යොහානි හා ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රවේශය !!

ශ්‍රී ලාංකේය ජනප්‍රිය යොවුන් ගායිකාවක් වන යොහානි දිලූකා ඩි සිල්වා මෙනවිය විසින් ගායනා කරන ලද “මැණිකේ මගේ හිතේ”… යන ගීතය මේ වන විට අපේ අසල්වාසී ඉන්දියාව ඇතුළු බොහෝ යුරෝපීය රටවල්වල තරුණ තරුණියන්ගේ මෙන්ම සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන්ගේ මුවඟ රැව් පිළිරැව් දෙන ජාත්‍යන්තර ගීතයක් බවට පත්ව ඇත. නොඑසේනම් උන්මාදයක් බවට පත්ව ඇත. එසේම එය විවිධ ලෝක ගීත දර්ශකවල සැලකිය යුතු ස්ථානයක් අත්පත් කරගෙනද ඇත. මෙය තවත් අතකින් සංගීතය වූ කලී විශ්ව භාෂාවයක් යන වැකිය යළි යළිත් සනාථ කරන්නක් ලෙසද සැලකිය හැකිය.

අනුරාධපුර යුගයේ පටන් ජන සංගීතයෙන් ආරම්භ වූ ශ්‍රී ලාංකේය සංගීතය යුගයෙන් යුගයට සාධනීය වශයෙන් වර්ධනය වී වර්තමානය දක්වා පැමිණ බවක් මට පෞද්ගලිකව නොපෙනේ .

Rabindranath Tagore

එනමුත් විසිවැනි සියවස ආරම්භයේදී මෙරට නූතන සංගීතයේ ඉතා වැදගත් කඩඉමක් වශයෙන් සාහිත්‍යය පිළිබඳව නොබෙල් ත්‍යාගලාභි බෙංගාලි මහාකවි රබින්ද්‍රනාත් තාගෝර්තුමා ( Rabindranath Tagore 1860 – 1941 ) 1932 දී පමණ ? හොරණ ශ්‍රීපාලිය විවෘත කිරීමට පැමිණිම සැලකිය හැකිය. ඉන් ඉක්බිතිව රබින්ද්‍රනාත් සංගිතයෙන් කුල්මත් වූ මෙරට තරුණු සංගීත ශිල්පීන් පිරිසක් කල්කටාවේ පිහිටි එතුමාගේ ශාන්ති නිකේතනයට ( වර්මාන විශ්ව භාරතීය විශ්ව විද්‍යාල ) ගොස් තම සංගීත අධ්‍යාපනය දියුණු කර ගැනීමට කල්පනා කළහ. ඔවුන් අතර මෙරට නූතන සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් වශයෙන් ඉමහත් සම්භාවනාවට පාත්‍ර වන ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ආචාර්ය පණ්ඩිත් අමරදේව, ශාන්ති ශිතදේව යනාදී විශිෂ්ට ගායකයන්ද ලයනල් එදිරිසිංහ, ඩබ්ලිව්. ඩී මකුලොලුව , එඩ්වින් සමරදිවාකර, සී.ඩී.,ඇස් කුලතිලක, සෝමදාස ඇල්විගල හා ජයන්ත අරවින්ද යනාදීන් විශිෂ්ට සංගීතඥයන්ද හදුන්වා දීමට පුළුවනි. එනමුත් මෙම විශිටගණයන්ගේ විශිෂ්ට නිර්මාණාත්මක සංගීත භාවිතාවය රැදුනේ මෙම කොදෙවේ වීම ඉතා කණගාටුදායක කාරණාවකි.

ඉන් ඔබ්බට ඔවුන්ටත් එසේම ඔවුගෙන් ඉක්බිතිව බිහිවූ මෙරට දෙවැනි, තෙවැනි හෝ සිව්වැනි පරම්පරාවල උදවියටත් තම දක්ෂතාවය ජාත්‍යන්තරයට රැගෙන යෑමට නොහැකි වූයේ මන්ද ? එය ඔවුන්ගේ අදක්ෂතාවයක්ද , අභාග්‍යයක්ද නොඑසේනම් රටේ එවන්නක් සදහා කිසියම් වූ ක්‍රමවේදයක් නොමැතිවීමද යන්න කල්පනා කිරීම මෙම සටහන කියවන ඔබට බාර කරමි.

