යුද්ධය: ඇමෙරිකාවට වියදමක් ද? ආයෝජනයක් ද? – 04

ඇමෙරිකාව සිය ජනතාවගේ බදු මුදල් ඩොලර් ට්‍රිලියන ගණනක් වියදම් කොට වෙනත් රටවල් සමඟ යුද්ධ කරන්නේ ඇයි? සිය ආරක්ෂාව සඳහා ද? නැතිනම් සිය ආධිපත්‍යය ගොඩනැගීම සඳහා ද? බොහෝ දෙනෙකු මේ දෙකින් එකක් සමඟ එකඟ වනු ඇත. එහෙත් මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ එය ඇමෙරිකාව විසින් කරනු ලබන ආයෝජනයක් බවයි! ඔව්, වැය කරන හැම ශතයකටම ප්‍රතිලාභ ලැබෙන ආයෝජනයක්!

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිය ආධිපත්‍යය යුරෝපය තුළ පැතිරවීම සඳහා යොදා ගත්තේ මාර්ෂල් සැලැස්ම පමණක් නොවෙයි. සිය බලය පැතිරවීම සඳහා තබන ලද ඉතා බැරෑරුම්ම පියවර වුණේ නේටෝ සංවිධානය (NATO) පිහිටුවීමයි. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව යනු මුළුමනින්ම පාහේ ඇමෙරිකානු ආශාවන්ට සමපාත වන ලෙස ගොඩනඟන ලද යුද සංවිධානයක්.

බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, අයිස්ලන්තය, ඉතාලිය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, නෝර්වේ, පෘතුගාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් එක්ව ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ හෙවත් ‘නේටෝව’ 1949 අප්‍රේල් 4 වැනි දින පිහිටුවනු ලැබුවා. යුද්ධයෙන් පීඩාවට පත්ව ආර්ථික, දේශපාලන හා සමාජයීය වශයෙන් බිඳවැටී තිබූ යුරෝපයට හදිසියේ මෙවැනි යුද සංවිධානයක් අවශ්‍යව නොතිබුණ ද, ඇමෙරිකාව විසින් අදාළ අවස්ථාව යොදා ගනිමින් මෙම සංවිධානය ගොඩනැඟුවා.

ඇමෙරිකාව මූලික වී මෙම උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) පිහිටුවීමේ ප්‍රධාන අරමුණු දෙකක් තිබුණා. පළමුවැන්න යුරෝපය වෙත සිය අවි ආයුධ විකිණීම සඳහා වූ පසුබිම සකස් කර ගැනීමයි. ඒ සඳහා ඇමෙරිකාව භාවිත කරන ලද්දේ එවකට පැවැති සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පිළිබඳව භීතියක් මවාපෑමයි. එලෙස බියක් නිර්මාණය කර ආරක්ෂාව සඳහා සූදානම් විය යුතු බව අවධාරණය කළා. අනතුරුව ඇමෙරිකාව විසින් සිය නවීනතම අවි ආයුධ නේටෝවට විකුණනු ලැබුවා. දෙවන ලෝක යුද්ධය නිම වීම නිසා අවි ආයුධ සඳහා ඉල්ලුමක් නොමැතිව තිබූ පසුබිමක මෙය නව ප්‍රබෝධයක් ඇමෙරිකානු ආයුධ කර්මාන්තයට රැගෙන ආ බව නොරහසක්.

අනෙක් දෙවන කරුණ වුයේ සෝවියට් රුසියාවට එරෙහිව බලසම්පන්න යුද බලයක් අත්ලාන්තික් කලාපය තුළ බිහි කිරීමයි. මේ අතර ග්‍රීසිය සහ තුර්කිය ද 1952දී මෙම සන්ධානයට ඇතුළු වූ අතර, එවකට බටහිර ජර්මනිය 1955 දී ද ස්පාඤ්ඤය 1982දී ද ඊට එක් වුණා. 1999දී චෙක් ජනරජය, හංගේරියාව සහ පෝලන්තය වැනි රටවල් ද ඊට එකතු වුණා.

