“කියෙව්වේ නැත්නම් ලියන්න බැහැ

- මංජුල සේනාරත්න

මංජුල සේනාරත්න මෑතකාලීනව ලංකාවේ ජනප්‍රියතම ලේඛකයන් අතර සිටින ප්‍රම්‍රඛ පෙළේ ලේඛකයන් අතුරින් එක් අයෙකි. ඔහුගේ මෙතෙක් නිර්මාණ දිවිය සහ අනාගතය ගැන කළ සංවාදයක් මෙලෙස ඔබට ඉදිරිපත් කරමි. ඔබට එය ලංකා ඉරිදා සංග්‍රහයෙන් කියවිය හැකි ය.

ඔබ වරක් පවසා තිබුනා දවසට අවම වශයෙන් එක පිටුවක්වත් ලිවීම ඔබේ බලාපොරොත්තුව කියලා. ඉසබෙල් අයියන්දේ හැම අවුරුද්දකම ජනවාරි 08 වෙනිදා අලුත් පොතක් ලියන්න ගන්නවා. ලේඛකයෙක්ට මේ ශික්ෂණය වැදගත් ද?

මම හිතන්නේ ඒ ශික්ෂණය හුගක් වැදගත්. ලේඛනය කියන්නේ තමන් විසින්ම මෙහෙයවා ගත යුතු රාජකාරියක්. එහිදී ඔබව හසුරුවන්න කිසිම කෙනෙක් නැති නිසා තමා විසින්ම සීමාවන්, රීති ඇති කර ගත යුතුයි. සමහර ලේඛකයින්ට තියනවා පොතක් භාර දිය යුතු නියමිත් දිනයක්.ඒ කියන්නේ deadline එකක්. මම වෘත්තිමය ලේඛකයෙක් නොවන නිසා එවැන්නක් මට නැහැ. ගෙවුණු වසර තුනට පොත් තුනක් බිහි වුණත් වසරක් පාසා පොතක් එළි දක්වන්න මගේ අදහසක් නැහැ. විශේෂයන්ම නවකතාවක්. මේ පොත් තුනම කාලයක් තිස්සේ ලියා තිබුණු ඒවා නිසයි මෙසේ එළි දක්වන්න හැකි වුණේ . ඉතිං පොතක් ලිවීම හිතට බරක් කර ගන්න කැමති නැහැ. මගේ ජිවිතයේ වැදගත්ම දේ පොත් ලිවීම නොවෙයි. එසේ වුණත් දවසකට අඩුම තරමින් එක පිටුවක් හෝ ලිව්වේ නැතිනම් මගේ හිතට හරි නැහැ වගේ දැනෙනවා. දවස හිස් කියලා හිතෙනවා. ඉතිං එක පිටුවකින් සෑහිමකට පත් වෙන්න මම පුරුදු වෙලා ඉන්නවා. දවසකට එක හොඳ පිටුවක් ලියා ගන්න හැකිනම් මාස හයක් හෝ හතක් යන විට එය පොතක් බවට පත් කරවනවා. මේ නිසා සතියේ දවස් පහට (සති අන්තයේ නොලියා ) පිටු පහක් මගේ අතින් ලියවෙනවා. එය මගේ රිද්මයට හරි යනවා. ලේඛකයෙකුට මේ රිද්මය ඉතාම වැදගත් කියලා මට හිතෙනවා.

නවකතාවක් ලිවීමේදී ඔබට මුලින්ම චරිත හමුවෙනවද. නැතිනම් කතාව ගොඩනැගෙනවද? නැතිනම් සියල්ල සැලසුම් කරලා ලිවීමක්ද කරන්නේ?

මගේ හිතේ මුලින්ම ගොඩ නැගෙන්නේ කතාව. ඒ කතාවේ මුල මැද අග මම හිතේ සටහන් කර ගන්නවා. ඇමරිකානු ජාතික ජෝන් අර්වින් වැනි ලේඛකයෙක් කියනවා එයා පොතක් පටන් ගන්නේ අවසන් ජවනිකාව හිතේ ඇඳුනාම කියා. පොතක් කියන්නේ වන්දනා ගමනක්. මේ ගමන යන්නට නොයෙක් දේ සූදානම් කර ගත යුතුයි. විශේෂයෙන්ම යන්නේ කොහෙද , ඒ කියන්නේ ගමනාන්තය කුමක්දැයි දැන ගත යුතුයි. අවසානය ගැන වැටහීමක් නැතුව මම පොතක් ආරම්භ කරන්නේ නැහැ. පොතේ කතාව , සිද්ධි ගැන දීර්ඝ සටහනක් ලියා ගත්තට පසුව තමයි එයට චරිත රැගෙන එන්නේ. මා හිතන විදිහට චරිත ගොඩ නැගීම තමයි ඉතාම අපහසු කාර්යය. අතාත්වික කතාවක් වුණත් බොහොම තාත්වික විදිහට නිර්මාණය කරන්න හැකි වෙනවා සාර්ථක චරිත ගොඩ නැගීමක් කරන්න හැකි වුණොත් .