ගෙවීගිය විසිවැනි සියවස මුළුල්ලේ සිට වර්තමානය දක්වාම මෙරට සුවහසක් සංගීත ලෝලීන් සිංහල ගීත හා සම-සමව රසවිඳින ලද්දේ ඉන්දියානු උත්තර භරතීය සංගීතයෙන් නිර්මාණය වූ මනමෝහනීය හින්දි ගීත හා ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීත වීම සුවිශේෂී කාරණාවකි. එනමුත් එදා මෙදාතුර කිසිදු ඉන්දියානුවකු මෙරට සිංහල ගීතයක් රසවින්දේ ද යන්න මට නම් සැක සහිතය. එවන් වූ පසුතලයක හිද කල්පනා කර බලන කල්හි යොහානි විසින් ගායනා කරන ලද “මැණිකේ මගේ හිතේ” යන ගීතය සම්භාව්‍ය හෝ ජනප්‍රිය යන කුමන හැඩතලයක් නියෝජ්‍නය කළද සුවහසක් ශ්‍රී ලාංකේය ජාතියක් වශයෙන් එය අගය කිරීම ඉතා වැදගත් වන්නේ යයි මම පෞද්ගලිකව කල්පනා කරමි.

යෝහානි පිළිබඳව හෝ ඇයගේ සංගීත ශෛලය පිළිබඳව හෝ මම කිසිදු අවධානයක් යොමු කර නොමැත. ඒ මා ප්‍රියකරන සංගීත ශෛලියක් ඇය වෙතින් නියෝජනය නොවන බැවිනි. එපමණක්ද නොව ඇය විසින්ම ගායනා කරන ලද “මැණිකේ මගේ හිතේ” යන ගීතය මා පළමුවරට අසන ලද්දේ මෙම සටහන ලිවීමට කිසියම් වූ පෙලඹවීමක් වශයෙන් බවද කිය යුතුය. ඒ මගේ පැත්තෙන් ය. ඔබේ පැත්තෙන් එය මීට ඉඳුරාම වෙනස් වීමට පුළුවනි.

මෙරට නූතන තුරුණු ගායක ගායිකාවන් කොතරම් සිටියත් ඔවුන් අතර තමාටම කියා අනන්‍යතාවක් ඇති ගායකයකු හෝ ගායිකාවක් සිටින්නේ නම්, ඒ සිටින්නේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩු පිරිසක් බව පෙනේ. එවන් වූ වාතාවරණයක් තුළ ජාත්‍යන්තරය හා ජාත්‍යන්තර ප්‍රසාංගික වේදිකාව අපේ රටට සැබවින්ම හීනයක් බව මම අදත් විශ්වාස කරමි. ජාත්‍යන්තර ප්‍රවේශයක් කරා ප්‍රවිශ්ඨ විමට මෙරට කිසියම් හෝ ගායක හෝ ගායිකාවකට හැකියාවක් හෝ දක්ෂතාවයක් ඇතත් එයට මෙරට ට ‘ජාතික සංස්කෘතික ප්‍රඥප්තියක්” ( A National Cultural Policy ) නොමැතිවීම හා වෙනත් නිසි ක්‍රමවේදයක් නොමැතිවීමද විශාල බාධකයක් බව පෙනේ.

මෙම කාරණාව මෙරට සංගීත ක්ෂේත්‍රයට පමණක්ම සීමා වූවක්ම නොවේ. එය මෙරට සෙසු කලා ක්ෂේත්‍රයන්ටද පොදුය. මම මෙරට සාහිත්‍යයේ ජාත්‍යන්තර ප්‍රවේශය පිළිබඳව මගේ ශක්තිය ප්‍රමාණයෙන් ලිපි ලියමින්ද සම්මුඛ සාකච්ඡා පවත්වමින්ද හඩනගන්නේ අද ඊයේ නොවේ. එනමුත් එය මෙදා කපේ මේ මහ පොළව මත යථාර්ථයක් නොවන බවද හොඳාකාරවම දනිමි. එපමණක්ද නොව, විශේෂයෙන්ම මෙරට සිනමාවද මෙතැනින් ජාත්‍යන්තර සිනමාවට ප්‍රවිෂ්ට වන්නේ කෙසේද යන්න වර්තමානයේ මුහුණ දෙන තවත් ප්‍රබල ගැටළුවකි. එසේම අභියෝගයකි.