බල්ගේරියාව, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රුමේනියාව, ස්ලොවැකියාව සහ ස්ලෝවේනියාව ඊට වසර පහකට පසුවත්, ඇල්බේනියාව සහ ක්‍රොඒෂියාව 2009දීත්, මොන්ටිනිග්‍රෝව 2017දීත්, උතුරු මැසිඩෝනියාව 2020දීත් සම්බන්ධ වීමෙන් සාමාජිකත්වය රටවල් 30ක් දක්වා ගෙන ඒමට ඇමෙරිකාව කටයුතු කළා.

ඇමෙරිකානු ආයුධවලට හොඳ වෙළෙඳපොළක්

දෙවන ලෝක යුද්ධයෙන් පසුව සීතල යුද්ධ සමයේ දී සෝවියට් සංගමය සිය රටවල් ආක්‍රමණය කිරීමේ තර්ජනයක් ඇතැයි ප්‍රබල මතවාදයක් ඇති කිරීමට ඇමෙරිකානු බුද්ධි අංශ කටයුතු කළ අතර, ඊට එරෙහිව ආක්‍රමණයක දී මුහුණ දීම සඳහා ආයුධ රැස් කිරීමට එම රටවල් යොමු කරනු ලැබුවේ ඇමෙරිකාව සැලැසුම්සහගතවයි.  මෙම ගිවිසුමේ ප්‍රකාශිත අරමුණ වූයේ උතුරු අත්ලාන්තික් ප්‍රජාවගේ නිදහස ආරක්ෂා කිරීම වුවත්, ඇත්තටම සිදු වූයේ ඇමෙරිකාව විසින් උපායමාර්ගික යුද-ආර්ථික ගිවිසුමක් ඇති කර ගැනීමයි.

ඕනෑම සාමාජිකයකුට එල්ල කරනු ලබන සන්නද්ධ ප්‍රහාරයක් සැමට එරෙහිව එල්ල කරන ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු කරන බව මෙම ගිවිසුමේ ප්‍රධාන වශයෙන් සඳහන් වුණා. මෙම ගිවිසුම පැහැදිලි ලෙසම යුද, ආර්ථික හා දේශපාලන සහයෝගීතාව දිරිගැන්වීම සඳහා ද සැලැසුම් කරන ලද්දක් බව ඉතාම පැහැදිලියි. නේටෝවට අයත් මේ හැම රටකටම පාහේ ප්‍රධාන වශයෙන් ගුවන් යානා, යුද නෞකා, ගොඩබිම් ප්‍රහාරක යාන-වාහන සහ අවි ආයුධ, සන්නිවේදන උපකරණ, මිසයිල සහ යුද තාක්ෂණික රේඩාර් පද්ධති සපයන්නේ ඇමෙරිකාවයි. එය මේ වන විට ඇමෙරිකාවේ යුද වෙළෙඳාමට නිශ්චිත වූ වෙළෙඳපොළක් ඇති කර ගනු ලැබ තිබෙන අතර, එමඟින් ඔවුන් විසින් ස්ථාවර ආයුධ වෙළෙඳපොළක් ඇති කර ගෙන තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයේ දී විශාලනය කර ගත් ආයුධ නිෂ්පාදන හැකියාව ඇමෙරිකාව පවත්වාගෙන යන්නේ මේ ආකාරයෙන්. විශේෂයෙන් ඇමෙරිකාව විසින් නේටෝව සඳහා අතිවිශාල මිසයිල පද්ධති සහ සන්නිවේදන පද්ධති ප්‍රමාණයක් සම්පාදනය කරනු ලබන අතර, ඒවායේ වටිනාකම කොතෙක් ද යන්න රහසක්. මෑතක දී බයිඩන් පාලනය විසින් ද නේටෝව සහ චිලී රාජ්‍යය  සඳහා ඩොලර් බිලියන 150ක නවීකාරක මිසයිල පද්ධති සහ සන්නිවේදන උපකරණ පද්ධති සැපයීම සඳහා ගිවිසුම්ගත වුණා.

ඒ බව පෙන්ටගනයේ යුද ආරක්ෂාව සුරැකීමේ සහයෝගීතා ඒජන්සිය (Defense Security Cooperation Agency) විසින් තහවුරු කර තිබෙනවා.

