“ගෙත්තම්පාණ” කවි සිත්තම්!

ප්‍රවීණ කිවියර ආචාර්‍ය රත්න ශ්‍රී විජේසිංහ, ස්වකීය 10 වැනි පද්‍ය කාව්‍ය සංග්‍රහය පළ කර ඇත.මෙම කෘතිය පද්‍ය 57කින් සමන්විත ය.කෘතියේ අන්තර්ගත කවිවලින් අති බහුතරයක් මා සිත් ගත් නමුදු,මේ උත්සාහය,වඩාත් සිත් ගත් කවි කිහිපයක් පිළිබඳව සටහනක් තබන්නට ය.

සෙල්ලම් වලසා

ගෙදර කිසිවෙක් නැති වෙලාවක තම මවගේ දෙවැනි පුරුෂයා හෙවත් ‘බාප්පා’ විසින් කුඩා දියණියකට ‘හදි කිරීම’ පිළිබඳව,කුඩා දරුවාගේ සෙල්ලම් බඩු උපයෝගී කරගෙන කවිය ගොඩනඟන අයුරු අපූරු ය.
මෙම සිද්ධිය ලංකාවේ සුලභ
ඛේදවාචකයක් තරම් යැයි කිව හැකි වුව ද ,කවියා ළමා ලෝකයෙන් ගත් අමුද්‍රව්‍යවලින්ම, ළමයාගේ භාෂාවෙන්ම කවිය නිමවන ආකාරය සුවිශේෂී වේ.

“සෙල්ලම් වලසා තමයි
මා සපා කෑවේ
ඇඟිලිවලටත් දැනෙනවා
දත් පාරවල් පපුවේ
රිදෙනවා අම්මේ
කැලණි වන්දනාවේ ගොස්
ගෙනා මැටි පූසා
ඉරිදා පොළෙන් ගෙන ආ
අහිංසක ගිරවා
විතරමයි ගෙදර හිටියේ
බාප්පා තමයි දවසක
නපුරු සෙල්ලම් වලසා
එක්කගෙන ආවේ
විස්මලන්තය බලන්නට
කැටුව ගිය දවසේ
පූසාත්,ගිරවාත්,
අමල් බිසෝට ම වාගේ
මට ආදරෙන් හිටියේ.
ඒත් මේ වලසා
හරි ම අමුතුයි අම්මේ
තනියෙන් ඉන්නකොට
බය හිතෙනවා හරියට
අනේ සෙල්ලම් වලසා
බැඳ තබනව ද අම්මේ”

අම්මාගේ කටහඬ

මේ කවියේ කථානායකයාගේ අම්මා,ඔහු කුඩා කලදී ම ( කිරි බොන වයසේ දී) මෙලොව හැර ගොසිනි. තම
මවගේ කටහඬ කෙබඳු විය හැකිදැ යි ඔහු කල්පනා කරයි.කවියා තම කවිය ගොඩනඟනුයේ ‘ මල් රදනක’ සර්ප පැටවුන්ටත්, ළමා වසු පැටවුන්ටත් මවක සිටින බවත්, තම මව ළඟපාත සිටින බව උන්ට හැඟෙන බවත් කියමිනි. මවගේ කටහඬ මෙලෙස වන්නට ඇතැයි අනුමාන කරමින් ඔහු නැළවිලි ගී මුමුණා බලයි! මෙය බෙහෙවින් ම හෘදය සංවේදී කවියකි.