මෙකී නොකී සියළුම කලා ක්ෂේත්‍රයන් සම්පිණ්ඩනය කර ශ්‍රී ලාංකේය කලාවේ ජාත්‍යන්තර ප්‍රවේශය පිළිබඳව කතාකරන කල්හි යොහානිගේ මෙම අහඹු ජාත්‍යන්තර ප්‍රවේශය පිළිබඳව රටක් හා සමස්ත ජාතියක් වශයෙන් අප අවංකවම සතුටු විය යුතුය. එසේ නොවන්නේ නම් අපි සැබවින්ම කුහකයන් නොවෙමුද ?
එසේම යොහානිගේ මෙම ජාත්‍යන්තර ප්‍රවේශය මෙරට සංගීත ක්ෂේත්‍රයේ හෝ සමස්ත කලාවේ ජාත්‍යන්තර ප්‍රවේශය වශයෙන් සැලකීමට මම කිසිවිටෙකත් සූදානම් නොමැත. එසේම ඉක්මනින් වන්නේද නැත. එනමුත් රටක් වශයෙන් සෑම අතින්ම උකටලීව අරාජික තත්වයක ජීවත්වන්නන් වශයෙන් අපට අපේ රටේ කලාවේ ජාත්‍යන්තර ප්‍රවේශය පිළිබඳව කිසියම් වූ අපේක්ෂාවක් දල්වා ගැනීමට යොහානිගේ මෙම ජාත්‍යන්තර ප්‍රවේශය කිසියම් වූ උත්තේජනය සපයන බව නම් නොරහසකි.

විශ්ව කලා න්‍යාය ධර්මයන්ට අනුව ලොව කුමන හෝ කලාකරුවකුගේ පැවැත්ම තීරණය වන්නේ තම සුවිශේෂී වූ දකෂතාවය මතින් නිර්මාණය වන නිර්මාණත් ඒවා විවිධ හැඩතල ඔස්සේ ඉදිරියට ගලා යෑමත් එසේම ඒවායේ මානවීය ගුණාත්මක ප්‍රවේශයත් යනාදී ඉතා වැදගත් සාධක මතය. මෙය විදග්ධ හා ජනප්‍රිය යන කුමන හැඩතලයකට වුවද පොදුය.
එනමුත් ජනප්‍රියතාවය වූ කලී හුදෙක්ම ඉතා ක්ෂණිකව මතුවී ඉතා කණිකව මැකී යන්නකි. එසේම එය එකලෙස පවත්වාගෙන යෑමටද ඉතා අසීරුය. එය තම තමන්ගේ පුණ්‍යමහිමය, දක්ෂතාවය හා නිර්මාණවල ජනතා ආකර්ෂණීය හැඩතල මතද හුදෙක්ම තීරණය වන්නකි.

යොහානි හා ඉන්දියානු සංගීත ලෝලීන්ගේ උන්මාදය —-

මෙම අනු මාතෘකාව පිළිබඳව යමක් කතා කරන්නේ නම් … එය මෙම සටහන සම්පූර්ණවන්නට වැදගත් බව මම කල්පනා කරමි. ඉන්දියානුවන් හුදෙක්ම ජනප්‍රිය ප්‍රතිරූප වන්දනා- මාන කිරීමට රුසියෝ වෙති. එපමණක්ද නොව තම යථාර්ථවාදී ජීවිතයෙන් ඔබ්බට ගොස් හුදු මනෝලෝකවල ජීවිත්වන්නටද රුසියෝය. ඔවුනට ජීවිතයේ ඒකායන ප්‍රාර්ථනා කීපයක් තිබේ. එනම් ඉතා ජනප්‍රිය පුද්ගලයකුවීම ( එහිලා කලා තරුවක්වීම හෝ ක්‍රිකට් ක්‍රීඩකයකුවීම සුවිශේෂී වන්නේ ය. ) , තමා ආදරය කරන ජනප්‍රිය තරුවක් හෝ තාරකාව අනුකරණය කිරීම,ඉතා ඉක්මනින්ම තමුන්ගේ පහළම සමාජ පන්තියෙන් මධ්‍යම පන්තයට යෑමත් එහි සිට ඉතා ඉක්මනින් ඉහළ මධ්‍යම පන්තියට යෑමත් එසේම තමාට හෝ තම පවුලට යුරෝපීය රටක ඉතා සුවසේ ජීවත්වීමත් යනාදිය ප්‍රධාන වන්නේ ය.