ඔබ නවකතා මෙන්ම කෙටිකතා ද රාශියක් ලියා තියෙනවා. මේ ප්‍රවර්ග දෙක අතර වෙනස ඔබට දැනෙන්නේ කොහොමද?

කෙටි කතාව සහ නවකතාව අතර ඇති වෙනස මොකක්ද කියන ප්‍රශ්නය නිතර ඇසෙන ප්‍රශ්නයක්. සාහිත්‍යය හැදෑරීම හෝ සාහිත්‍යය විශ්ලේෂණය වැනි විෂයන් මා හදාරා නැති නිසා ඔබේ ප්‍රශ්නයට සාහිත්‍යමය උත්තරයක් දෙන්න මගේ දැනුම අඩුයි. ඒ බව ප්‍රසිද්ධියේ කියන්න මම ලජ්ජා වෙන්නේ නැහැ. නමුත් මම දකින්නේ බොහොම සරළ දෙයක්. ප්‍රංශ මහා ලේඛක ජෝර්ජ් සිමොනේ කීවාක් මෙන් කතාවක් කෙටියෙන් ලිවාම එක කෙටි කතාවක් වෙනවා. එය දිගට , චරිත , සිද්ධි විග්‍රහ කිරීම වැඩි වශයෙන් යොදා ගෙන දිගට ලිව්වාම නවකතාවක් වෙනවා. මම දකින්නෙත් එයම තමයි. මා ලියූ කෙටි කතා 300 ක් පමණ තියනවා කොහෙවත් පළ නොවුණු . ඒ හැම කතාවක්ම නවකතාවක් වෙනුවෙන් හිතේ නැගුණු අදහස්. එහෙත් මේ ජිවිත කාලය ඇතුළත නවකතා 300 ක් නොවෙයි තව හය හතක්වත් ලියා ගන්න බැරි බව මම දන්නවා. ඒ නිසයි මම කෙටි කතා ලියන්නේ.

ඔබේ 12.12.12 කෘතිය අලෙවි වාර්ථා තබමින් අලෙවි වුනා. කෘතියක් එලෙස අලෙවි වීම ලේඛකයෙක් විදියට ඔබ භාරගත්තේ කොයි ආකාරයටද?

ඔබ වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. සාහිත්‍ය සමාජය ඔබ දිහා වෙනස් විදිහට බලන්න පටන් ගන්නවා. පෙර නොතිබූ සැළකිලි ලැබෙන්න පටන් ගන්නවා. හදිසියේම ඔබ තේරුම් ගන්නවා මෙතෙක් කාලයක් නොතිබුණු ස්ථාවරයක් ඔබට ලැබී තිබෙන බව. ඔබ වැදගත් පුද්ගලයෙක් බව. 12. 12.12 පොත එළි දක්වන්න කළින් මම කවීෂ ගෙන් ඇහුවා මේක 1000 ක් විකුණා ගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම වසර හතරකට කළින් මගේ පොත් 1000 ක් අලෙවි වුණේ අවුරුදු හයක් ගතවුණු පසුවයි. එහෙම හිටපු මගේ “බියුරෝ ” පොත පළමු මුද්‍රණය පමණක් 6000 කින් පටන් ගන්නවා කීවාම මම තේරුම් ගත්තා යම් වාසනාවක් මා වටා කරකැවෙමින් තිබෙන බව. මගේ ලියවිල්ල පාඨකයා වැළඳ ගනු දැකීම වාසනාවක්. ඒ වගේම මම වඩා හොඳින් තේරුම් ගත් දෙයක් තමයි මේ සාර්ථකත්වය සදාකාලික නැති බව. ඒ නිසයි මම හැම තිස්සෙම මා ගැන අඩු තක්සේරුවකින් ඉන්නේ. එවිට පහළට ඇද වැටීමේදී ලැබෙන කම්පනය අවම කර ගන්න පුළුවන්. මේ සාර්ථකත්වය මගේ අනාගත ලියවිලි වලට බෙහෙවින් උපකාර වුණා . කලෙක මම හිතුවා පොත් ලියන එක නවත්වන්න. මොකද මගේ පොත් විකිනෙන්නේ නැහැයි කියලා දැන ගෙන හිටපු නිසා. මිනිස්සු පොත් කියවන්නේ නැතිනම් ලියලා වැඩක් නැහැ කියලා මට හිතුනා. ඒත් දැන් සම්පූර්ණයෙන්ම එය වෙනස් වෙලා තියනවා. ඒ වෙනස් වීම මට ප්‍රියයි.

