“කළු උස මනුස්සයෙක්”, ජීවන ගමන් සගයෙක්.

කෙටිකතාවක් යනු සංක්ෂිප්ත පරිකල්පනීය ප්‍රකාශනයකි. එය සීමිත චරිත නිරූපනයකින් හා සිද්ධි ගොඩනැගීමකින් පාඨකයා තුල දිගු පරිකල්පනයක් ගොඩනගන ප්‍රබන්ධ ප්‍රවර්ගයක් බව විචාරකයින්ගේ මතයයි. රචකයා විසින් ගොඩනගන අවස්ථා සිද්ධි හා චරිත නිරූපනය අතර තාර්කික සම්බන්ධතාවක් තිබිය යුතු අතර ඒවා අතර සිදුවන හමුවීම් නාට්‍යමය හෙළදරව්වීමකට දිශානති වේ. “කෙටිකතා යනු වෙනත් ලෝක වලට මෙන්ම වෙනත් මනස් වලට සහ සිහින වලට පිවිසීම සඳහා ඇති කුඩා කවුළු ය. එයින් ඔබට අනන්ත වූ විශ්වයේ සැරිසැරීමට අවස්ථාව උදාවේ.” වැනි විචාරක සටහනකින් අපට කියා පාන්නේ කෙටිකතාවේ ඇති සියුම් ප්‍රකාශන බලයයි.

ප්‍රින්ස් සේනාධීර සාහිත්‍ය ලෝකයේ දී අපට පළමුවරට මුණ ගැසෙන්නේ කවියෙකු ලෙසිනි. ඔහු පළමු වරට කෙටිකතා ප්‍රබන්ධ ප්‍රවර්ගයට පිවිසෙන්නේ 2020 වසරේ දී රචනා කළ “පුස්තකාල පූසා” කෙටිකතා සංග්‍රහයෙනි. අධි යථාර්ථවාදී ප්‍රබන්ධ රීතියක් අනුගමනය කිරීමට ඔහු තුල ඇති ලාලසාව මෙන්ම සියුම් නිරීක්ෂණ කුසලතාව එයින් ප්‍රකට කර තිබුණි. සිය ප්‍රථම කෙටිකතා එකතුව නිකුත් වී වසරකට අඩු කාලයකින් ඔහු දෙවන කෙටිකතා සංග්‍රහය වන “කළු උස මනුස්සයෙක්” නිකුත් කරන්නේ කතන්දර කියන්නෙකු ලෙස දිගු පියවරක් ඉදිරියට තබමිනි. කෙටිකතා 08කින් සමන්විත මේ කෘතිය තුලින් මිනිස් අභ්‍යන්තරයට පිවිසීමට තමන් තුල ඇති හැකියාව ඔහු මනාව ප්‍රකට කරයි. මේ සඳහා ඔහු පාදක කරගන්නේ මෑත අත්දැකීම් වුව ඒවා නිරීක්ෂණය කරන්නේ වෙනස් පර්යාලෝකයකිනි. “කළු උස මනුස්සයෙක්” කෘතියේ එන පළමු කෙටිකතාව වන “අනෙක් සපත්තුව” මෑත ඉතිහාසයේ මහත් උත්කර්ෂයට නැගුනු රණවිරු සංකල්පය, එය ස්ථාන ගතකර ඇති හිස් බොල් අවකාශයෙන් මානුෂීය මහපොළවකට සල්ලඩයකින් පෙරා ගත් කතාවකි. එහි කේන්ද්‍රීය න්‍යෂ්ටිය වන්නේ යුද්ධයක දී මියගිය සෙබලෙකු ගේ හමුදා සපත්තුවයි.