ඉහත සාධක වලින් කීපයක්ම සමස්ත ලෝකවාසී පීඩිත ජනතාවටම තිබෙන පොදු අපේක්ෂා වුවත් ඉන් ඔබ්බට ගිය සාධක කීපයකුත් සමස්ත ඉන්දිනුවන්ට තිබෙන බව පෙනේ.

ඉන්දියානුවන් කිසිවකුගේ ජනප්‍රියතාවය මහත් ඉහළ පිළිගන්නා ජාතියක් බව පෙනේ. එසේම ඔවුහු ජනප්‍රියතාවයට වන්දනාමානද කරති. විශේෂයෙන් සමස්ත ඉන්දියාව තුළ හුදෙක්ම කලාව ඉහළ අගයක් ගන්නේ සම්භාව්‍ය කලාවට වඩා ජනප්‍රිය කලාවයි. එහිලා සිනමාව පැත්තෙන් ගත හොත් එය බොලිවුඩ් ( Bollywood ) හා කොලිවුඩ් (Collywood ) වශයෙන් ගමන් කරන්නේ ජනප්‍රියතාවය මතය. එපමණක්ද නොව ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයින් හා අධ්‍යක්ෂකවරුන් තම සිනමා නිර්මාණයන්ට සැම කල්හිම යොදා ගැනීමට වඩාත් උත්සුකවන්නේද ජනප්‍රිය තරුය. එහිලා බාහිර ජනප්‍රිය සාධකවලට ඔවුන්ගේ විශේෂ අවධානය හිමිවේ.
අන්න .. ඒ නිසයි ඉන්දියාවේ බහුතරයක් ජනප්‍රිය ගීත හුදෙක්ම ජනප්‍රිය චිත්‍රපට ගීත වන්නේ. මෙවන් වූ පසුබිමකයි යොහානි එක රැයකින් ඉන්දියානු බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායිකාවක් වන්නේ.

ඇයගේ ජනප්‍රියතාවය මෙරට සුවහසක් ජනතාවට වඩා වටින්නේද එහි මූල්‍යමය වටිනාකමක් ඇතියි කියා දකින්නේද ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක සමාගම් හා අධ්‍යක්ෂකවරුන් බව පෙනේ. මෙහිලා විශේෂයෙන් බොලිවුඩ් චිත්‍රපට සමාගම්වලට හා අධ්‍යක්ෂකවරුන්ට යොහානිගේ මෙම ජනප්‍රියතාවය බෙහෙවින් වටින්නේ ය. ඒ තමුන්ගේ සිනමා නිර්මාණයේ සමත්ත ජනප්‍රියත්වයට එය සුවිශේෂී අතිරේක උත්තේජනයක් එක්කරන බැවිනි.

යොහානි හා මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රවේශය කෙබදුඳ?