12.12.12 කෘතිය අවසානයේදී ඔබ එය සත්‍ය කතාවක් ලෙස ඒත්තු ගැන්වෙන විදියේ සටහන් කිහිපයක් යොදනවා. මෙය අත්හදා බැලීමක්ද? සමහර පාඨකයන් මෙය සත්‍ය සිදුවීමක් ලෙස ද සිතා සිටි බව පේනවා.

සත්‍ය වශයෙන්ම මම දැනගෙන හිටියේ නැහැ එය අත්හදා බැලීමක්ද කියලා . ප්‍රංශ පොත් කීපයකම මම දැකපු දෙයක් මේ අයුරින් මගේ පොතට යොදා ගන්න මම හිතුවා. මගේ මතකයේ හැටියට නොබෙල් සම්මාන දිනූ ඔර්හාන් පමුක් ගේ Museum of Innocence පොතේ අවසානයේ මෙවැනි ක්‍රමයක් යොදාගෙන තියනවා. ශෙහාන් කරුණාතිලක ගේ Chinaman කියවද්දී මට හිතුනේ මෙය ඇත්ත කතාවක් කියලා. මගේ 12.12.12 පොතේ අවසානය ගැන මම තෘප්තිමත් වුණේ නැහැ. පාඨකයා ලබන කම්පනය මදි කියලා මට හිතුනා. අත් පිටපත භාර දෙන්න දින දෙකකට පෙර මම අවසානය සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුවා . ඒ හදිසි වෙනස් කිරීමේදී තමයි මට හිතුනේ වාක්‍ය කීපයක් එකතු කිරීමෙන් පමණක් මෙය සත්‍ය කතාවක්ය යන හැගීම පොතට එකතු කළ හැකි බව. “මේ සිද්ධියේ සැබෑ කතාව කියවන්නට ලැබුණේ මංජුල සේනාරත්න විසින් 2019 වසරේදී රචිත 12.12.12 කෘතිය තුළිනි ” යන වැකිය හුගක් දේ වෙනස් කරන්නට සමත් වුණා . එය ලියද්දි පොතට ලොකු බලපෑමක් වෙයි කියලා ඇත්තෙන්ම මම හිතුවේ නැහැ. වසර දෙකක් ගතව ගියත් අදටත් ඇතැම් ය අහනවා මෙය ඇත්ත කතාවක්ද කියලා.

12.12.12 සිට බියුරෝ කෘතියට එද්දී ඔබ යම් දාර්ශනික බවක් එකතු කරනවා. විශේෂයෙන් පිය පුතු අතර ඇති ඊඩිපස් සංකීර්ණය වෙනුවට ඔබ ඔවුන් අතර ඇති බැඳීම සංකේතවත් කරනවා. මේක ඔබට ආත්මීය දෙයක්ද?

මමත් මගේ පියාත් අතර සමීප සබඳතාවයක් තිබුණේ නැහැ. මගේ ළමා කාලය ගැන යළි ආවර්ජනය කරන්න කැමති නැත්තේ ඒකයි . අපි අතර ආරවුල් කවදාවත් ඇති වෙලා නැහැ. එහෙත් මම හිතනවා පිය සෙනෙහස මට ලැබුණේ නැහැයි කියලා. මගේ තාත්තා මට ආදරය කළ බව මම දන්නවා. එහෙත් ඒ ආදරය පෙනුණේ නැහැ. මට ඒ නොලැබුණු ආදරය මගේ පොත් වල ඉන්න පියවරුන්ගෙන් පිළිඹිබු කරන්න මම උත්සාහ කරනවා.සේන් ගඟේ රැලිත් එක්ක , රෝස මාලිගාවේ මනුසත්තු , ජිවිතයෙන් මාස හයක් , බියුරෝ යන මේ හැම පොතකම ඉන්නවා දරුවන්ට දැඩි ලෙස ආදරය කරන පියෙක්. ඒ වගේම මමත් මගේ පුතුන් දෙදෙනාත් අතර තියෙන්නේ ඉතාම සමීප බැඳීමක්. අපි තුන් දෙනා එකතුවෙන හැම මොහොතක්ම ප්‍රීතිමත් මොහොතක්. බියුරෝ පොතේ දයාල් මැදගෙදර තමන්ගේ පුතු දිහා බලන්නේ මම මගේ දරුවන් දිහා බලන ආකාරයටයි. ඔව් එය සත්‍ය වශයෙන්ම ආත්මීය දෙයක්.

