලින් රටවල් 90 කට වැඩි සංඛ්‍යාවක දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවකගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය කර තිබේ.

මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ නිරුපමා රාජපක්ෂ දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ඇති බවත් නමුත් ඇයට චෝදනා ඇත්නම් ඒ ගැන සොයා බලා එම දේපල පවරාගතයුතු බවයි. එහි සිටි තවත් මාධ්‍යවේදියෙක් පැවසුවේ නිරුපමා රාජපක්‍ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගියද රාජපක්‍ෂ ඥාතිත්වයෙන් විශ්‍රාම ගොස් නැති බවයි.

නිරූපමා රාජපක්ෂ යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ , මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ, ඇමති චමල් රාජපක්‍ෂගේ ඥාති සහෝදරියක් වන අතර ඇමති නාමල් රාජපක්‍ෂ සහ මන්ත්‍රී ශෂින්ද්‍ර රාජපක්ෂගේ ඥාතියෙක්ද වේ.

මේ අතර නිරූපමා රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අතර 2010 සිට 2015 දක්වා ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළා ය.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් උපදේශකයෙකු සහ හෝටල් ව්‍යවසායකයෙකු ලෙස සේවය කර ඇති බව ඔහුගේ සමාගම් වෙබ් අඩවිය උපුටා දක්වමිනි.

නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් එක්ව ලන්ඩන් සහ සිඩ්නිහි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට සහ ආයෝජනය කිරීමට භාවිත කළ ෂෙල් සමාගමක් පාලනය කළ බව ද , හෙළිදරව් වූ ලිපිගොනුවලට අනුව විස්තරාත්මකව කරුණු වාර්තා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව වාර්තා කරන්නේ, නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් සිය අරමුදල් සහ සමාගම් පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කළ බවයි.

Leave A Reply

Your email address will not be published.

1 × five =