“කෙබඳු වී දැයි ඇගේ කටහඬ
හිතාගන්නට බෑ ඔහුට
දිරා යන කොස් කොළ ගොඩ මැද
මේ දැන් පුපුරා ගිය බිජුවට
අතරින් හිස ඔසවන
මල් රදනක පැටවු
ඉව කරති වට අවට
පොරි අහුරක් සේ ම
ඔසවා හිස අහසට
අසා හිඳිති කම්පන
මේ ළඟපාත ඇති
මල් රදනක සැපිනිය
ගෙල බැඳුණු මිණි වැල
නොසලා නිහඬ කොට
කන් උස්සා සීරුවෙන්
ළමා වසු පැටවා
සවන් දෙයි සුළඟට
කොතැනින් ගලා ඒ දැයි
මවු දෙනගෙ කටහඬ
කෙබඳු වී දැයි ඇගේ කටහඬ
ඈ ගයන්නට ඇතැයි හිතෙනා
නැළවිලි ගී එකින් එක
සෙමෙන් මුමුණා බලයි ඔහු
අනුමාන කරන පදවැල්
හිතින් අමුණා ගයයි ඔහු
‘ආර පුරන්දරෙන් බැසා
චෝල මණ්ඩලෙන් එපිටා
මා තනියම යන කලටා
දෙවියන් දුන් පුතෙකි මටා’
ඒ එකකවත් නැත
ඔහු සොයන සිහින කටහඬ
එක් අවුරුදු දරුවෙකුට
කිරි පොවපොවා සිටිය දී
මෙලොව හැර යන්නට ගිය
අම්මා කෙනෙකි ඇය
කුඹුරු වතුපිටි දෙණිවල
පාළු කඳුවැටි අතර
සුළඟේ පාව ගිය
කොහි ද ඇගෙ කටහඬ”

 දෙවියන් මැවීම 
දෙවියන් විසින් මිනිසා මැවූ බව ඇතැම් ආගමික කථාවල සඳහන් වෙතත්,මිනිසා විසින් තමාගේ රුවින් යුතුව දෙවියා තනාගත් බවට ප්‍රතිවිරුද්ධ මතයක් ද ඇත. කෙසේ නමුත් අප දකින දේවාලවල ඇති දෙව් පිළිම නිමවන්නේ මිනිසුන් විසින් බව නම් සත්‍යයකි.මෙම කවියේ සඳහන් වන්නේ තවමත් වැඩ නිම නොවූ දේවාලයක් පිළිබඳව ය.එහි
වැඩ අවසන් කිරීමට බැතිමතුන්ගේ උපකාර අවැසි බව කවියා කියා සිටිනුයේ කදිම උත්ප්‍රාසාත්මක අයුරිනි!

“ආයුබෝ වන සෙතින් – ඉසුරු වරමින් බැතින්
මොනරපිල් සොලවමින් ඇසේ යාතිකාවන්
දෙවොල්බිම කෙළවරින් අගිල් දුම් කඳ මැදින්
දෑත හිස මුදුන් දී වැඳවැටේ බැතිමතුන්
දේවාලයේ වැඩ ද නිමවුණේ බාගෙට
දේව ප්‍රතිමා තිබේ සැකිලිවල
යාකොට
තවත් දෑතක් අඩු ය කතරගම රූපෙට
නිල්පාට ගෑ යුතු ය විෂ්ණු දෙව් මූණට
පසෙක කුන්තායුධය, අඩයටිය,ඊතල
පසෙක පාරාවළලු, මොනරපිල්,ශංඛය
මෙතැන අවි ගබඩාව පරයනා මිසයිල
අලුත් දෙවියන් මැවෙයි පැරණි රූ වෙනුවට
බලව් විස්කම් දෑත, පෙදරේරු අනුහස
තැනෙයි දෙව් රූ විගස කොන්ක්‍රීට් මැටියෙන
කම්බි,වැලි,ගල් අතර එ මේ අත විසිරුණ
නැත ද දෙව් රූ තව ම තිබේ දෙව් අණසක
බැතිමතුනි ඔබ ගෙනා පුද පෙත් ද පඬුරු ද
නොපුදා ම පසු හැරී ගෙනයෑම හරි නැත
තබනු මැන සිමෙන්ති ද බදාම ද අබියස
ඒවා ම අද හෙට ම දෙවි කෙනෙකු වනු ඇත”

ගෙත්තම්පාණ

කවියා එක්සත් රාජධානියේ සිටිය දී ඇසූ පුවතක් ඇසුරින් ලියන ලද තරමක් දීර්ඝ කවියකි.ඇත්තට ම කවි කතාවකි! හද පාරවන පුවතකි.

