“අප තව දුරටත් සිටිනුයේ පක්‍ෂ බලවත් රටක නොවේ. ඒ යුගය අයිති අතීතයටය”

ආණ්ඩුව මිල පාලනය ඉවත් කිරීමත් සමගම විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිරී ගියේ උපහාසය, සරදම සහ අවඥාව මුසු කියුම් වලිනි. ඒ බොහොමයකින් පලවූ අදහස වූවේ ගැසට් නිකුත් කිරීමට සහ ඒවා ඉවත් කිරීමට පරසිදු ආණ්ඩුව යළි අනාගත් බවත් ඩඩ්ලි ආණ්ඩුව නිර්දය ලෙස දණගැස්වූ බවත්ය. ඒ අනුව ඩඩ්ලි ගේ රුව ඇතුලත් විවිධ උපහාස සටහන් සහ පිළිබිඹු වළින් සමාජ මාධ්‍ය පිරී ගියේය. දැන් ඒ උපහාස සමය ඇත්තේ නිමා වෙමිනි. සහල් වෙළඳපොලට එමින් තිබෙනුයේ පෙර පැවති මිලට වඩා වැඩි මිලකට ජනතාව සහල් මිලට තනිමින් සිටිති.

පසුගිය කාලය පුරා පැවති පොදු අදහසක්ව තිබුණේ ඩඩ්ලි ආණ්ඩුවට වඩා බලවත් බවයි. එහෙයින් ඔහුට රට බාර දෙන්නැයි කියා පළකෙරුණ උපහාසාත්මක රචනාවන්ද අපට දක්නට ලැබුණි. එහෙත් මේ නිගමනය සපුරා සත්‍යදැයි අප කල්පනා කර බැලිය යුතු අවස්ථාව දැන් එළඹ තිබේ.

අපට මෙහිදී අදහස් දෙකක් ගැන සලකා බැලිය හැකිය. ඉන් පළමුවැන්න නම් ආණ්ඩුව සද් චේතනාවෙන් වැඩ කරද්දී කූඨ වෙළන්දන් පාලකයන් දණගැස්වීමට කටයුතු කළ බවයි. මෙය හරහා අපට ඇවැසි නම් ආණ්ඩුවට අනුකම්පාව ඇති කර වෙළෙන්දන් හට වෛර කරන්නට හැකිය.

දෙවන අදහස වනුයේ ආණ්ඩුව සහ වෙළෙන්දන් එක්ව නියම නාටකයනක් රඟ දැක්වූ බවයි. සීනි සෙවීමේ මහා මෙහෙයුම ගැන විවේක බුද්ධියෙන් කල්පනා කර බලන විට එය පැහැදිලි කරගැනීමට පොටක් පාදාගත හැකිය.
කෙසේ වෙතත් මෙහිදී වඩාත් තාර්කික වනුයේ ඩඩ්ලි යන්න පුද්ගලයෙකු ලෙස නොගෙන රූපකයක් ලෙස ගැනීමයි. ඒ රූපකය සඳහා අපට ඇවැසි නම් මේ ආණ්ඩුව යටතේ වැජඹෙන තවත් ව්‍යාපාරිකයන් ගණනාවකගේ නම් ආදේශ කළ හැකිය. මන්ද යත් මේ රූපකය අපට වර්තමාන දේශපාලනයේ ස්වභාවය මෙන්ම අනාගත දේශපාලනයේ ගමන් මාර්ගයද මැනවින් විදහා පාන හෙයිනි.

අප තව දුරටත් සිටිනුයේ පක්ෂ බලවත් රටක නොවේ. ඒ යුගය අයිති අතීතයටය. දැන් බලවත්ව සිටිනුයේ ව්‍යාපාරික, මාධ්‍ය සහ දේශපාලන කල්ලි මනාව සංවිධානගතව සිටිනා කුලකයන් පමණි. ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, ආදී සියල්ලම පොසිල යන්නට පර්යාය යෙදුම් වෙයි. ජවිපෙ සහ පෙරටුගාමීන්ද තම මාර්ගය ගැන ගැඹුරින් කල්පනා නොකරන්නේ නම් එය ඔවුන්ටද ඉක්මනින්ම අදාල වනු ඇත.

ඡන්ද ව්‍යාපාරය යනු මාධ්‍ය සහ ව්‍යාපාරික අනුග්‍රහය ලබනා කණඩායම බලයට ගෙන ඒමේ මාවත බව වටහා ගැනීමට මහා බුද්ධියක් අවශ්‍ය නැත. එසේම මේ සියල්ලම පිටුපස ඇත්තේ ලෝකයේ දේශපාලන බලවතුන්ගේ න්‍යායපත්‍රය බවද එතරම්ම පැහැදිලිය. ඡන්දදායකයාට දැන් සිදුව ඇත්තේ තමන් ඉදිරියට සරසවා එවනා මල් වට්ටි වලට අතගැසීම පමණි. ඒ මල් වට්ටිවලට අතගැසීම කෙතරම් පුණ්‍ය කර්මයක්දැයි අපට කියාදෙන්නේ මාධ්‍ය මගිනි. මල් පෙරහැරට අරමුදල් සපයන්නේ දේශපාලකයාගේ තේමාවම සිය තේමාව කරගත් ව්‍යාපාරිකයන් විසිනි. එහෙයින් ඩඩ්ලි යන්න හුදු පුද්ගල සාධකයක් කර නොගෙන රූපකයක් ලෙස ගැනීමෙන් අපේ අනාගතය වඩා පහසුවෙන් වටහා ගත හැකිය.