12.12.12 අවසානයට පිරිසක් අකමැති වුනත් මම ඒ අවසානයට කැමතියි. පාඨකයා සැනසීම ද ඔබේ අරමුණ. නැතිනම් පාඨකයා තුළ කම්පනයක් ඇති කිරීමද? නැතිනම් වෙනම එකක්ද?

ඇතැම් ලේඛකයෝ කියනවා පොත ලියන කොට පාඨකයා ගැන හිතන්න එපා කියලා. එහෙත් මට එහෙම කරන්න හිතෙන්නේ නැහැ. විශේෂයෙන් අද දවසේ මගේ ලියවිලි නිසා පාඨකයා කළකිරීමට පත් වෙනවාට මම කැමති නැහැ. මේ නිසා පාඨකයා සනසවන්නත් , කම්පනය ඇති කරන්නත් මම උත්සාහ කරනවා. ඔබ පරිවර්තනය කළ “මරණයේ රළ නැගුම” බලන්න. එය කියවන විට තේරෙනවා ඔල්ගා තොකර්චුක්ගේ තමන්ගේ සිතැගි ලියා තියනවා මිස පාඨකයා සනසන්න උත්සාහ කර නැති බව. එහෙත් ඔල්ගා කියන්නේ බුකර් සහ නොබෙල් ත්‍යාගය දිනපු කෙනෙක්. මගේ පොතක් කවදාවත් නිර්දේශ ලැයිස්තුවකටවත් ඇතුළු වෙන්නේ නැති නිසා මට ලැබී ඇති එකම සම්මානය වන පාඨකයා ගැන මම සිතිය යුතුයි. අපි කොයි තරම් ඉහළ තලයේ ක්ලැසික් පොතක් ලිව්වත් මිනිස්සු ඒක කියවන්නේ නැතිනම් හිත රිදෙනවා. තමන්ගේ පොත් රාක්ක වල වේලි වේලී තියනවට කිසිම ලේඛකයෙක් කැමති නැහැ. මම ඒ තත්වයට මුහුණ දීලා තියනවා. “රෝස මාලිගාවේ මනුසත්තු ” පිට වුණේ 2009 අවුරුද්දේ. මම 2017 අවුරුද්දේ එහි ප්‍රකාශකයාගෙන් ඇහුවා පොත් කොයි තරම් අලෙවි වුණාද කියලා. ඔහු සොයා බලා කීවා තව පොත් 200 ක් ඉතිරි වී ඇති බව. ඒ කියන්නේ අවුරුදු 08 කට පොත් 800 යි. මේ තත්වයට යළිත් වරක් පත් වෙන්න මම අවංකවම කැමති නැහැ. ඒ නිසා මම මා විසින්ම ඇති කර ගත් සීමාවක ජීවත් වෙමින් පාඨකයාගේ රුචි අරුචිකම් තේරුම් ගන්න උත්සාහ කරනවා. මම දන්නවා මේ වෙලාවේ හැමෝම මගෙන් බලාපොරොත්තු වන්නේ THRILLER පොතක්. එහෙත් මගේ ඊළඟ පොත කොහෙත්ම එවැන්නක් නොවෙයි. හුග දෙනෙක් ඉල්ලා සිටිනවා “ජිවිතයෙන් මාස හයක් ” පොත යළි මුද්‍රණය කරන්න කියලා. එහෙත් එය යළි මුද්‍රණය නොකරන්නයි මගේ තීරණය. ඒ නිසයි මා කිව්වේ මගේ සීමාවන් තුළ රැඳෙමින් පාඨකයාව තේරුම් අරං පොත් ලියන්න උත්සාහ කරනවා කියලා.