ප්‍රින්ස් මේ ද්‍රව්‍යමය වස්තුව වටකොට ගොඩනගන චරිත කිහිපයක් වර්තමාන හා අතීතයට ගමන් කරවමින් කතාව ගොඩනගයි. සපතේරුවෙක්, හමුදා නිළධාරීන් හා මියගිය සෙබලා ගේ පෙම්වතිය යන චරිත පාඨකයාට එහිදී සම්මුඛ කෙරේ. විටෙක එය අධි යථාර්ථවාදී රීතියත් විටෙක යථාර්ථවාදී රීතියත් එකිනෙකට සම්මිශ්‍රණය කර ඉදිරිපත් කෙරේ. සපතේරුවෙකු හමුදා සෙබලෙකුගේ තනි සපත්තුවක් ලඟ තබා එය ප්‍රදර්ශනය කර මුදල් ඉපැයීමට තැත්කලා යැයි ද එය දේශද්‍රෝහී වරදක් යැයිද සලකමින් හමුදා සාමාජිකයින් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන මියගිය සෙබලාගේ සපත්තු ජෝඩුවේ අනෙක සොයා යන තැනින් කතාව ඇරඹේ. සපතේරුවාට මෙය වරදක් ලෙස නොදැනේ ඔහු මේ තනි සපත්තුව තබා ගෙන සිටියේ හමුදා සෙබලා කර කාර්යයට ගෞරවයක් ලෙසින් යැයි ඔහු සිතයි. හමුදා සාමාජිකයින්ට එය දේශද්‍රෝහී කටයුත්තකි. දැන් හමුදා සෙබලුන්ගේ අභිප්‍රාය වන්නේ ඉතිරි සපත්තුව සොයා ගැනීමයි. මේ සපත්තුව ඔහුට ලබාගන්නේ තමන්ගෙන් සපත්තු මසා ගැනීමට පැමිණෙන තරුණ ගැහැනියකගෙනි. ඒ ගැහැනිය හමුදා සෙබලාගේ පෙම්වතියයි. මේ කතාව කිසියම් හැඩයකින් අභීක්ෂක (Detective) කතා ශෛල්‍යයට ද නෑකම් කියයි. මුලු කතාව පුරාම රසිකයා බැඳතබා ගන්නේ කුතුහලයයි. තරුණිය සමග පෙමින් වෙලෙන හමුදා සෙබලා ඒ ප්‍රේමයට අදාල විවිධ ස්මරණයන් ට්‍රන්ක පෙට්ටියක දමා සුරකී. ආයුධ අත දරණ සෙබලා තුල සිටින මනුස්සයා ප්‍රින්ස් නිර්මාණය කරන්නේ එලෙසිනි. මේ ට්‍රන්ක පෙට්ටිය අපූරු සංකේතයක් ලෙස කෙටිකතාවේ අපරභාගය තුල ඔහු මෙහෙය වන ආකාරය අපූරුය. මතකයන් ගබඩා කල එය විවර කල හැක්කේ කඳුළු වලටය. යුද මානසිකත්වයක් තුල, මියගිය සෙබලා ගේ බූට් යුගල යනු සංකේතීය ප්‍රදර්ශන භාණ්ඩයකි. ඉන් එහා ගිය මානුෂිය කාරනා යුද සමයක පමණක් නොව පශ්චාත් යුද සමයක වුව වලංගු නැත. මිනිසුන් තුල ඇති ආවේනික සියුම් චර්යාවන් නිරීක්ෂණය කිරිම හා ඒ මත පදනම්ව විසල් පරිකල්පන ලෝකයක් ගොඩනැගිය හැකි බව ඔහුගේ මෙම කෙටිකතා එකතුව පුරාම දක්නට ඇති සුවිශේෂ කාරණයකි.