අප රූපකය ආණ්ඩුවට සතුරු යයි නැතිනම් ආණ්ඩුව දණගැස්වූවේ යයි සිතනවාට වඩා තමන් බලයට ගෙන ඒම පිණිස වැඩ කළ රූපකයන් හට යුක්තිය ඉටු කිරීමට දේශපාලකයන් කො‍හොඹා කංකාරිය නටන බව තේරුම් ගැනීම වඩා වැදගත් වෙයි.
‍නිෂ්පාදන මිල ඉහළ ගොස් තිබෙනා රටක ගොවියා සිය වී වැඩිම මිලට අලෙවි කිරීමට සිතීම තාර්කිකය. එය වෙනස් කළ හැක්කේ නිෂ්පාදන වියදම් අඩුකිරීමෙන්ම පමණි. එහෙත් පාලකයන්ට ඒ සඳහා උනන්දුවක් හෝ වැඩ පිලිවෙලක් නැත. අනෙක් අතින් විශාල වශයෙන් සල්ලි විසි කරමින් දැවැන්ත වෙළෙන්දන් කරනුයේ වී මිලට ගෙන ගබඩා කිරීමය. එසේම ඉහල මිලකට ගත් වී අඩු මිලට වෙළඳපොලට දිය නොහැකිය යන්නද සාධාරණ තර්කයක් බවට පත්වෙයි. දේශපාලන පොර පිටියට මේ කිසිත් අදාල නැත. ඡන්දයේදී වැදගත් වන්නේ ගොවියාට ඉහලම මිල යන සටන් පාඨය පමණි. එවිට ගොවි ජනයා ඡන්දය දෙති. ඡන්දයෙන් පසු තෙමේද පාරිභෝගිකයෙක් බවට පත්වන ඔහු යලි ඉහළ යන බඩු මිල ගැන කෙඳිරි ගායි. එ අතරේ වෙළෙන්දෝ සහ දේශපාලකයෝ මාධ්‍යද සමගින් ජන මනස වියවුල් කර දමති.

තව වසර කිහිපයක් යනවිට ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයන් කිහිප දෙනකු නිර්මාණය වනු ඇති අතර මාධ්‍යද මීටත් වඩා ජන මනසට බලපෑම් කිරීමේලා සමත් තත්වයන් අත් කරගනු ඇත. ඉන්පසුව දේශපාලනය පවතිනු ඇත්තේ මේ දෙපිරිස හා කල්ලි ගැසීමට සමත් වන දේශපාලන කන්ඩායම බලයේ පිහිටුවීම සමගිනි. ඔවුන් සියල්ලම ඒ අතරේ තමන් පිටුපසින් ඉන්නා ලෝක බල කඳවුරේ හාම්පුතාගේ විධානය අනුව නටන ආකාරය අපට කෙලින් දිස් නොවනු ඇත. මෙය වටහා ගැනීමට රටෙහි සම්පත් විකිණීම යන මාතෘකා‍වෙහිදී දේශපාලකයන් මෙන්ම ආගමික නායකයන්ද හැසිරෙන ආකාර දෙස බැලීමෙන් පුළුවන. චීනයට දේපලක් පවරන විට විරුද්ධ වෙන පිරිස් ඇමරිකාවට ඉන්දියාවට දේපල පවරන විට කටක කාරිති. එහි විලෝමයද එයාකාරමය. අනෙක් අතින් කෙතරම් විරුද්ද යයි පල කළද අවසාන මොහොතේදී ඔවුහු සිය විරෝධය හකුලාගෙන මේස යටට රිංගති. වාසුලා, විමල්ලා ගේ හැසිරීම මේ සඳහා හොඳම උදාහරණයන්ය. බලයේ රැඳීම උදෙසා කවර මජරකමක් වුව කරන්නට නොපැකිලෙන ලෙස සිය කශේරුකාව රබර් පට්ටයක් බවට පත් කරගෙන සිටිනා දේශපාලකයන් වීරයන් කරගැනීමේ ආදිනව වටහා ගන්නට ජනයාට අවශ්‍ය නම් එතරම් දුර බැලීමට වුවමනා නැත.

දේශපාලනයෙහිදී විවේචනය සහ විචාරය අවශ්‍යය, උපහාසයද එසේමය. එහෙත් දැන් ඒ සියල්ලටම වඩා අපට අවශ්‍යව ඇත්තේ නිවැරදි වැඩ පිලිවෙලකි. සැබෑ විපක්ෂයක් විය හැක්කේ එවන් දුර දක්නා වැඩ පිලිවෙලක් සැකසිය හැකි කණ්ඩායමකට පමණි. එසේම අපේ අනාගතය යනු පහසු මගක් නොවන බවත් අප ඉන්නේ මරු කපොල්ලක බවත් ඉන් ගැලවීමට අති මහත් කැපවීමෙන් වැඩ කරන්නට පරම්පරාවකටම සිදුවන බවත් ජනතාවට ඒත්තු ගැන්විය හැකි කණ්ඩායමකට පමණි. එසේ නැතිව බලයට ආ පසුව තමන් වෙත සඳුන් ගැටය ඇතැයි කීම තවදුරටත් වලංගු නැත. එවන් වහසි බස්වලට හැක්කේ අප තවත් අගාධයට හෙලීමට පමණි.

ඩඩ්ලිව උපහාසයට ලක් කිරීම ලෙහෙසිය. එහෙත් ඒ රූපකයෙන් නිරූපණය වන කටුක සත්‍යයට මුහුණ දී එය පරාජය කිරීම අසීරුය. අපේ අනාගතය ඇත්තේ අප තෝරා ගන්නේ ලෙහෙසි මාවතද අසීරු මාවතද යන්න මතම පමණි.

-චුලානන්ද සමරනායක (fb)

Photo Credit : stevecoleimages

 

Leave A Reply

Your email address will not be published.

8 + 12 =