සුදු නෙළුම, රතු නෙළුම සහ සුදු නෙළුම

‘දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා’ කෙටිකතා සංග්‍රහයෙන් පොදුවේ ගත් කළ, ලක්ෂණ කිහිපයක් නිරූපණය වෙයි. පළමුවැන්න, ලියනගේ අමරකීර්ති නම් රචකයා භාෂාව සමඟ දක්වන හරඹයයි. ශිල්පීය ලක්ෂණ කෙරේ අලුත් වන දැනුමක් සහිත වීම හේතුවෙන් කෙටිකතාව සමඟ අත්හදාබැලීම් කරන්නට නොමැලිවීම දෙවැන්නයි. තෙවැන්න කෙටිකතාව තුළ ඇතැම් තැන්වලදී රචකයා ම මැදිහත්වී එය විශ්ලේෂණය කිරීමේ ලක්ෂණයයි. සිව්වැන්න, ඔහු අනුදන්නා දේශපාලනය ඉන් නිරූපණය වීමයි. මේ ඇතැම් ලකුණු සෑම කෙටිකතාවකට ම අදාළ වන අතර ඇතැම් ලකුණු කෙටිකතා කිහිපයකින් ඉස්මතු වේ.
මේ කෙටිකතාවලින් එක් කතාවක් ගැනය මේ විමසුම. ඒ, ‘රතු නෙළුම’ කෙටිකතාවයි.

‘රතු නෙළුම’, රත්න ශ්‍රී විජේසිංහ ලියූ ‘සුදු නෙළුම’ ගීය පසුබිම් කතාවක්ව තබාගනිමින්, කළ නව නිර්මාණයකි. අප මෙතෙක් කලක් දැන සිටි ගීයක් වෙන අරුතකින් බැලීම හෝ ඒ ඇසුරින් වෙන ම කතාවක් ගෙතීමක් සිදුවන තැනකදී, රචකයාගේ නිර්මාණශීලී බව මත බොහෝ දේ රඳා පවතී. එම කෙටිකතාව සදහට මතකයේ රැඳෙමින් රැව් නැගීමට ඉඩ ඇතිවාක් මෙන් ම(මුල් කෘතිය සිහිවන සෑම අවස්ථාවකදී ම එම නිර්මාණය ද සිහිවීමට තරම් ප්‍රබලවීම හෝ), මුල් කෘතිය එපාවීමට ද ඉඩ තිබේ. රතු නෙළුම සාධනීයව පිවිසෙන්නේ ඉහත කී පළමුවැන්න වෙතයි. එබැවින්, රතු නෙළුමෙන් සුදු නෙළුමේ අගය වැඩි වන අතර ම, සුදු නෙළුම මත ම නොරැඳී ඉන් මිදී කේවලව නැගී සිටීමේ ලකුණු ද සහිත වෙයි.

මංජුල වෙඩිවර්ධනගේ ‘ගිමන් හරින්නා’ කෙටිකතාව මෙන්, මූලාශ්‍රය වෙනම කෝණයකින් වෙන ම කතාවක් ලෙස හඳුන්වාදීමෙන් වැළකී, කතාවේ චරිතයකට එම මූලාශ්‍රය බලපෑ ආකාරයෙන් උප කතාවක් ගොඩනැංවීමට කතුවරයා සමත් වෙයි. ගොරොක් ගහගොඩ වැව පිළිබඳව කෙරෙන භූ දර්ශන විස්තරය අංශක 360කින් දිස්වෙන්නා සේ තිරසට පතුරුවා හරී. එය, බුත්සරණේ, නාලාගිරි දමනය දකිනු සඳහා නුවරවැස්සන් ගස්, මහල්, සඳලුතල කරා නැගෙමින්, මහල් පිට මහල් බඳිමින්, සැරසුණු සැටි බිම සිට සිරස් කෝණයකින් ඉහළට මැවී පෙනුනා සේය. (බුත්සරණේ නාලාගිරි දමනයේ ඇත්හලේදී ඇතුගේ හැසිරීම් විලාසය, මෙම කෙටිකතා සංග්‍රහයේ ‘අලි මිදුල’ කතාවේදී, මඩ නෑ අලියා ගොඩ ඒමට දැරූ තැත කියන තැන දී සිහි කැඳවෙයි)
කෙටිකතාවෙන් කරුණ රස මැවේ, ශෝක භාව ඇති වේ. දොළුකන්ද, වැව සහ කූඩැල්ලා සංකේත ය. සමස්ත කතාවේ, චිත්තාකර්ෂණීය ම රූපකයක්ව නැගී එන තැන මෙය බව අපගේ හැඟීමයි.
” අක්කෙ?’ ලලන්ත කෑ ගැහුවා.
ඊට ටික වෙලාවකට පස්සේ ලලන්තට උදව්වට වගේ දොළුකන්ද ආයෙත් ‘අක්කෙ’ කිව්ව. ලලන්ත තවත් හයියෙන් ‘අක්කෙ’ කිව්ව. දොළුකන්ද ආයෙත් ඒකම කියලා ලලන්තට උදව් කළා”
ලලන්තගේ හඬ කන්දට ගොස් වැදී, එය දෝංකාරයක්ව යළි ලලන්ත කරා ඒමේ මොහොත, ග්‍රීක කතාපුවතක එන, තනිවම සිතා බලා අදහස් ප්‍රකාශ කළ නොහැකි, කෙනෙකු කියන යමක් දෝංකාරය කිරීමට පමණක් හැකි, ‘එකෝ’ නම් පරිවාර දෙවඟන නියෝජනය කරන්නක් ලෙස ද ගත හැකිය. එම පුවතෙහි ම ‘නාසිසස්’ හඬ නගද්දී එකෝ එහි දෝංකාරය යළි නගන්නාක් මෙන්, ලලන්තයේ හඬට අක්කා වෙනුවට කන්ද පිළිතුරු දෙයි. ඒ දෝංකාරයක් ලෙසිනි.