ප්‍රින්ස් ගේ “කළු උස මනුස්සයෙක්” කෘතියේ ඒ නමින් එන කෙටිකතාව එක් පසකින් ආකෘතිමය අත්හදා බැලීමකි. අනෙක “සෑම මිනිසෙකුටම ගෞරවනීය මරණයක් හිමිවිය යුතුය” යන්න හඬගා කියන්නකි. අකෘතිමය වශයෙන් ඔහු කරණ අත්හදා බෑලීම වන්නේ එකම අනුභූතිය ප්‍රවේශ මාර්ගයන් දෙකකින් කෙටිකතා දෙකක් ලෙස ඉදිරිපත් කිරිමයි. “කළු උස මනුස්සයෙක්” නම් වන පළමු කෙටිකතාවේ දී මාඔයේ පාවී ආ නා ඳුනන මළ සිරුරක් හා එය රෝහලට භාර දෙන සේතන් නම් ගැමියෙකු ඔහු ගේ හෘද සාක්ෂිය අතර ඇතිකර ගන්නා ප්‍රතිවිරෝධතාමක අරගලය ඇසුරු කරගෙන ගොඩනැගේ. රෝහලේ මෘත ශරීරාගාරයට භාර දෙන මළ සිරුරට අයිතිකරුවෙකු ඉදිරිපත්වේ යැයි බලාසිටීම හා එය ගෞරවනීය අවමංගල්‍ය අවසන් කටයුත්තක් විය යුතු යැයි විශ්වාස කරන සේතන් අවසන තමන්ම සහභාගි වී යම් ගෞරවනීය අවමංග්‍යයක් බවට මානසිකව එය පරිවර්තනය කරන්නට තැත්කරන ආකාරය ප්‍රින්ස් විසින් ඉදිරිපත් කරන්නේ නාඳුනන මළසිරුරු මගදෙපස දැවීගිය ඉතිහාසයක් ඇති, ගෞරවනීය මරණ හිමි නොවන මිනිසුන් අනීවාරතේ මිය යන වර්තමානයක ජීවත් වන අපේ හද කම්පා කරවමිනි.

“කළු උස මනුස්සයෙක්” කෙටිකතාවේ අපට හමුවන්නේ නිර්නාමික මළසිරුරකි. නමුත් “කළු උස මනුස්සයෙක් II” කෙටිකතාවේ අපට අප්පුහාමි නම් ශූර ගොවියෙක් හමුවේ ඔහු මහපොළොවට, ගොවිකමට බෙහෙවින් ආදරය කරන, ගෞරව කරන කළු උස මනුස්සයෙකි. රාජ්‍ය නිලධාරියෙක් වන සිය බාල සහෝදරයා විසින් දමා ඇති බෙදුම් නඩුවක් හේතුවෙන් ඔහුට නීතිමය වශයෙන් සිය කුඹුරට බැසීම තහනම් වෙයි. ඔහුගේ සමස්ත ජීවිතයේ මානසික හා කායික බන්ධනය වන්නේ කුඹුරයි. මිනිසුන් භූමිය සමග ඇතිකරගන්නා අවිච්චින්න සම්බන්ධතාවේ ස්වරූපය ප්‍රින්ස් අපට සියුම්ව පැහැදිලි කරයි. සිය කුඹුරු ගොවිතැන අහිමිවීමෙන් කම්පාවට පත්වන අප්පු අයියාගේ කතාව “කළු උස මනුස්සයෙක් II” හි ප්‍රස්තූතයයි. සිය ගොවිකම අහිමි වීමෙන් පසු තමන්ට තමන් ද අහිමිකරගන්නා කළු උස මිනිසෙකු වන අප්පුහාමි එතැන් සිට නිර්නාමික පුද්ගලයෙකු බවට පත්වේ. අවසන ඔහු ගඟේ ගැඹුරුම තැන අසා ඒ දියට ලිස්සා යයි.

පළමු කතාවේ හමුවන කළු උස මිනිසෙකුගේ මළ සිරුර හා දෙවන කතාවේ හමුවන කළු උස මිනිසෙකු වූ අප්පුහාමි යනු එක්කෙනනෙක් ද? නැත්නම් දෙදෙනෙක් ද? එය අප නොදනී. එහෙත් දනී.

