“රාමානුජන් කළ කී දෑ ගැන තවම මා දන්නෙත් වැලි කැටයක තරමයි”

ඉංග්‍රීසි සහ කන්නඩ යන භාෂා දෙකෙන්ම නිර්මාණකරණයේ යෙදුණු, ප්‍රකට ඉන්දීය කවියකු, ජනශ්‍රැති පර්යේෂකයකු, වියතෙකු වුණු නමුත්, ලංකාවට නුහුරු නුපුරුදු ඒ.කේ.රාමානුජන්ගේ මේ පොත, වසරකට පමණ කලින් හොයමින් හිටියේ නිබන්ධන වැඩකට අදාළව. මෙහෙ වෙබ් අඩවි සහ පොත් හල්වල නොතිබුණත් පසුව පොත හොයාගන්න ලැබුණා. ඒ ගිය මාසය අග දී. ඒ වෙද්දි, නිබන්ධනය ලබාදී අවසන් නමුත්, එහි ඉදිරි වැඩ සඳහාත් මගෙ වුවමනාවටත් පොත ළඟ තබා ගැනීම අවශ්‍යවුණා.

රාමානුජන්ගේ ජනශ්‍රැති පර්යේෂණ, ලිපි හුදෙක් ඉන්දියාව ඇසුරින් ම ලියූ ඒවා පමණක් නොවේ. වෙනත් සාහිත්‍යයන් සමඟ අන්තර් පඨිත පඨන වෙත පිවිසීමත්, ඒතුළින් නව මත ගොඩනැංවීමට නොමැළිවීමත්, ජනකතා රැස්කිරීමේ දී න්‍යායන් මත පිහිටීමත්, විද්‍යානුකූල ක්‍රම අනුගමනයත් විශේෂයි. ඒනිසා ශාස්ත්‍රීය ලෝකයේ ඔහු ප්‍රකට පඬිවරයෙකු සේ සලකනවා. ජනකතා වගේ ම ඔහුගේ කවිත් වෙන ම තලයකට අපව ගෙනියනවා.

ඒ. කේ. රාමානුජන් ගැන ලියූ, ලංකාවේ ලේඛකයන් අතරින් මේ දක්වා මට හමුවී තිබුණේ, මහාචාර්ය ගණනාත් ඔබේසේකර සහ ලියනගේ අමරකීර්ති යන දෙදෙනාත්, සමන් වික්‍රමාරච්චිත්, පමණයි. ඒවා, ඔවුන්ගේ ලිපි සහ කෘතිවල සඳහන්. එසේම, රැස පුවත්පතේ දිනේශ් දේවගේ ලියා පළ කළ ලිපියකත් ඔහුගෙ කෘතියක් නිකරුණේ පාසල් විශය නිර්දේශයෙන් ඉවත් කිරීමක් ගැන, සඳහන්ව තිබුණා.

ගණනාත් ඔබේසේකර, බෞද්ධ ඉතිහාසයේ පීතෘ ඝාතන සම්බන්ධව තමන් ලියූ ලිපියක ආරම්භයේදී ම ඒ ලිපිය ලියන්න තමන්ට, රාමානුජන්ගේ “හින්දු ඊඩිපස්” ලිපිය ආස්වාදනීය පෙළඹවීමක් කළ බව දක්වනවා. රාමානුජන්ගේ එම ලිපිය, ඉංග්‍රීසි බසින් කෘතියක පළවෙනවා. නිබන්ධනය වෙනුවෙන් ඒ ලිපිය වැඩි බරක් උසුලූ බව කිව යුතුයි.
අමරකීර්ති කළ, “පහන සහ කැඩපත” සහ “අමුතු කතාව” කෘතිවළ රාමානුජන්ගේ කෘතියක එන සිදුවීමක් සහ ඔහුගේ නම පාදක සටහන් ලෙස යොදා තිබෙනවා.

සමන් වික්‍රමාරච්චි කළ ‘නොනිමි පෙරවදන’ කෘතියේ “ඔවුන් ඉංග්‍රීසියෙන් ලිව්වේ ඉන්දීය අනන්‍යතාව රැකගනිමිනි” යන ලිපියේ තිබී රාමානුජන්ගේ නම හමුවනවා.
ඊඩිපස් ආකාරය ගන්නා ඉන්දීය ජනකතාවක් වන, “Mother marries son” රාමානුජන් රැස් කළ ඉන්දීය ජනකතා කෘතියක දැක්වෙනවා. ඒ පොත මට කියවන්න ලැබුණේ, Kanaka Abeygunawardanaගේ ගෙදර ගිය වෙලේ පුස්තකාලයෙන්.එතෙක් කාලයක් රාමනුජන් කෙනෙක් ගැන නොදැන සිටි මම හාර හාර හොයන්න පෙළඹුනේ එයින්. මේ ජනකතාව කෙටියෙන් ලිපියකට නගන්න මෑතකදී අපට හැකි වුණා.

මේ පොත ගැන පළමුව දැනගත්තේ රැස පුවත්පතෙන්. ඔහුගේ දිනසටහන් ඇසුරින් කළ පොත ගැන කෙටි සඳහනකින්.
කොහොම වුණත් රාමානුජන්ගේ කෘති වගේ ම ඔහු ගැන ලිපිත් ලෝක මට්ටමින් රචනා වී පළ වී තිබෙනවා. මේවා අන්තර්ජාලයෙන් ඇතිතරම් සොයාගන්න පුලුවන්. රාමානුජන් කළ කී දෑ ගැන තවම මම දන්නෙත් වැලි කැටයක තරමක් විතරයි.
මේ සේරම නිසා, පොත අතට ගැනීම ම ප්‍රහර්ෂයක් මට. ඉදිරි වැඩ ඉදිරියට..
අනෙක, රුන්දතී රෝයිගේ අලුත් පොත. රෝයි මට චරිතයක්. බස ඊටත් එහා චරිතයක්.
Read Plus Foundation ස්තූතියි !

– දිල්ශානි චතුරිකා දාබරේ

 

Leave A Reply

Your email address will not be published.

20 − 9 =