භාෂාව හතර අත අඹරවමින් කරනම් ගැසීම මෙහි බොහෝ කෙටිකතාවලදී ද මතුව පෙනේ. සෝමරත්න බාලසූරියගේ කෙටිකතාවල මෙන්, උපහාසය දනවන භාෂාවක් ඇතැම් තැනක දී යොදාගැනීම රතු නෙළුමෙහි පමණක් නොව, සමස්ත කෘතියෙහි ම දක්නට ලැබෙන්නකි.

”ගායකයාට ජයග්‍රාහී ලෙස වඳින්නට ඉඩ දෙන්නට මෙන් බුදු මැඳුරෙ ඉන්න බැතිමතුන් ඒ පැත්තට මේ පැත්තට උනා. මොකද ඔහු ‘බුදුන් වැඳීම උදෙසා දහම් පාසලේ ගුරු මණ්ඩලය ද දෙමාපියන් ද සමඟ තව මොහොතකින් සම්මා සම්බුද්ධ රාජයාණන් වහන්සේ වැඩ සිටින බුද්ධ මන්දිරය වෙත ප්‍රවේශ වන’ බව පීකරෙන් කියවුණා”

සුදු නෙළුමක් රතු නෙළුමක් කිරීමෙන් කතාව අවසාන වේ. එය පන්සල් බිමෙහි සිදුවීම උත්ප්‍රාසජනක ය. එක ම භූමි ප්‍රදේශය(පන්සල) තුළ, ගීතයෙන් කියැවෙන සුදු නෙළුම් මල සහ රතු නෙළුම් මල යන දෙක ම ස්ථාන ගත කිරීම ද සූක්ෂමව ඉටු වේ. වැව මැදදී පමණක් නොව, මල් වට්ටි තැබූ කඩයේ සිටියදී ද, ලලන්තට, ‘නෙළුම එහා ඉවුරට පාවෙනු දැනීම’ අනතුරු ඇඟවුම් සීනුවක් මෙන් දැනේ. එය, ඉන් පසුව සිදුවන සිදුවීම ගැන අවදානම පාඨකයාට පෙර සිහිකැඳවන්නාක් සේ ය.

ප්‍රවීණ ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩ විසින් (ඔහුව නියෝජනය කරන මුහුණුපොත් ගිණුමකින් හෝ පිටුවකින්) ඊයේ දිනයේදී සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද ලින්කුවක තිබූ, ‘සුදු නෙළුම’ නමැති ඡායාරූපය වෙත පිවිසෙමින්, රතු නෙළුමේ සිට යළි සුදු නෙළුමටත්, එය නිවැරදිව කිවහොත්, ගීතයේ සිට කෙටිකතාවටත්, කෙටිකතාවේ සිට ඡායාරූපයකටත් යමින් තවත් මානයක් වෙත පිවිසීමට ඔබට හැකිවනු ඇත. සුදු ගවොමක් හැඳි දැරියක් ජලාශයක් පතුලේ නෙත් පියා පාවෙද්දී, වැව මත්තෙන් එන ආලෝකය හා සබැඳිව නොපුබුදු වූ නෙළුම් පොහොට්ටු කිහිපයක් ජල මත්තේ පාව යයි. ඡායාරූප ශිල්පියා – රසංග දිසානායක ය.

– ඩිල්ශානි චතුරිකා දාබරේ (fb)

ඡායාරූප ශිල්පියා – රසංග දිසානායක

 

Leave A Reply

Your email address will not be published.

eighteen + 5 =