මේ කෘති ද්විත්වයෙහිම අනියම් සබඳතා කියන කාරණය සහ ඒවා අතර ගොඩනැගෙන සංකීර්ණ මානව සබඳතා දකින්න පුළුවන්. මේ අනියම් ප්‍රේමය ගැන ඔබ විශේසයෙන් දකින දෙයක් තියෙනවද? ප්‍රංශ සමාජයේ මෙවැනි කාරණා ගැන තියෙන ආකල්ප කොහොමද?

මේ පොතේ දෙකේ පමණක් නොවෙයි “බියුරෝ” හැරෙන්නට මගේ අනෙක් හැම පොතකම අනියම් සබඳතා දකින්නට පුළුවන්. බොහෝ කෙටි කතා වල පවා. සම්මත ප්‍රේමය සරළයි . එහෙත් අසම්මත ප්‍රේමය සංකීර්ණයයි. ගැඹුරුයි. ඇවිලෙන සුළුයි. ඒ ගින්දරින් දැවෙන දනා බොහෝයි. අසම්මත ප්‍රේමයක පැති ගණනාවක් සාකච්ඡාවට හසු කර ගන්නට හැකියි. අසම්මත ප්‍රේමය තුළින් ලේඛකයෙකුට ප්‍රබන්ධ රාශියක් ගොඩනගන්න හැකියාව තියනවා. ප්‍රංශයේ ජීවත් වන මා වටා ඇති සමාජය අනියම් ප්‍රේමය ගැන වැඩි දෙයක් කතා කරන්නේ නැහැ. ඇතැම් විට එය ප්‍රංශ සමාජයට කා වැදුණු අංගයක් නිසා විය හැකියි.

ඔබ සෑහෙන කාලයක් විප්‍රවාසීව ගතකරන කෙනෙක්. ලෝකයේ විවිධ කතුවරු විප්‍රවාසී වෙලා තියෙනවා. ඒ වගේම ස්වයංව තමන්ගේ පිරිසගෙන් විප්‍රවාසී වෙලා තියෙනවා. යුලිසීස් ලියන ජේම්ස් ජොයිස් එහි ප්‍රධාන චරිතය ඔහුගේම කාබන් කොපියක් වගේ නිර්මාණය කරනවා. මේ විප්‍රවාසය ලේඛකයෙක් වීමට ඔබට උදව් කළාද?

මගේ විප්‍රවාසයට හේතු වුණේ හුදෙක්ම ආර්ථික අපහසුතා. එසේ වුවත් ප්‍රංශයට ඇවිත් කාලය ගත වෙද්දී , විශේෂයෙන් පැරිස් නගරයේ ජිවිතයට හුරු වෙද්දී මගේ දෙනෙත් ඉදිරියේ තිබුණා බොහොම සුන්දර ලෝකයක්. එය ප්‍රංශයේ වාසය කරන බොහෝ ලාංකිකයින් නොදකින සුන්දරත්වයක්. සාහිත්‍යය , වේදිකා නාට්‍යය , සංගීතය , සිනමාව වැනි මගේ සිත් ගත් කලා මාධ්‍යයන් ගේ මූලස්ථානයට මා පැමිණ ඇති බව මම දුටුවා. මම “ප්‍රංශ බස ” නමින් තෙවන භාෂාවක් ඉගෙන ගත්තා . ඉන් පසුව මහා ලේඛක වික්ටර් හියුගෝ ගේ Les Misèrable පොත ප්‍රංශ බසින් කියවන්නට පටන් ගත්තා . තවත් නොබෝ කළකින් ප්‍රදර්ශනයකදී මම දුටුවා මේ අගනා කෘතියේ මුල් අත් පිටපත. එය දැක ගන්නට පැය තුනක් මම පෝලිමේ හිටියා. ඒ අත් පිටපත රැක ගන්නට ආරක්ෂක භටයින් හය දෙනෙක් ඉන්නවා. කොහොමද හුදෙක්ම කඩදාසි ගොඩකට මේ තරම් අගයක් හිමි වෙන්නේ. ඇයි යම් රජයක් තමන්ගේ ලේඛකයෙකුට මෙතරම් ගරු බුහුමන් ලබා දෙන්නේ. ආයෙත් වික්ටර් හියුගෝ කෙනෙකු බිහි වෙන්නේ නැහැ. එහෙත් මම දුටුවා ලේඛකයෙකුගේ අගය. එයින් ලැබුණු දැඩි උත්තේජනය නිසා මම ලියන්නට පටන් ගත්තා මගේ පළමු කෙටි කතා සංග්‍රහය “ප්‍රියා සමග ඉරිදාවක්.”. මේ විප්‍රවාසය මගේ ජීවිතය ආලෝකමත් කෙරුවා . මාව හදා වඩා ලොකු මහත් කරළා අනෙකාට ගරු කරන්න පුරුදු කෙරෙව්වා. කාගේවත් හිත රිදවන්නේ නැතුව දවස ගත කරන්න කියා දෙන අතරම මට කියා දුන්නා මොන තරම් වැරදි තිබ්බත් ප්‍රංශ රජය කියන්නේ කලා නිර්මාණ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නට ඉදිරිපත් වන ආයතනයක් කියලා. ඒ නිසා මම මේ රටට කැමතියි.