“සී.සී.ටී.වී” නමින් වන කෙටිකතාව ආවේක්ෂණ කැමරා තාක්ෂණය සමාජයේ ආන්තික මිනිසුන්ගේ ජීවිත ක්‍රියාකාරකම් මිස ඔවුන්ගේ ආත්මීය ගැටලු ආවේක්ෂණය නොකරන බවට, නැත්නම් හේතුව අල්ලා නොගන්නා ඵලය පමණක් අල්ලාගන්නා ක්‍රියාවලියක් බවට ඉතාම සියුම් ලෙස ඉඟිකරන අපූරු කතාවකි. තාක්ෂණය සැම විටම සිදු කරන්නේ පවත්නා විෂම ක්‍රමය නඩත්තුකිරිම මිස එය නිරීක්ෂණය කිරීමට පහසුකම් සැලසීම නොවේ. සිය මිතුරාගේ දියණිය ගේ රෝගයට අත්‍යවශ්‍ය බෙහෙතක් සොයා දී දරුවාව මරණයෙන් ගලවා ගැනීම වෙනුවෙන් සුපිරි වෙළඳ සැලක ෆාමසිය රාත්‍රියේ බිඳ බෙහෙත් සොරා ගන්නා එහිම ආරක්ෂක නියාමකයෙකු කේන්ද්‍රීය චරිතය ලෙස තබා කතාව ගොඩනැගේ. ආරක්ෂක නියාමකයෙකු වන ගුණපාල වැනි අය අපට දෛනිකව මුණ ගැසී ඇතත් ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න අපට මුණ ගැසී ඇත්දැයි සිතෙන ආකාරයට කතාකරුවා කෙටිකතාව ගොඩ නගා තිබේ. මේ කෙටිකතාව තුල සමාජයේ ආන්තික මිනිසුන්ගේ ජීවිත අභ්‍යන්තරය ආවේක්ෂනය කිරීම සඳහා ප්‍රින්ස් අප ඇසට ආවේක්ෂණ කැමරාවක් සවි කරනු දැනේ.

ලියුම් බෙදන්නෙකු වන රත්නපාල ගේ ප්‍රේමය විවිධ බරපතල නොගැලපීම් සහිත සමාජ තල දෙකක් අතර ගොඩනැගෙන අපූරු ප්‍රේමයකි. සමාජයේ ඉහළ පන්තියක කුලවන්ත තරුණියක වන කල්‍යාණි හා සමාජයේ ආන්තික තීරුව නියෝජනය කරන රත්නපාල අතර ගොඩ නැගෙන අප්‍රකාශිත එහෙත් ඇඟවුම් ප්‍රේමය ඔවුන්ගේ මුලු ජීවිතය පුරා අනිවාර්ය රිද්මයක් වී ගලා යන ආකාරයත්, ප්‍රේමය, විවාහය, ලෞකික ජීවිතය ගැන මේ සමාජ තලයන් දෙකෙ හි කියවීමත් “ලියුම් මාත්‍රාව” නම් වූ කතාවෙන් නිරූපිත වේ. මේ සඳහා ප්‍රින්ස් භාවිතා කරන්නේ එකිනෙකා අතර හුවමාරු වූ ලියුම් කිහිපයකි. ජයතිලක පියුම් මහත්තයාගේ ලියුම, උප තැපැල් ස්ථානාධිපති ජයදේව මහත්තයාගේ ලියුම, මධ්‍යම රාත්‍රියේ තුරුපත් අග, පිනි බිංදු මතින් ලියැවුණු කල්‍යාණි ගේ ලියුම, මධ්‍යම රාත්‍රියේ තුරුපත් අග, පිනි බිංදු මතින් ලියැවුණු රත්නපාලගේ ලියුම, නිමල්සිරි ගේ ලියමන ආදී ලියුම් කිහිපයක් ඒ සඳහා රචකයා උපයෝගි කර ගනී. මානව සම්බන්ධතා තුල ඇති ඉසියුම් නිම්හිම් ස්පර්ශකරමින්, අතීතාවලෝකනයන් හා වර්තමානය එකට සම්මිශ්‍රණය කරමින් ගොඩ නගන කතාව පාඨකයා තුල සියුම් කම්පනීය ආලෝක ධාරාවක් කිහිපයක් ජනිත කරයි.