“ආදරණීය වේරා
හේමන්තයේ වැටෙන
පළමුවන හිමකැටය
වෙන් කර තබනවා ද
ඔබ මට
………………………………….
…………………………………..
නොගනී ය උදුරා
කිසිවක් ම මහ මුහුද
පැහැර ගත් සියල්ල ම
ගෙන ඒ ය පාමුලට”
කවිය තරමක් දීර්ඝ බැවින් මෙහි සම්පූර්ණයෙන් සටහන් නොකරන නමුත් මේ සටහන කියවන ඔබ කවිය කියවා බැලිය යුතු ම ය.

මිතුරු හමුව 

මෙම කවියේ කථකයා කාලෙකින් තම ගමට යයි. ඔහුට තම අතීත ගම තුළ තම මිතුරන් හමුවේ ද? බොහෝ මිතුරන් ජීවිතයෙන් සමුගෙන ගොස් ඇති සෙයකි.ඔහුට දකනට ලැබෙන්නේ විදුලි, දුරකථන කණුවල අලවන ලද තම මිතුරන්ගේ මරණ දැන්වීම් ය. ශෝකය හද තවරන කවියකි.

“වියපත් ව,බෙලසුන් ව, වයස ගැන කම්පා ව
ගමට එමි කාලෙකින් දුරැර හිත සංකාව
පමා විය යුතු ද දිගු වන මඬුලු මං ගාව
මිතුරනේ එක ම ගමක් ම යි ලංකාව
එදා පා නැඟූ මඟ බොරුලු, ගල් කුළු රැඳී
විදුලි,දුරකථන කණු දෙපස හිටගෙන ඉඳී
දලු දමන කටු කම්බි වැල් දිගේ මල් පිපී
ගමට යන පාර සරසා දෙපස කොඩි අදී
රෑ පුරා හේන්වල ඇසුණු කව්
ගී රාව
කලාතුරකින් ගෙයක රැව් නැගුණු ප්‍රිය සාද
එක පැහැර අමතක ව මුළු ගම ම ගොළු වී ද
කතා කරනා කෙනෙක් ළඟපාත නැතුවා ද
කාලයේ සැඩ සුළං අතුල් පහරින් මිදී
කාරුණික නොවන අව් වැසිවලින් හිත රිදී
විදුලි දුරකථන කණුවල ඇලී දියවෙවී
මැකී යන රුවින් මගෙ මිතුරනේ ඔබ හිඳී”

සමු නොගත් සෙවණැල්ල

මෙම කවියේ කථකයාගේ පියඹ ජීවිතයෙන් සමුගෙන ගොසින් කාලයක් ගත වී ඇතත් තවමත් ඒ අතීත මතක ඔහු හද පාරවයි.මේ කවි කියවන අපේ හදවත් ද දුකින් පෑරෙයි!

“නිදන මුහුණේ වැදී සිනිඳු සුදු රෑ ගවුම
ඇහැ ඇරී බලමි සිහිනය කිමිද ඔබ කොහි ද
යුගල ඇඳ වටා කඳවුරු බැඳන් කළු අඳුර
කුමට හිරිහැර කරනු මෙලෙස තනි මිනිහකුට
…………………………………….
……………………………………….
ලන්දේසි කොටු පවුර තුළ අපේ පරණ ගෙය
රැළි ගවුම් ඇඳ සිටිය මගෙ ළමා පෙම්වතිය
කොට බිත්තියෙන් එබී මා එතැයි මඟ බලන
එළිය සමුගෙන ගිය ද සමුනොගත් සෙවණැල්ල
………………………………………
………………. ………………………
රැළි නගී යළි බසී නිසංසල වේ මුහුද
රෑ පුරා අසා සිටියෙමු ය එදවස එකට
තනි ව විඳ ගනිමි මම නිසසල ව මේ මොහොත
ජීවිතය විතරක් ම නවතී ද එක තැනෙක”