ලංකාවේ සාහිත්‍යයට ඔබෙන් පසුව බොහෝ පිරිසක් මේ ත්‍රිලර් ශානරයේ කෘති ලියනවා. මේ ප්‍රවණතාවය සුබවාදීද?

මගෙන් පසුව නොවෙයි මට පෙර සිටම මේ ශානරයේ පොත් බිහිවුණා . මගේ පොත එතෙක් නොපැවති අවධානයක් මේ ශානරයට ලබා දුන්නා වෙන්න පුළුවන්. මේ ප්‍රවණතාවයේ අසුබවාදී පැත්තක් ගැන නම් මට පේන්නේ නැහැ. මොකද ලංකාවේ මම දන්නේ නැහැ ලෝකයේ නම් CRIME FICTION ශානරයේ ඉතාම ඉහළ පොත් බිහිවෙලා තියනවා. එයට හේතු වෙන්නේ එවැනි පොත් ලියන ලේඛකයින් බොහෝ දෙනෙක් එක් කළෙක අදාළ ක්ෂේත්‍රයේ රැකියාවල ඍජුව හෝ වක්‍රාකාරයෙන් හෝ නිරත වුණු අය වීමයි. මේ ශානරයේ මූලික හරය හොඳ සහ නරක අතර ගැටුමයි. බොහෝ විට සත්‍යය ජය ගන්නවා. මම පෞද්ගලිකවම විශ්වාස කරනවා CRIME FICTION වලින් ජිවිතයට උකහා ගත හැකි දෙයක් තියනවා කියලා. අද ලෝකයේ වැඩියෙන්ම බිහි වෙන්නේ CRIME FICTION. වැඩියෙන්ම අලෙවි වන්නේ CRIME FICTION. එහි කිසිම වරදක් මම දකින්නේ නැහැ.

ඔබේ අනෙකුත් කෘති, ප්‍රියා සමඟ ඉරිදාවක්, සේන් ගඟේ රැළීත් එක්ක වැනි කෘති වඩා වෙනස් මිනිස් ජීවිතය සහ සංකීර්ණ සබඳතා ඇසුරෙන් ලියපුවා. ආපහු එවැනි කෘතියක් අපිට ඔබෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

12.12.12 කියන්නේ අහම්බෙන් බිහිවුණු පොතක්. එහි සාර්ථකත්වය මගේ ගමන වෙනතකට හැරවූ බව ඇත්ත . “බියුරෝ ” බිහි වුණේ අපරාධ ජාන වලින් කොටසක් සිරුරේ ඉතිරි වෙලා තිබුණු නිසා. එහෙම වුණත් මම වැඩියෙන් කැමති මේ ශානරයට නොවෙයි. “බියුරෝ” ලියා නිම වුණු දා පටන් මම CRIME FICTION පොතක් කියෙව්වේ නැහැ . අද දවසේ මම වැඩියෙන් කියවන්නේ John Irving හෝ Ian McEwan ගේ පොත් . ඊශ්‍රායල ජාතික Amos Oz මගේ වීරයෙක්. ඒ වගේම තුර්කි ජාතික Elif Shafak මගේ සාහිත්‍ය වීරවරියක්. යළිත් දිගු කාලෙකට CRIME FICTION පොතක් බිහිවෙන එකක් නැහැ. අනෙක එවැනි පොතක් වෙනුවෙන් ලොකු සොයා බැලීමක්. වෙහෙසක් දැරිය යුතුය. ඒ වෙහෙසට මම කැමති නැහැ. පොත් අලෙවිය ගැන මොහොතක් අමතක කරලා මගේ සිත් ගත් පවුල නමැති විෂය සාර්ථක ලෙස පොතකට ගෙන එන්න මම කැමතියි. රසට ලියන්න හැකි නම් කියවන්න මිනිස්සු අපේ රටේ ඉන්නවා කියලා මම දන්නවා. වුවමනා වන්නේ නිසි මොහොතේදී , නිසි පුද්ගලයින් අතට පොත පත් කිරීම පමණයි.