මේ කෘතියේ එන වඩාත්ම හෘද සංවේදී කෙටිකතාව වන්නේ “මුදු මොළොක් කළුගල්” කෙටිකතාවයි. එය විටෙක සාජි එන්. කරූන් ගේ “පිරවි” චිත්‍රපටය මෙන්ම ප්‍රසන්න විතානගේ ගේ “පුරහඳ කළුවර ” චිත්‍රපට කතාවන් හි ඡායාමාත්‍රාවක් සිහිපත් කරයි. මේ කතාව ගොඩ නැගෙන්නේ සොහොන් ස්මාරක ගල් නිර්මාණය කරන විලියම් මාමා වටාය. මරණය හා මියගිය පුද්ගලයා යළි යළි සිහිපත් කරවීම සොහොන් ගල් ස්මාරකයේ සංකේතීය අරුතයි. “මිනිහෙක් මැරෙන එක නවත්තන්න බෑ. ඒත් අමතක වෙන එක නවත්තන්න මේ කළු ගලට පුළුවන්”. ඉතා නිහඬ පුද්ගලයෙකු වූ විලියම් මාමා ගේ කණිෂ්ඨ පුත්‍රයා වන පාලිත මියයන්නේ කහ ඉරෙන් පාර මාරු වන අවස්ථාවක දීය. ඔහුගේ සොහොනට සවි කරණ ස්මාරක ගල පවා නිර්මාණය වන්නේ ද සිය පියා වන විලියම් අතිනි. ඒ අවස්ථාව නිර්මාණය කර ආකාරය අපූරුය. කුල පීඩනයෙන් ද යම් පීඩනයකට ලක්ව සිටින නිසා ඔහු ස්මාරක ගලෙහි සිය පුත්‍රයාගේ වාසගම ඇතුලත් නොකරයි. මේ අතර ඔහු වඩාත් කම්පනයට පත්වන්නේ විශ්ව විද්‍යාල සිසුවෙකු වූ සිය දෙටු පුත්‍රයා වන උදිත අතුරුදන්වීම පිලිබඳවය. ඒ කම්පනය ඔහු පිට කරන්නේ මරණය අනිවාර්යයක් වූ නමුත් මරණයට ගෞරවයක් තිබිය යුතුය යන අදහසිනි. ඔහු එය සංකේතවත් කරන්නේ සැමරුම් ස්මාරක ගලකිනි. උදිත ගේ විශ්ව විද්‍යාල මිතුරෙකු වන රවීන්ද්‍ර විලියම් මාමා ගේ එකම දියණියගේ ප්‍රේමවන්තයා බවට පත් වේ. ඔහුද මරණය වලක්වාගනු පිණිස ශ්‍යාමා සමග විදෙස් ගතවෙයි. විලියම් ගේ වෘත්තීය ජීවිතය ද ක්‍රමක්ෂය වන්නේ යන්ත්‍රානුසාරයෙන් ස්මාරක නෙලීම යාබද නගරයේ ඇරඹෙන බැවිනි. මේ සියලු අහිමිවිම් මැද මානසික වියවුලකට යන විලියම් මාමා සිය දෙටු පුතා ගේ සොහොනේ සවිකිරීමට අකුරු කැටයම් කල සොහොන් ස්මාරක ගලක් ගෝනියක දමා ගෙන මහනුවර වැව රවුමේ සැරිසරමින් බලා සිටී. මොනම හේතුවක් නිසාවත් ඔහු ඒ ස්මාරක ගල අත් නොහරී. තනි නොකරයි. මේ මුලු කතාව පුරාම අප අත්විඳින්නේ අතුරුදන් කිරීමෙන්, පැහැරගෙන යාමෙන්, මරා දැමීමෙන් පාඩම් ඉගෙන නොගත් දේශයක ඒවාට මුහුණ දුන් හඬක් නොමැති (Voiceless) මිනිසුන්ගේ අභ්‍යන්තර ඛේදයයි. තාමත් මෙවැනි වැඩිහිටියන් අපට සමාජයේ සම්මුඛ වේ. එය දැරීමට අපහසු සම්මුඛවීමකි. සොහොන් කොත් ස්මාරකය සංකේතයක් ලෙස ගනිමින් ප්‍රින්ස් කරන මේ වියමන සුවිශේෂ පරිකල්පනයක් බව නොකියාම බැරිය. එය පසුගිය දශක කිහිපයක් පුරා අප මුහුණ දුන් හා දෙන ඛේදයේම ප්‍රතිබිම්බයයි.