අවශ්‍යතා නිෂ්පාදනය කර වෙළෙඳපොළ ඇති කර ගැනීම

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකාව ප්‍රධාන වශයෙන් ලෝකයේ විවිධ කලාපවල යුද්ධ  15කට පමණ කෙළින්ම සම්බන්ධ වී තිබෙනවා. 1950-53 කොරියානු යුද්ධය, 1961 කියුබාව ආක්‍රමණය, 1961-73 වියට්නාම් යුද්ධය, 1965 ඩොමිනිකන් යුද්ධය, 1982 ලෙබනන් යුද්ධය, 1983දී ග්‍රෙනෙඩාව ආක්‍රමණය, 1989දී පැනමාව ආක්‍රමණය, 1991 ගල්ෆ් යුද්ධය හා ඉරාකය ආක්‍රමණය, 1993දී සෝමාලියාව ආක්‍රමණය, 1994දී හයිටි ආක්‍රමණය, 1994-95 බොස්නියානු යුද්ධය, 1999 කොසොවෝ යුද්ධය, 2001දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය, 2011දී ලිබියානු මැදිහත් වීම, 2012 සිට ක්‍රියාත්මක කළ අයි.එස්.අයි.එස්. සංවිධානයට එරෙහි යුද්ධය සහ 2017 සිට සිරියාවට එරෙහිව සිදු කරන යුද්ධය මෙලෙස ඇමෙරිකාව විසින් නියමින් හෝ අනියමින් හෝ ඇති කරන ලද ප්‍රධාන යුද්ධයි.

මෙම යුද්ධවල දී කෙළින්ම ඇමෙරිකාව හෝ නැතිනම් නේටෝව හෝ මැදිහත් කරන ලද අතර, එහි අවසන් ඉලක්කය වුණේ ඇමෙරිකානු යුද ආර්ථිකය බිඳනොවැටී පවත්වාගෙන යෑමයි.  කොටින්ම පක්ෂ හා විපක්ෂ සියලු පාර්ශ්ව වෙත අවි ආයුධ සපයමින්, මිසයිල පද්ධති සපයමින් සිය යුද-ආර්ථිකය නඩත්තු කිරීම සහ අවි ආයුධ පිළිබඳව පර්යේෂණ සිදු කිරීම මෙම යුද්ධ ඇති කිරීමේ ඇමෙරිකාවේ යටි අරමුණයි. අද ද එය නැවතී නැති අතර, ඇමෙරිකාව මේ යුද්ධ හැම එකක්ම සැලැසුම්සහගත ලෙස ඇති කරන ලද ඒවා වන අතර, ඒවා පැහැදිලි ලෙස ම ඇමෙරිකානු ආර්ථික ව්‍යාපෘතියේ කොටස්. මේ සියල්ල පිටුපස සිටින්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, පෙන්ටගනය හා එරට බුද්ධි අංශයි.

මෙහි අලුත්ම උපායමාර්ගික සැලැස්ම මේ වන විට ඉන්දු-පැසිපික් කලාපය තුළ ඔවුන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ චීනය පිළිබඳව වන ආක්‍රමණික බියක් කලාපයේ රටවල් තුළ ජනිත කර ඒ මත යුද උණූසුමක් ඇති කර එහි වාසිය හරහා කලාපයේ රටවල් නවීනතම අවි ආයුධ මිල දී ගැනීමට යොමු කිරීම ඇමෙරිකාවේ උපායමාර්ගික සැලැස්ම වී තිබෙනවා.  මේ වන විටත් සිය ආරක්ෂක අංශ නවීකරණය කිරීමට ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව වැනි රටවල් කටයුතු කරමින් සිටින අතර, එම යුද්ධෝපකරණ හා තාක්ෂණික උපකරණ ඇමෙරිකාව සපයමින් සිටිනවා. නේටෝව පන්නයේම යුද සංවිධානයක් මේ වන විට ඉන්දු-පැසිපික් කලාපය මුල් කරගෙන ඇති කර තිබෙන අතර, ‘කොඩ් නේෂන්ස්’ (Quad Nations) ලෙස හඳුන්වන්නේ එම සංවිධානයයි. එය මුළුමනින්ම යුද සංවිධානයක්.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවි වෙළෙඳාම

ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධිත දේශපාලන-මිලිටරි කටයුතු පිළිබඳ කාර්යාංශය (Bureau of Political-Military Affairs – PM$RSAT) හරහා පමණක් එක්සත් ජනපද රජය වසරකට ඩොලර් බිලියන 55ක පමණ විදේශීය සගයන්ට සහ හවුල්කරුවන්ට ආරක්ෂක උපකරණ හා යුද උපකරණ අලුතින් අලෙවි කරයි.

ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක සහයෝගීතා ඒජන්සිය (DSCA) සමඟ සමීප සහයෝගීතාවකින් දේශපාලන-මිලිටරි කටයුතු කාර්යාංශයේ හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කලාපීය ආරක්ෂක හා ආයුධ අලෙවි කිරීමේ කාර්යාලය මඟින් මේ කටයුතු සිදු කරනු ලබනවා. එක්සත් ජනපද ආරක්ෂක කොන්ත්‍රත්කරුවන් සමඟ හා හමුදා සේවා සමඟ සාකච්ඡා කර අදාළ ගනුදෙනු  ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කරනවා.

මෙම දේශපාලන-මිලිටරි කටයුතු පිළිබඳ කාර්යාංශය (Bureau of Political-Military Affairs) ඇමෙරිකානු හවුල්කරුවන් නැති නම් මිත්‍ර රටවල් හඳුන්වන්නේ ‘අපගේ පාරිභෝගිකයන්’ (foreign allies and partners who are our customers) ලෙසයි. මෙම සගයන්ට සහ හවුල්කරුවන්ට පුහුණුව, තාක්ෂණය, නව නිපැයුම්, සැපයුම් තිරසාරභාවය සහ යුද  කොන්ත්‍රාත්කරුවන්ගේ අඛණ්ඩ සැපයුම් සහාය ඇතුළත්ව පූර්ණ අවි ආයුධ සැපයුම් තහවුරු කරන්නේ මෙම ආයතනයයි. මෙම හවුල්කාර රටවලට සහ සිය මිතුරන්ට වසරකට ඩොලර් බිලියන 55ක අවි ආයුධ අලෙවි කරන ඇමෙරිකාව පෞද්ගලික සමාගම් හරහා එක්සත් ජනපදයේ ‘21 වැනි කාණ්ඩය’ ලෙස හඳුන්වන විශේෂ වර්ග කිරීමක් යටතේ පාලනය වන ආරක්ෂක උපකරණ, සේවා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හා තාක්ෂණ අලෙවිය හරහා වසරකට දළ වශයෙන් ඩොලර් බිලියන 115ක් වෙනමම උපයනු ලබනවා.

මෙම අවි ආයුධ අලෙවි කරන්නේ කාට ද යන්න හෙළි කරන්නේ නැහැ. ඒවා රහසිගත පාරිභෝගිකයන්ට අලෙවි කරනු ලබනවා. මේ සඳහා නියාමන අනුමැතීන් දේශපාලන-මිලිටරි කටයුතු කාර්යාංශයේ ආරක්ෂක වෙළෙඳ පාලන අධ්‍යක්ෂ මඟින් සපයනු ලබයි. මෙම අලෙවිය හා වෙළෙඳ ගිවිසුම් පිළිබඳව විදේශීය අවසන් පරිශීලකයන් හා ගැනුම්කරුවන් සහ එක්සත් ජනපද සමාගම් අතර සිදු වන සාකච්ඡා අතිශයින් පෞද්ගලිකව සිදු කරනු ලබන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ දේශපාලන-මිලිටරි කටයුතු කාර්යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරනවා.