ඔබ නවතම කෘතියක් මේ වසරේ එලිදක්වන බව පවසා තියෙනවා. ඒ කෘතිය ගැන යමක් කියන්න කැමතිද?

අලුත් කෘතිය දෙසැම්බර් මාසයේ එළි දකිනවා. එය බොහොම සරළ නවකතාවක්. වසන්තය ආරම්භ වන දවසේ හවස් යාමයේ වයස අවුරුදු 60 ක් මිනිහෙක් තමන්ගේ බිරිඳට කියනවා “මම යනවා ” කියලා. ඔහු මෙසේ යන්නේ තිස් වසරක විවාහ ජිවිතයකට අවසන් තිත තබලා . මේ තීරණයෙන් පසුව ඔහු, බිරිඳ , පුතුන් දෙදෙනා සහ දියණිය , එමෙන්ම අනෙක් කාන්තා පාර්ශවය තුළ ඇතිවන ගැටීම් මේ පොතේ කියවෙනවා. එය ආදර කතාවක්. සියක් වාරයක් කියවුණු , ලියවුණු ආදර කතාවක්. එහෙත් මෙවර එය මගේ අකුරින් ලියවෙනවා.

ඔබ ලේඛකයෙක් වීමට පෙර සිටම පාඨකයෙක්. කියවීම ලේඛනයට කෙතරම් වැදගත්ද?

ලේඛකයෙක් වැඩියෙන් කළ යුත්තේ ලිවිම නොව කියවීම බව කියවෙනවා. කියවීම යහපත් මිනිසුන් සමාජයට බිහි කරන්න උපකාර වෙන්නේ නැහැ. එහෙත් කියෙව්වේ නැති නම් ලියන්න බැරි බව පැහැදිලියි. අද දවසේ සාහිත්‍යය උගන්වන පාඨමාලා තියනවා. ඒවායේදී මුළින්ම කරන්නේ කියවන්නට ඉගැන්වීම. Reading like a writer කියන වැඩසටහන යටතේ මෙහිදී අපි ඉගෙන ගන්නවා කියවන අතරම ලේඛකයාව තේරුම් ගන්න. වාක්‍ය දෙකක් අතර නොකියා , කියා ඇති දේ තේරුම් ගන්නට. උපතින් ඔබට යම් ප්‍රතිහාවක් තිබේ නම් එය දියුණු කර ගන්නට හැකි එකම මාර්ගය කියවීම කියා මා සිතනවා. වෙන කිසිදු විකල්පයක් මා දකින්නේ නැහැ.

ඔබේ පොතක් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න අවස්ථාවත් ලැබුනොත් ඔබ තෝරගන්නේ කුමන කෘතියද? ඒ ඇයි?

එහෙම වුණොත් මා තෝරා ගන්නවා 2009 වසරේදී පළ වුණු “රෝස මාලිගාවේ මනුසත්තු” කියන කෘතිය. එය මගේ ප්‍රියතම කෘතිය. මක් නිසාද මට හිතෙනවා එහි සෑම දෙයක්ම තියනවා කියා. ආදරය , විරහව , පළිගැනීම , පාවා දීම , දරු සෙනෙහස , නොපුරුදු රටක නුහුරු ජීවිතය, නිදහස. මේ සියල්ලම ඒ කුඩා පොතේ තිබෙනවා. ඒ වගේම නොදන්නා රටකදී අපට හිමිවන “දෙවන තැන” ගැන එහි කියවෙනවා. මේ පොතේ එන සාමා කියන ගැහැනු චරිතයට මම බෙහෙවින් ප්‍රිය කරනවා. ඒ නිසා මම කැමතියි ඒ පොත විදෙස් බසකට පරිවර්තනය වෙනවා නම්.

– සංවාද සටහනරශ්මික මණ්ඩාවල

 

 

Leave A Reply

Your email address will not be published.

sixteen − eight =