“අසූනවයට පස්සේ” කෙටිකතාව සම්පූර්ණයෙන් අපේ පාසැල් අධ්‍යාපනයේ ඇති යල්පැනගිය ස්වරූපයත් ආධානග්‍රාහී ස්වභාවයත් පදනම් කරගත් කතාවකි. විශ්‍රාමික ගුරවරයෙකු ට ඔහුගේ සිසුවෙක් ලියන ලිපියක ස්වරූපයෙන් ගුරුවරයා හා ශිෂ්‍යයා අතර ඇතිවන දුරස්ථ සංවාදයක් සේ කථාව ඉදිරිපත් කෙරේ. මෙය සැබැවින්ම ලංකාවේ ගුරු හා ශිෂ්‍ය භූමිකාවන් හෞතිකව ඈත් කර තැබීම ම සංකේතවත් කරන්නකි. ගුරුවරයා ගේ ඉගැන්වීම් සිත් ගත්තද ශිෂ්‍යයාට ඒ තුලින් පැන නගින ප්‍රතිවිරෝධයන් ගැන පෙරලා ප්‍රශ්න කිරීමට ලංකාවේ අධ්‍යාපනය තුල ඇති ඉඩකඩ සීමිතය. ඇතැම් දේ ඉගැන්වීමේ දී ගුරුවරයා ද ස්වයං සීමාවන් පනවා ගනී. නමුත් සිසුවාගේ සෞන්දර්ය කලාපයන් විවෘත වන්නේ ඒ කොටස් වලිනි. නල දමයන්ති කතාවෙන් කුල්මත්වන සිසුවාගේ යෞවන චෛතසිකයන් හඳුනාගැනීමට හෝ ඒවා තේරුම් ගැනීමට ගුරුවරුන් අසමත් වේ. “අසූනවයට පස්සේ” කෙටිකතාවේ වීරසූරිය මහතා ගේ ඉගැන්වීම තුල ඇති කුළුගැන්වීමෙන් ජයලාල් නම් සිසුවා ගේ සිත දමයන්ති නම් පාසැලේම සිසුවියක හා පෙමින් වෙලේ එහි අතුරු ඵලය වන්නේ සන්නද්ධ කණ්ඩායමක් විසින් ජයලාල් පැහැරගෙන යාමයි. මෙය ඇඹිලිපිටියේ සිසු ඝාතනය මතකයට නංවයි. කෙසේ වෙතත් ඉන් ගැලවෙන ජයලාල් පසුව පුවත්පත් ගවේෂණාත්මක ලේඛකයෙක් බවට පත් වේ. ඔහු වීරසූරිය මහතාට ලිපියක් එවන්නේ ඉන් අනතුරුවය. මේ කෙටිකතාව තුල දෙදෙනාගේ අදහස් අතර ගැටුම නිරූපනය වන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය මෙන්ම ගුරුවරයා හා ශිෂ්‍යයා අතර ඇතිවිය යුතු සම්බන්ධතාව කිනම් ආකාරයක එකක්දැයි යලි සලකා බලන්නට පොළඹවාලමිනි.