මෙම අවි ආයුධ විකුණනු ලබන්නේ පිළිගත් රටවල් වෙත ද, නැතිනම් වෙනත් කණ්ඩායම් වෙත ද, ත්‍රස්ත සංවිධාන වෙත ද යන්න හැමදාමත් රහසක්. නමුත්, ලොව පුරා විවිධ කල්ලි, කණ්ඩායම්, ත්‍රස්ත සංවිධාන හා වෙනත් පුද්ගලයන් භාවිත කරන්නේ මෙලෙස ඉතාම රහසිගත ලෙස ඇමෙරිකාව විසින් සම්පාදනය කරනු ලබන අවි ආයුධ බව පොදුවේ පිළිගැනීමක් පවතිනවා. එසේ නොමැතිව ලෝකයේ කිසිදු ත්‍රස්ත සංවිධානයක් අවි ආයුධ තමන් විසින්ම නිපදවන බවක් මෙතෙක් තහවුරු වී නැහැ.  ඇමෙරිකාව විසින් නිල වශයෙන් මෙලෙස අලෙවි කරනු ලබන අවි ආයුධ ලේඛනය https://www.ecfr.gov/current/title-22/chapter-I/subchapter-M/part-121 යන ලින්ක් එක ඔස්සේ ඔබට බලා ගත හැකියි.

යුද්ධය ආයෝජනයක් ලෙස

ඇමෙරිකාවේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව පමණක් වසරකට ඩොලර් බිලියන 170ක අවි ආයුධ අපනයනය කරනු ලබනවා. එක්සත් ජනපදයේ ආයුධ අපනයනයෙන් හරි අඩක් එනම් සියයට 47ක් පමණ අපනයනය කරනු ලබන්නේ මැදපෙරදිගටයි. ලෝකයේ ඉතාම අවිනිශ්චිත ආරක්ෂක තත්ත්වයක් පවතින්නේ මෙම කලාපයේයි. එවැනි පසුබිමක් තුළ සෞදි අරාබිය විශාලතම ඇමෙරිකානු අවි ආයුධ ගැනුම්කරුවා වනවා. එක්සත් ජනපදයේ මුළු ආයුධ අපනයනයෙන් 24%ක් සෞදි අරාබියෙන් පමණක් මිල දී ගනු ලබනවා.

එක්සත් ජනපදය දැන් රටවල් 96කට ආයුධ සපයන අතර, පසුගිය වසර පහක කාලය තුළ ආයුධ අලෙවියේ ගෝලීය කොටස වැඩි කරමින් සිටිනවා. පසුගිය පස්අවුරුදු කාලයට සාපේක්ෂව 2016-2020 කාලයේ දී සියයට 25ක වර්ධනයක් අත්පත් කර ගනිමින්, අවි ආයුධ අපනයනය සඳහා විශාලතම වෙළෙඳපොළ බවට මැදපෙරදිග පත් කරගෙන තිබෙනවා.  එම වර්ධනය සෞදි අරාබිය සඳහා සියයට 61ක්, ඊජිප්තුව සඳහා සියයට 136ක් සහ කටාර්  සඳහා සියයට 361ක් ලෙස හඳුනා ගත හැකියි. එමෙන්ම මැදපෙරදිග තවත් රටවල් රැසක් ද ඇමෙරිකාවෙන් ආයුධ මිල දී ගන්නවා.

ඇල්ජීරියාව, බහරේන්, ඉරාකය, කුවේටය, ලෙබනනය, ලිබියාව, මොරොක්කෝව, ඕමානය, ටියුනීසියාව, යේමනය ඇතුළු රටවල් රැසක් ඒ අතර වනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම රටවල් සියල්ලේ ම පාහේ අභ්‍යන්තරයේ විවිධ ත්‍රස්ත සංවිධාන සහ කැරැලිකාර සංවිධාන ද ක්‍රියාත්මක වීමයි. විශාල වශයෙන් මැදපෙරදිග ක්‍රියාත්මක වන මෙම ත්‍රස්ත සංවිධාන විසින් නවීනතම අවි ආයුධ විශාල වශයෙන් භාවිත කරන අතර, ඒවා ලැබෙන්නේ කොහෙන් ද යන්න තවමත් නිශ්චිත ලෙස හෙළි වී නැහැ●

ලබන සතියට

AUKUS ගිවිසුම සහ ඇමෙරිකාවේ ආයුධ වෙළෙඳාමේ නව මානය

 

අනුහස් බණ්ඩාර
Leave A Reply

Your email address will not be published.

13 + fourteen =