චීන ප්‍රහාරක යානා තායිවානයට ඉහළින්

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ සංවත්සර දිනය ඔක්තෝබර් 01 දිනට යෙදී තිබුණා. චීනය ඒ දිනය සැමරුවේ තායිවානයට තමන්ගේ බලහත්කාරය පෙන්වීමෙන් බවයි වාර්තා වන්නේ. චීන ප්‍රහාරක ජෙට් යානා 38 ක් තම රටේ ගුවන් ආරක්ෂක කලාපයට ඇතුළු වී තමන්ව කුලප්පුකිරීමට උත්සාහ දරන ලද බව තායිවානය පවසනවා. මෙම යානා අතර න්‍යෂ්ඨික බෝම්බ රැගෙන යා හැකි ගුවන්යානා මෙන්ම සබ්මැරීන ප්‍රහාරක යානා ද තිබුණු බවත් පසුගිය දින දෙක පුරා කිහිප වරක්ම ඒවා තම ගුවන් කළාපයට ඉහළින් පියාසර කළ බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. මෙය තායිවානයට එරෙහිව චීනය විසින් මෙතෙක් සිදුකරන ලද විශාලතම ආක්‍රමණය ලෙසයි සැළකෙන්නේ.

කෙසේ නමුත් චීන ගුවන්යානා වලට අනතුරු හැඟවීමක් වශයෙන් තම ප්‍රහාරක යානා ගුවන්ගත කළ බවත් තම මිසයිල පද්ධතිය සූදානම්ව තබන ලද බවත් තායිවානය පවසා තිබෙනවා.

තමන්ට අයත් ප්‍රතාස් දූපත් වලට ඉහළින් චීනය ගුවන් මෙහෙයුම් සිදුකරන බව තායිවානය මීට පෙරත් චෝදනා කර තිබෙනවා. තායිවානයේ ප්‍රධාන දූපතට නිරිතදිගින් බටහිර චීන මුහුදේ පිහිටා ඇති ප්‍රතාස් දූපත් වල පාලනය මේ වන විට තායිවානය සතු වුවත් චීනය එය තමන්ට අයත් භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. චීන ප්‍රහාරක යානා ප්‍රතාස් දූපතට ඉහළින් පියාසර කරන ආකාරය දැක්වෙන වීඩියෝ තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාධ්‍යයට නිකුත්කර තිබෙනවා.

තායිවානය යනු තමන්ගේ රටේ කොටසක් ලෙස සළකන චීනය තායිවානයේ චෝදනා පිළිබඳව මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ. කෙසේ නමුත් මෙම ආක්‍රමණය සිදුවුනේ චීන රජය තායිවාන විදේශ ඇමතිවරයාට එරෙහිව ආන්දෝලනාත්මක වාචික ප්‍රහාරයක් සිදුකර දිනක ගතවීමට මත්තෙන් වීම විශේෂත්වයක්. තායිවානය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට එහි විදේශ ඇමතිවරයා ගන්නා උත්සාහය චීන ආණ්ඩුවට ඔහුව ඇණයක් වෙලයි තියෙන්නේ. චතුරව ඉංග්‍රීසි භාෂාව කතාකරන තායිවාන විදේශ ඇමති ජෝසප් වූ මහතා චීනයේ පීඩනයට එරෙහිව උද්යෝගයෙන් කටයුතු කරන න්‍යායාචාර්යවරයෙකු ලෙස සැළකෙනවා.

තායිවානය ස්වෛරී රටක් ලෙස අමු බොරුවක් වපුරමින් වූ මහතා ගෙන යන මරාගෙන මැරෙන සටන හෙළාදකිමින් චීන ආණ්ඩුවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තායිවාන විදේශ ඇමතිවරයාව හෙළාදැකීමට සභාපති මාවෝ සේතුංගේ වචන උපුටා ගැනීමටත් චීනය කටයුතු කර තිබෙනවා. චීනය වූ මහතාගේ චීන විරෝධී සටන දකින්නේ පළගැටියෙකුගේ කරච්චලයක් විදියට. මාවෝ සේතුං විසින් සෝවියට් සංගමය හා ඇමෙරිකා එක්සත් ජනපදය යන බලවේග දෙකම හෙළාදකිමින් 1963 දී රචිත The river all red නම් කවියෙන් මේ චචන උපුටාගෙන තිබෙනවා.