“චන්ද්‍රලතා ඇඳ මත උඩුබැල්ලෙන් වැතිරීගෙනම වහලේ වූ සිදුර දෙස බලා සිටියාය. සිදුරට අනුව මේ වන විට වේලාව උදෑසන අටයි තිහ පමණ විය හැකිය. සිදුර තුලින් රිංගන හීන් අව්රැල්ල බිත්තියේ කෙළවරට වැටෙන්නේ ඒ වෙලාවටය. බිත්තියට එපිටින් වූ පොල්ගසේ අතු නිසා, එය මේ වන විට කැඩී බිඳී ගියත් තවත් පැය බාගයකට පසු නිරුපද්‍රිතව බිත්තිය මත ස්ථාවරව පවතිනු ඇත.” කෘතියේ අවසාන කතාව වන “චන්ද්‍රලතාටත් තිරස් දර්ශනයක්” ඇරඹෙන්නේ එලෙසින් විස්තර කෙරෙන තිරස් දර්ශනයකිනි. අවිවාහක කාන්තාවක ගේ ජීවිතයේ එක් පදාසයක් මේ කෙටිකතාව තුල නිරූපිතය. වන්ද්‍රලතා අවිවාහකව බව ඇතැමුන්ට ගැටළුවක් වූවද චන්ද්‍රලතාට එය ගැටළුවක් නොවේ. ඇයට පාසැල් සමයේ සිට තමන්ට වඩා පන්ති කිහිපයක් පහළින් සිටි නිශ්ශංක හා බැඳුණු අපූරු ප්‍රේමයක් වෙයි. එය විවාහයකින් කෙළවර විය නොහැක්කකි. නිශ්ශංක චන්ද්‍රලතාට වඩා වයසින් බාලය. කලින් ඇරඹි නමුත් දැන් ඔහු විවාහකය. කලකට පසු නිශ්ශංක ගම පැමිණි ආරංචියත් සමග චන්ද්‍රලතාගේ සිත වැඩ කරන ආකාරය ප්‍රින්ස් නිර්මාණය කරන්නේ කොලාජ් චිත්‍රයක් පරිද්දෙනි. “රාත්‍රී කාලයේ කඩා පනින ශීතලට, ඒ සඳහා වහලයේ සිදුර වෙත තල්ලු කළේ නිශ්ශංක බව ඇය විශ්වාස කළාය. සමහර රාත්‍රීන් වල සඳ එළිය ලෙසද තවත් විටෙක තරුවක් ලෙසද සිදුර තුලින් බලා සිටින්නේ නිශ්ශංක මිස අන් කිසිවෙක් නොවේ. එපමණක් නොව, උදෑසන තමාව අවදි කරනු පිණිස සිදුර තුලින් කාමරයට බහින හිරු එළිය පවා ඇය විශ්වාස කළේ නිශ්ශංක ගේ වැඩක් ලෙසය.” කොසේ වෙතත් යළි ඇයට නිශ්ශංක මුණ ගැසීම හා ඒ හා බැඳෙන සියලු සිදුවීම් චන්ද්‍රලතාගේ ජීවිතයේ තිරස් අතට දිවෙන දේ මිසක සිරස් අතට ගමන් කරන දේවල් නොවේ.

කෙසේ වෙතත් සමස්තයක් ලෙසින් ගත් කළ ප්‍රින්ස් සේනාධීර ගේ පළමු කෙටිකතා සංග්‍රහය වන “පුස්තකාල පූසා” ට වඩා ඔහුගේ දෙවැනි කෙටිකතා සංග්‍රහය “කළු උස මනුස්සයෙක්” විසල් පිම්මක් පැන ඇති කෘතියක් බව සඳහන් කළයුතුමය. නමුත් කෘතියේ එන අවසාන නිර්මාණ දෙක වන “අසූනවයට පස්සේ” හා “චන්ද්‍රලතාටත් තිරස් දර්ශනයක්” නිර්මාණ දෙක තවත් නිර්මාණාත්මකව වැඩෙන්නට හැරිය යුතු කෙටිකතා දෙකකි. එසේ වුවද ප්‍රින්ස් සේනාධීර අපගේ ප්‍රබන්ධ සාහිත්‍ය තුල අපූරු කතාකියන්නෙකු ගේ භූමිකාව තිර ලෙසම නිරූපනය කරන්නෙක් බව නම් කිවයුතුමය.

– කපිල එම්. ගමගේ

Leave A Reply

Your email address will not be published.

five × two =