අපේ රටේ බහුතරයක් සිහිත දකින්නටත් ප්‍රතිරූප ඔස්සේ රටේ අනාගතය පිළිබඳව සිහින දකින්නටත් රුසියෝ වෙති. මෙය මෙරට හැත්තෑතුන් වසරක ජරාජීර්ණය වූ දේශපාලන ඉතිහාසය තුළ මැනවින් දකින්නට ලැබෙන සාධකයකි. මෙය අඩුවැඩි වශයෙන් මෙරට සමස්ත කලා ක්ෂේත්‍රය තුළ ද දකින්නට ලැබෙන්නේ ය. මේ වනවිට යොහානිගේ ජාත්‍යන්තර ප්‍රවේශය තුළින් අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයේ ඇතැම් ඔස්කාර්ලා තමාගේ හා තම ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර පිළිබඳව දවල්හීන දකිමින් සිටිති. සැබවින්ම මෙය විහිලුවකි. සැබවින්ම අපිට අතිතයේ වැරදුණේද වර්තමානයේ වරදින්නේද මෙතැනය. අප කටයුතු කළ යුත්තේ සමස්ත ශ්‍රී ලාංකේය ජාතියක් හා සමස්ත ශ්‍රී ලාංකේය කලාවක් වශයෙනි. එහිලා ජාත්‍යන්තර ප්‍රවේශය ඉතා වැදගත් වන අතර එය රැදී ඇත්තේ එක පුද්ගලයකු හෝ කීපදෙනෙකු අතර නොව සමස්ත සැලසුම්සහගත ක්‍රියාවලියක් මතය.
යොහානිගේ ජාත්‍යන්තර ප්‍රවේශය හුදෙක්ම ඇයටම සුවිශේෂී වූවකි. එය තම දක්ෂතාව මතින්ද නොඑසේ නම් තම පුණ්‍යමහිමය මතින් සිදුවූවක්ද යන්න මම නොදනිමි. ඒ කෙසේ නමුදු ඇයගේ මෙම ජාත්‍යන්තර ප්‍රවේශය ඉතා ශක්තිමත් පදනමකින් මතු අනාගතය කරා පවත්වාගෙන යෑම පිණිස හුදෙක්ම ජනප්‍රියතාවය කිසිවිටෙකත් ප්‍රමාණවත් නොවන්න බව පෙනේ. එහිලා තම ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය බොහෝ සෙයින් මහෝපකාරී වන්නේය.

ඉන්දියාව වූ කලී ජාත්‍යන්තරය නොවන බව අප මතක තබා ගතයුතුය. එපමණක්ද නොව යුරෝපයේ ඇතුළු සමස්ත ජාත්‍යන්තරයේ කලාව හා එහි නියැලී සිටින කලාකරුවන්ගේ මතු පැවැත්ම තීරණය වන්නේ හුදෙක්ම ජනප්‍රියතාවය මත නොව තමාගේ සුවිශේෂී වූ හැකියාව හා තම නිර්මාණාත්මක ප්‍රවේශයේ සුවිශේෂී හැඩතල මතය. මෙම සුසංයෝගය ජාත්‍යන්තර විශිෂ්ට කලාකරුවකුගේ ස්ථිරසාර පදනම වන්නේ ය.

ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රය හා එහිලා ජාත්‍යන්තර ප්‍රසාංගික වේදිකාව එදා මෙදාතුර වෙන්ව ඇත්තේ විශිෂ්ටයින්ට බව නොරහසකි. එය මතු අනාගතයේ වෙන්වන්නේද විශිෂ්ටයින්ට බව ස්ථිරය.
එවන් වූ න්‍යාය-ධර්මතාවයක් හමුවේ හුදු ජනප්‍රියතාවය පමණක්ම කිසිවිටෙකත් තම අනාගතයේ ස්ථිරසාර පැවැත්ම වෙනුවෙන් සාධකයක් නොවන්නේය.
ලෝකයේ සමස්ත කලා ක්ෂේත්‍රය තුළ විවිධ රැලි ආවෝය. එසේම ආ සැනින්ම ගියෝය. හුදු ජනප්‍රියත්වය වූ කලී පෙණ-බුබුලක් වැනිය. එහි ඉතා ක්ෂණික පිම්බීමක් ඇතිවන අතර ඒහා සමානම පිපිරීමක්ද ඇතිවන්නේ ය.
එයද තම සිත්හි දරාගෙන තමාට ලැබුණු මෙම අනගිභවනීය අවස්ථාවෙන් තම ජාත්‍යන්තර ප්‍රවේශය ස්ථිරසාර වූවක් කරගෙන ඔබගේ කීර්තියද රටේ කීර්තියද තව තවත් වර්ධනය කර ගැනීමට යොහානි මෙනවිය …. ඔබට හැකි වේවි යයි පතමින් මෙම සටහනට නැවතීමේ තිත තබමි.
“නව ලිබරල් ආර්ථිකය ( A New Liberal Dconomy ) තුළ යමෙකුගේ ජනප්‍රියතාවය ඔහුට හොදවෙළදපොළක් ඇති කිරීමටද එමගින් හොද මූල්‍යමය වටිනාකමක් අත්පත් කර ගැනීමටද බොහෝ සෙයින් හේතුකාරණාවක් වන්නේ ය”.

– පූජ්‍ය ඇතිපොළ මංගල හිමි (fb)

Leave A Reply

Your email address will not be published.

fifteen + 2 =