 උදුරා ගැනීම 

ජීවිත කාලය තුළ,ජීවිතය, දෛවය,දෙවියන්,ලෝකය, සොබා දහම හෝ සමාජය අපට දෙන දේවල් අපෙන් උදුරා ගන්නවාඅ නොවේ ද? එහෙත් අප ඒ සියල්ල ඉවසනවා නොවේ ද? මිනිසාගේ ම සමාජ – දේශපාලනික භාවිතාව විසින් ගොඩනඟන ලෝකය ප්‍රශ්න කරන කදිම කවියකි මෙය.

“සියල්ල ම ඔබගේ කැමැත්ත ය
සිතා සිටි කාලයක
කිරි බොන්නවත් නොදී
උදුරා ගත්තා මගෙන් අම්මා
කීවා ද මා කිසිත්
හිස නමා බලා උන්නා මිස
හැඬුම් මුහුණින්
අමාරු ම කාලයක
ළමා වියත් එක්ක ම
උදුරා ගන්නා විට දි තාත්තා
කීවා ද මා කිසිත්
බලා උන්නා මිසක
ගල්ගැහී
………………………………….
……………………………………
කමක් නෑ
දැන් ඉතින්,
ලෝ පුරා මළමිනී
කඳු ගැහෙන මළමිනී
මැදුරු වාසල් දුගී පැල්පත්හි
හැමතැන ම මළමිනී
උදුර ගන්නව ද ඔබ
මේ සියල්ල ම ඉතින්
අදත් මට කියන්නේ
බිම බලා හිඳින්න ද
මරණයට ඕනෑ කරන
මිසයිල ද න්‍යෂ්ටික අවි ද
ගිනිඅවිද සියල්ල ම
අඩු නැතිව
කිසි ම අගහිඟකමක්
නැති ඔබ ම
ජීවිතය පිණිස ඇති
මුවවැසුම්, අත්වැසුම්
ගිලන්හල්,බේත් හා එන්නත්
නැතැයි මැසිවිලි නගන්නෙ කිම් ද
උදුරා ගන්නවා ද ඔබ
අදත් මුළු ලෝකය ම
ඔබ දුන්න”

එ’දවස 

1971 අප්‍රේල් තරුණ නැඟිටීම ගැන නන්දන වීරසිංහ කිවිඳුන්, ” කිරි සුවඳැති රාත්‍රියක්” කවි පොතේ ලියූ ” බක් මහේ කට හඬ” ( මෙම කවිය නන්දා මාලනිය විසින් ගීතයක් ලෙස ගායනා කර ඇත.)ට පසු, එම අත්දැකීම ගැන ලියැවුණු හොඳම කවිය මෙය යැයි සිතමි. අරගලයේ දී දිවි පිදූ තරුණයන්ට නිසි ගෞරවය දෙමින්,ඔවුන්ගේ කැපකිරීම අපතේ නොයන බවට සුබවාදී ආකල්පයකින් යුතුව මෙම කවිය් නිමවා ඇත.අවි ගත් තරුණ නැගිටීම ගැන වියපත්( තවමත් සිතින් තරුණ) කවියෙකුගේ ශික්ෂිත දයාර්ද්‍ර බැල්මක් ගැබ් කරගත් කවියකි.