තායිවානයේ නිදහස සම්බන්ධ ඕනෑම අදහසක් තුළ තමන්ට කරදරකාරී ඝොෂාවක් නඟන මැස්සන්ගේ අදෝනාවකට වැඩි යමක් නැති බව චීනය ප්‍රකාශ කර තිබෙනවා. නමුත් තායිවාන විදේශ අමාත්‍යාංශය මෙය චීනයේ කැත කතාවක් ලෙස හුවා දක්වනවා. එය තමන්ට කරන ලද අපහාසයක් හා අපයෝජනයක් ලෙසයි ඔවුන් සළකන්නේ. තායිවාන සමූද්‍ර සන්දියෙන් එහා පැත්තේ ඇති විශාල රාජ්‍යයේ වාචික ප්‍රචණ්ඩත්වය කෙතරම් අශිෂ්ඨ ද යන්න ඔවුන් ලෝකයට පෙන්නුම් කරමින් සිටින බව තායිවානය පවසනවා.
තායිවාන සමූද්‍ර සන්දිය හරහා පසුගිය දා බ්‍රිතාන්‍ය යුද නැවක් යාත්‍රාකිරීමත් චීනය යම් ආකාරයකින් ප්‍රකෝප ගැන්වීමට හේතුවක්. බ්‍රිතාන්‍යය මේ පියවර ගත්තේ එම අති සංවේදී සාගර කලාපය තමන්ට අයත් බවට චීනය විසින් කරන ලද ප්‍රකාශයට එකට එක කිරීමක් ලෙසයි. බ්‍රිතාන්‍යයේ මෙම පියවර තායිවාන සමූද්‍ර සන්දියේ සාමය හා ස්ථාවරත්වය කඩාකප්පල් කිරීම සඳහා නපුරු චේතනාවෙන් කරන ලද්දක් බව චීන මහජන හමුදාව පැවසුවා. එසේව චීනය හා තායිවානය වෙන් කරන මෙම සංවේදී සාගර කලාපය මැදින් නිතරම ඇමෙරිකානු යුද නැව් ගමන්කිරීමත් චීනය ප්‍රකෝප කිරීමට හේතුවක් බව පැවසෙනවා.

තායිවානය චීනයේ කොටසක් ලෙස පිළිගැනීමට බලකරමින් කරන චීන මිලිටරි හා දේශපාලන බලපෑම් පසුගිය කාලයේ බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා. මිලියන 23ක ජනගහනයක් සිටින තායිවානය චීන ප්‍රධාන භූමියෙන් පිටත දූපතක් ලෙස පිහිටියත් චීනය සලකන්නේ එය මහජන චීනයේම කොටසක් ලෙස. එය කවදා හෝ තම රටේ කොටසක් වනු ඇති බව චීනය විස්වාස කරනවා. තායිවානය යනු අවශ්‍යනම් බලහත්කාරයෙන් නැවත ලබා ගැනීමට හැකි චීනයෙන් කැඩී ගිය පළාතක් ලෙසයි චීන බලධාරීන් සලකන්නේ. නමුත් තායිවානය දිගින් දිගමට පවසන්නේ තම රට ස්වාධීන, නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බව.

කොහොම වුණත් ඉන් එහාට ගොස් තායිවානයේ කටයුතු වලට මැදිහත් වෙන්න චීන රජය මෙතෙක් කටයුතු කළේ නෑ. ඊට හේතුව ඇමෙරිකාව තායිවානය පිළිබඳව දැඩි අවධානයෙන් පසු වීම. චීනය හා ඇමෙරිකාව යන රටවල් දෙකම දිගු කළක් තිස්සේ බැළලියකට කුරුමානම් අල්ලන බළල් නාම්බන් වගේ තායිවානය සම්බන්ධයෙන් එකිනෙකා දෙස සැකයෙන් බලා සිටිනවා.

චීනයේ කොටස් ලෙස සැලකෙන හොංකොං හෝ ටිබෙටය මෙන් උපාසක චරිතයක් රගපෑමට තායිවානය කැමති වුණේ නැහැ. තායිවානය සතුවත් ලක්ෂ තුනක හමුදාවක් සිටිනවා. ඔවුන් රටේ ආරක්ෂාව වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදනයෙන් 20% ක් වෙන්කරනවා. සෑම තරුණ පිරිමියෙක්ම අඩුම වශයෙන් වසරක් හෝ හමුදාවේ සේවය කළ යුතුයි. විදේශ සබඳතා පැත්තෙන් තායිවානය ලොව හුදකලාව සිටියත් ඔවුන් විදේශ රටවල් සමඟ වෙළඳාම් කරගෙන යන්නට විකල්ප ක්‍රමවේද සොයා ගත්තා. Global Finance සඟරාවට අනුව තායිවානය ලෝකයේ පොහොසත්ම රටවල් අතර 17 වන ස්ථානයේ පසුවනවා.

– ශානක ලියනගම ( ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

sixteen + 19 =