“මතක නම් ඒ දවස
මතක ඇති සැඩ සුළඟ
සුසුම් දහසින් තැනුණ
කුණාටුව වූ සුළඟ
කුණාටුව තැනු උනට
පියාපත් බර පමණ
නොවී යසිසුරු දිනන
කැදලි තනනා සිහින
බැගෑපත් වී යදින
තැළී පොඩි වී හිඳින
සුවාසක් ජනයිනට
දිනා දෙන ලොව පමණ
තුමුල වාසල් පවුරු
විකුම් පෙළපත් මහරු
කම්පා ව සැඩ නලින
සැලුම් වෙව්ලුම් කෑය
පිපී එරබදු රුසිරු
නැඟූ කූජන මියුරු
උදා බග සඳවතෙහි
තැබී සස ලප රුහිරු
වියැට විසිරී මඩට
කිඳී කලලෙහි යටට
මළ ද ඒ මරණය ද
අස්වැන්න වේ හෙටට”

එන්න මිතුරනි 

ජීවිතයේ සැඳමයට එළැඹෙමින් සිටින මේ කවියේ කථකයාට මරණය යම් දිනෙක තමා ද සොයා පැමිණෙනු ඇතැයි සිතේ.එම හැඟීම ශෝකී වදන් සිත්තමක් වන්නේ මෙලෙසිනි!

“ඈත කඳු හිස
නෙරළු තුරු අග
සැඳෑ මළ හිරු එළිය තැවරෙයි
කණ කොකුන්
ඉගිළිලා යන අත
මහලු කොස් ගස තව ම නොදනියි
රබර් ගස්
සුළඟකින් ඇඹරී
ඉදුණු පත් සර සරින් වගුරයි
නාඳුනන
මළගෙයක රැව් දෙන
යකඩ කටහඬ විටෙක මතුවෙයි
‘යථාවාරී වහා පුරා’
ඇසී හිත පාළුවේ තනිවෙයි
දිනෙක ඒ හඬ
දුර ගෙවාගෙන
මගේ මේ ගෙදරට ද ගොඩවෙයි
එන්න මිතුරනි
එන්න මා වෙත
එදාටත් මං අද වගේමයි”

ස්තුතියි 

පොතේ අවසාන කවිය මෙයයි.තමා පැමිණි දිගු මඟ දෙස උපේක්ෂාවෙන් කවියෙකුගේ කටහඬ මෙහි ගැබ් වෙයි.එතරම්ම අසුබවාදී නොවී ජීවිතය දෙස බලන්නට ඔහුට තවමත් හැකිය.කවියා ස්තුති කරන්නේ තමන්ගේ පාඨකයාට/රසිකයාට විය යුතුය!

රාත්‍රිය දැන් අහවරයි
සැට වන පැය ද ගෙවී යයි
පන්සාළිස් වස්
මා කැටුව ආ ඔබ
තව ම මා අසලින් හිඳියි
ඔබට ස්තුති කළ යුතුයි
මඟ දෙපස වූයේ
වියළි කර්කෂ
කටු පඳුරු පමණක් නොවෙයි
පිනි පොකුරු බර
ළපලු කෙළවර
සැලෙන මිණිමුතු සිනාවයි
ඔබ ඒ කුසුම් සම්පතයි
කුසුම් සම්පතට ස්තුතියි
රැය තැනින් තැන
බිම දමා ගිය
අඳුර හෙට එළිවෙයි
ජීවිතේ එහෙමයි
සන්ධි පාදික සතු සේරම
එකට එක් වී යා යුතුයි
රොද බැඳන් සිරිපා වඳින්නට
පෙළට ඉගිළෙන සමනලුන් හට
එකතු වන්නට
කැරපොත්තන් ද ලෑස්තියි
එහෙම දවසක් එයි
ඔබට නැවතත් ස්තුතියි”

මේ කවි ලිව්වාට කිවිඳුනි ඔබට ස්තුතියි!

– පියන්කාරගේ බන්දුල ජයවීර 

( 202110/04) ” ගෙත්තම්පාණ” සන්ථව ප්‍රකාශනයකි.

 

Leave A Reply

Your email address will not be published.

1 × 2 =